පඩ ඇරීමේදී ආචාර සම්පන්න වෙමු!

දැන් ඔය අධෝවාතය තියෙනවනේ. ඔව් ඔව්, ඒ කියන්නේ පඩේට තමයි. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ඈනුමක්, කැස්සක් වගේ දෙයක් විදියට නෙවෙයි මිනිස්සු පඩේ ගැන කතා කරන්නේ. ගොඩක් මිනිස්සුන්ට ඈනුමට ඈනුම, කැස්සට කැස්ස වගේ කියන්න කිසිම අවුලක් නැති වුණාට, අධෝවාතයට පඩේ කියනකොට නිකම් පැකිළෙනවා පැකිළෙනවා වගේ. හරියට ඒක කියන්න හොඳ නැති වචනයක් වගේ අදහසක් තමයි ඔළුවේ තියෙන්නේ. හරි, ඒක වෙනම කතා කරමුකෝ. දැන් අධෝ වාතය නැතිනම් පඩේ කියන්නේ ස්වභාවික කාරණයක්නේ. ආයෙ යන්න ඕන වෙලාවට අපිට දැනෙනවා. සමහර වෙලාවට දන්නෙ නැතුවත් යනවා. එතකොට අපි ඉන්නේ තනියෙන් නෙවෙයි නම් අපිට ලැජ්ජ හිතෙනවා. තවත් සමහරු අපිට පඩයක් යෑම ගැන ලැජ්ජ හිතවනවා. එතකොට අපිට හිතෙනවා ඔය පඩේ පොඩ්ඩක් සංස්කෘතික විදියට යවාගන්න තිබ්බා නං හොඳයි කියලා. එහෙම නේහ්? 

ඇත්තටම ඉතින් ගොඩක් දුරට පඩයක් කියන්නේ අපිට අල්ලලා නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආයෙ මොකෝ පස්සට දත් තියෙන එකක්යැයි පඩයක් යන්න එනකොට “හව්” ගාලා දත් වලින් හපාගෙන හිරකරගෙන ඉන්න. ආන්න ඒ නිසා, අපි පඩේ ගැන පොඩ්ඩක් ආචාර ධාර්මිකව හිතලා බලමු. ඒ කියන්නේ පඩ සම්බන්ධයෙන් කළ යුතු දේ සහ නොකළ යුතු දේ!

 

 

1. සංස්කෘතික පඩ කතා

අපිට සංස්කෘතියෙන් ඇති වුණු සමහර දේවල් සම්පූර්ණයෙන් කඩලා දාන්න බෑ තමයි. හැබැයි ඒක භාෂාවෙන් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට පඩේ කියනකොට අප්සට් වගේ දැනුනට, අධෝ වාතය කිව්වහම එහෙම අවුලක් නෑ වගේ නේද? ඔව්. එහෙම එකක් තියෙනවා. හැබැයි තවත් සමහරුන්ට නම් ඔය සංස්කෘතික අධෝ වාත සීන් අල්ලන්නෙ නෑ. ඒ අය ඉන්න මතය වෙන්නේ, පඩේ කියන්නේ සොබාවික දෙයක්ය, ඒ නිසා පඩේට පඩේ නොකියා අමුතු කැටයං දාන්න ඕනේ නැතය කියන එක. ඒ අදහසෙත් වැරැද්දක් නෑ. හැබැයි මෙහෙම කාරණයක් තියෙනවා. අපි තවත් අය එක්ක ඉන්න වෙලාවක, ඒ අය ඕනම කුණුහරුපයක් කියන්න පුළුවන් බොක්කේ යාළු සෙට් එකකුත් නෙවෙයි නම්, විහිළුවට හරි පඩ කතන්දරයක් ඇදිලා ආවොත්, “පඩේ පඩේ” කියලා ඔහේ කියලා දාන්න එපා. අපිට ඒක ගාණක් නොවුණත්, තව කෙනෙක්ට ඒක අපහසුවක් වෙන්න පුළුවන්. ආන්න ඒ වෙලාවට අපේ මතය අපි ගාව තියාගෙන, අධෝ වාතය වගේ වචනයක් පාවිච්චි කළාට කමක් නෑ.

ඒ වගේම, විශේෂයෙන්ම මතක තියාගන්න. ඔය කෑම කන වෙලාවක, කෑමක් ගැන කතා කරන වෙලාවක එහෙම පඩ කතා නොකියා ඉන්න එක හොඳයි.

