UFC සටන්බිමේ පෙරළිකාර සටන්කාරියෝ

අපි කලින් සතියක ඔබට කිවුවා UFC සටන් බිමේ ප්‍රබලම සටන්කරුවන් කීප දෙනෙක් ගැන තොරතුරු. අද කියන්න යන්නේ UFC හි සටන්වැදුණු, කාන්තා මිශ්‍ර සටන් කලාවේ ඉදිරි ගමනට දායක වුණු දක්ෂතම සටන්කාරිණියන් කීප දෙනෙක් ගැනයි. 

 

1. අමැන්ඩා ‘ලයනස්’ නූනේස් (Amanda Nunes)

මේ වෙද්දි කාන්තා MMA ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුණු ශ්‍රේෂ්ඨතම සටන් ක්‍රීඩිකාව හැටියට අමැන්ඩා ‘ලයනස්’ නූනේස් ව වැඩි දෙනෙක් හඳුන්වන්න පටන් අරන් තියනවා. ​ඒ හැඳින්වීම නිවැරදියි කියලයි අපිත් හිතන්නේ. බ්‍රසීල ජියුජිට්සු කළුපටි ශූරියක වන ඇය මේ වන විට සටන් 20ක් ජයගෙන 4ක් පරාජය වී තිබෙන අතර තමන් සහභාගී වූ අවසාන සටන් 11ම ජයගෙන තිබෙනවා. UFC කාන්තා ෆෙදර්වේට් සහ බැන්ටම්වෙට් කියන ශූරතාවයන් දෙකම වර්තමානයෙදි ඇය උසුලනවා. රොන්ඩා රවුසි, හෝලි හෝම්ස්, ක්‍රිස් සයිබෝර්ග්, මීෂා ටේට්, වැලන්ටිනා ෂෙව්චෙන්කෝ ​ඇතුළු කාන්තා සටන්කලාවේ දක්ෂතමයන්ව පරද්දන්න නූනේස් සමත්වෙලා තියනවා. මේ වෙනකොට UFC හෝ වෙනත් MMA සටන්බිමක ඇයට තර්ජනයක් වන්නට තරම් ක්‍රීඩිකාවක් ඉන්නවාද කියලාත් සැකයි. අදටත් යම් පමණකින් හරි අමැන්ඩාට තර්ජනයක් වෙන්න පුළුවන් ක්‍රීඩිකාව ගැන අපි අංක 2ට සඳහන් කරන්නම්. 

 

2. වැලන්ටිනා ‘බුලට්’ ෂෙව්චෙන්කෝ (Valentina Shevchenko)

කිරිගිස්ථාන ජාතික සුරූපී දක්ෂ සටන් ක්‍රීඩිකාවක් වන වැලන්ටිනා ‘බුලට්’ ෂෙව්චෙන්කෝගේ MMA වාර්තාව සටහන් වෙන්නේ තරඟ 19ක් ජයගෙන 3ක් පරාජය වූ හැටියටයි. අපි මේ ලැයිස්තුවේ අංක 1ට සඳහන් කරපු අමැන්ඩා නූනේස් එක්ක පවත්වපු ඉතාම තියුණු සටන් දෙකකින්ම වැලන්ටිනා පරාජයට පත් වුණත් ​ඒ සටන් දෙකම දෙදෙනාම කරට කර සටන් කළ (දෙවැනි සටනේදී වැලන්ටිනාට ජය හිමිවිය යුතු බවටත් සමහරු සලකනවා) ​ඒවා නිසා දැනට අමැන්ඩා නූනේස්ට UFC බිමේ තිබෙන එකම තර්ජනය හැටියටයි වැලන්ටිනාව සැලකෙන්නේ. තාක්ෂණයෙන් ඉතාම පිරිපුන් මූයි තායි සටන්කාරිණියක් වන ඇය මේ වෙද්දී UFC තරඟ බිමේ ෆ්ලයිවේට් ශූරතාවය උසුලනවා. 

 

3. යො​​ආනා යෙර්ජෙයිජික් (Joanna Jędrzejczyk)

පෝලන්ත ජාතික යො​​ආනා වගේම ​ඇගේ අරුම පුදුම වාසගමත් MMA ලෝලීන් අතර අති ජනප්‍රියයි. ඇය අති දක්ෂ මූයි තායි කික් බොක්සිං ක්‍රීඩිකාවක්. තරඟ වට පහක් පුරාවට වුණත් වෙහෙසක් නොමැතිව වේගය පවත්වාගෙන සටන් වදින්නට ඇය දක්ෂයි. රොන්ඩා රවුසී UFC කාන්තා බැන්ටම්වේට් බර පන්තිය හොල්ලාගෙන ඉඳිද්දී අනික් පසින් කාන්තා ස්ට්‍රෝවේට් බර පන්තියේ අපරාජිතව යො​​ආනා සටන් වැදුනා. ඇය තරඟ 14ක් තිස්සේ අපරාජිතව සිටින්නටත් සමත් වුණා. නමුත් අවසානයේ කවුරුත් නොසිතූ අයුරින් රෝස් නමයුනාස් අතින් ඇය පරාජයට ලක්වුණා. පෞද්ගලික ජීවිතයේ ​ඇතිවුණු නොයෙකුත් ප්‍රශ්නත් තමන්ට මේ පරාජය හිමිවන්න බලපෑවා කියලා ඇය පසුව ප්‍රකාශ කරලා තිබ්බා. නමයුනාස් හමුවේ ලද පරාජයෙන් පස්සේ යො​​ආනාට කලින් වගේ එක දිගට තරඟ ජයග්‍රහණ වාර්තා කරන්නට නොහැකි වුණත්, මෑතකදී චීන ජාතික වෙයි ලී සමග පැවති සටනේදී අපිට පැරණි යො​​ආනාගේ ලක්ෂණ වඩාත් මතුවෙලා පෙනුනා. ඇය නැවත තමන්ගේ සුපුරුදු ජයග්‍රාහී මාවතට එළඹෙනවා දකින්නට බොහොමයක් MMA රසිකයන් කැමතිවනු නොඅනුමානයි. 

 

4. ‘රවුඩි’ රොන්ඩා රවුසි (Ronda Rousey)

මේ වෙද්දි MMA ක