 

 

2. හිර කරගෙනම ඉන්න හොඳ නෑ

සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය විදියේ අධෝ වාතයක් හිර කරගෙන, අල්ලගෙන ඉන්න බැරි කමක් නෑ. හැබැයි ඒක පුරුද්දකට යන්න හොඳ නෑ. මොකද, වෛද්‍යවරුම කියනවා අපි පුරුද්දක් විදියට අධෝ වාත නැතිනම් පඩ හිර කරගෙන ඉන්න ගියොත්, ඒකෙන් අපිට ශාරීරික අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් වගේම සෞඛ්‍ය ගැටළුත් ඇති වෙන්න පුළුවන් කියලා. මොකද, ඒකෙන් යම් කිසි පීඩනයක් ශරීරාභ්‍යන්තරයේ ඇතිවෙන්න පුළුවන් නිසා. බඩවැල් වල ඇති වෙන පීඩනයක් පිට කරන එක තමයි හොඳ. එහෙම නැතුව ඕනවට වඬා වෙලාවක් අධෝ වාතයක් අල්ලගෙන ඉන්න ගියොත් එහෙම අපේ උදරයේ යම් යම් සංකූලතා ඇතිවෙන්න පුළුවනිලු. ඒ නිසා, ඕනවට වඩා කාලයක් අධෝ වාතයක් හිර කරගෙන ඉන්න උත්සාහ ගැනීම සහ, එහෙම අධෝ වාතයක් එන්න යනකොට හිරකරගෙන ඉන්න එක පුරුද්දකට කිරීම වහාම නැවැත්විය යුතුයි. 

 

 

3. සෙනඟක් මැද්දේ පඩයක්!

දැන් කීප දෙනෙක් ඉන්න තැනක ඕන්න අපිට අධෝ වාතය පිට වෙන්න එනවා. හැබැයි අවුලක් නෑ, අල්ලගෙන ඉන්න පුලුවන්. එහෙම කියලා මොකද කරන්නේ, අල්ලගෙනම ඉන්නවද? ආන්න ඒක ඩේන්ජරස්. ඒ කියන්නේ උඩ කියපු විදියට හිර කරගෙන ඉන්න එක හොඳ නැති නිසාමත් නෙවෙයි. ඔය අධෝ වාත වල තියෙන සීන් එකක් තමයි, අපි අල්ලගෙන, හිර කරගෙන හිටියත්, අපේ අවධානය මිදුණු අවස්ථාවක බහ් ගාලා පනින්න පුළුවන්. ආන්න ඒ නිසා, කිහිප දෙනෙක් හෝ සෙනඟක් මැද්දේ නං ඉන්නේ, අධෝ වාතයක් යන්න එනවා නං ආයෙ බල බල ඉන්න එපා. එක්ස්කියුස් කරලා පොඩ්ඩක් කවුරුවත් නැති හරියකට යන්න. හොඳම දේ තමයි බාත්රූම් එකක්, ටොයිලට් එකක් කොහෙද තියෙන්නේ කියලා බලලා ඒකට යන්න. දැන් නිදහසේ අධෝ වාතය පිටකරන්න. ප්‍රශ්නයක් නෑනේ එතකොට!

 

 

4. සද්දෙට සද්දෙ ෂරි, කඳට මක් කොර්නවා?

දන්නවනේ අර විහිළු කතාව? වෙළඳාමේ ගියපු නානා ගමරාළගේ ගෙදරට ගොඩවුණාලු. ගමමහගේට ඔන්න පඩයක් යන්න ආවලු. හිරකරගෙන ඉන්නත් බැරි නිසා ගමමහගේ පඩේ ඇරලා, ඒ සද්දේ කවර් කරන්න දොරත් හයියෙන් වැහුවලු. එතකොට නානා අහනවලු, “සද්දෙට සද්දෙ ෂරි හාමිනේ, ඒත් කඳට මක් කොර්නවා?” කියලා. ඕන්න ඕක පඩ සීන් එකේ මතක තියාගෙන ඉන්න ඕන කාරණයක්. පඩේ තියෙන්නේ සද්දේ විතරක් නෙවෙයි. ගඳකුත් තියෙනවා. සමහර පඩ සද්දෙට ආවට ගඳ නෑ. සමහර පඩ සද්දයක් නැතත් ගඳේ අඩුවක් නෑ. හැබැයි ඉතින් අපිට ඔය පඩේ ගුණාගුණ කලින්ම දැනගන්න පුළුවන් විදියට මැනගන්න පස්ස පැත්තේ මීටර් එකකුත් හයිකරලා නෑ. අන්න ඒ නිසා, අර උඩිනුත් කිව්වා වගේ, අපි තනියෙන් ඉන්න තැනකදී වුණත් පඩයක් යවන්න කලින් දෙපාරක් හිතන්න ඕන. හොඳම දේ වොෂ්‍ රූම් එකකට ගිහින් නිදහසේ පඩේ අරින එක. එහෙම නැතුව නිකමට හිතන්න ඒසී කරපු බෝඩ්රූම් එකේ තනියම ඉන්නකොට පඩයක් යනවා කියලා. ඔන්න ඔහේ මං විතරයිනේ කියලා ඉන්නවා. කොහොමද ඊට පස්සේ ඔෆිස් එකේ සෙට් එකම මීටින් එකකට බෝඩ් රූම් එකකට ආවොත්? ඒසී එකේ පඩ යැව්වහම ආයෙ ගඳ අල්ලලා හිටිනවා කියලා දැනගන්න පීඑච්ඩී ඕන නෑ!

 

 

5. බහ් ගාලා ගියොත්?

ඔව්. මේකත් වෙන්න පුළුවන් දෙයක්. ඔය සමහර වෙලාවට අධෝ වාතයක් එන්න යනකොට හිර කරගෙන ඉන්න, එහෙම ඉඳලා ලස්සනට එක්ස්කියුස් කරලා ටොයිලට් එකට ගිහින් ඒක පිට කරන්න පුළුවන්. හැබැයි තවත් සමහර අවස්ථා තියෙනවා ඔය එකක්වත් කරගන්න වෙලාවක් සෙට් නොවෙන. හෙනම නාහෙට නාහන පඩ. ආයෙ පඩයක් යන්ඩ එනවා කියලා හිතනකොටම බෝම්බ සද්දෙන් පඩේ ගිහින් ඉවරයි. ඕක ඉතින් තමන්ගේ නෝනා හරි මහත්තයා හරි බොක්කේ ෆිට් එකක් හරි ඉන්න තැනක ගියාට නම් එහෙමට අවුලක් වෙන්නෙ නෑ. එක්කෝ පොඩ්ඩක් බයිට් වෙන්න වෙයි. එච්චරයි. හැබැයි මහ සබාවක එහෙම ඔය විදියට අධෝ වාතය පිට වුණොත්? හිතන්න එපා ගොඩක්. අනවශ්‍ය විදියට ලැජ්ජා වෙන්න අවශ්‍යත් නැහැ. එක්කෝ “එක්ස්කියුස් මී” නැතිනම් “සොරි” කියලා ඒකට සමාව ඉල්ලන්න. ඒක නිකම් කැස්සක්, ගුඩුස් එකක්, ඈනුමක් විදියට හිතන්න. එහෙම කරලා එතනින් එහාට ඒක අමතක කරන්න.

 

 

6. ඊය ඕයි?

මෙන්න මේක නම් අපි හැමෝම සීරියස් හිතන්න ඕන කාරණයක්. දැන් ඔය අපිට පඩ යනවා කියන එක සොබාවික සංසිද්ධියක්නේ. සාමාන්‍ය මනුස්සයෙක්ට දවසකට 14-24 ත් අතර පඩ ප්‍රමාණයක් පිට වෙන්න පුළුවනිලු. හැබැයි ඒ වගේම, තවත් සමහරුන්ට යම් යම් සෞඛ්‍ය තත්ව තියෙනවා. අන්න ඒ සෞඛ්‍ය තත්ත්ව වලදිත් නිතර අධෝ වාත පිටවෙන්න පුළුවන්. විශේෂයෙන්ම එහෙම සෞඛ්‍ය තත්ත්වයකදී කෙනෙක්ට අධෝ වාතයක් පිට වෙනවා කියන එක තමන්ට පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම තත්ව ඕන තරම් තියෙනවා. ආන්න ඒ නිසා, අපිට අධෝ වාත පිට කිරීම ගැන හරි ආචාර ධාර්මික හැඟීමක් තියෙනවා වගේම, අපි ඉන්න තැනක තව කෙනෙක්ට අධෝ වාතයක් පිට වුණොත්, ඒක ගණන් නොගෙන ඉන්නත් සදාචාරයක් තියෙන්න ඕන. අපි කවුරුත් මිනිස්සුනේ. අන්න ඒ නිසා, ඒ කෙනාට හිත් තැවුලක් ඇති වෙන්න ඉඩ නොතියා, කොටින්ම ඒක ගණන් නොගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒක ලොකු දෙයක්!

 

 

7. බහිශ්‍රාවීය සෞඛ්‍යය හරියට!

දැන් අපි උඩින් කිව්වනේ සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට දවසකට පඩ 14-24 ත් අතර ගාණක් පිටවෙන්න පුළුවන් කියලා කියනවා කියලා. ඒක ඇත්ත. හැබැයි ගොඩක් වෙලාවට අපි සිරුරු කිස කරන්න ටොයිලට් එකට ගියාමත් පඩ යනවනේ. අවුලක් නෑ. හැබැයි හිතිලා තියෙනවද අපි ටොයිලට් නොගිහින් කක්කා බර හිර කරගෙන ඉන්නකොටත් අධෝ වාත පිටවෙනවා වැඩියි කියන එක? ඒක ඇත්තක්. ඒ වගේම, ඒකේ අවදානමකුත් තියෙනවා. කක්කා බර හිර කරගෙන ඉන්නකොට අධෝ වාතයක් සැරෙන් පිටවෙන්න එන එකේ අවදානම මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ආන්න ඒ නිසා තමන්ගේ බහිශ්‍රාවීය සෞඛ්‍යය ගැනත්, සමස්තයක් විදියට ශරීර සෞඛ්‍යය ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන. දවසකට පාරක් හරි පුරුද්දක් විදියට ටොයිලට් යන එක, ටොයිලට් බර හිරකරගෙන ඉන්නෙ නැති එක වැදගත්. ඒ වගේම, හරියට කොළ එළවලු එහෙම එක්ක සමබල ආහාර වේලක් ගන්න එකත් උපකාරයක් වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *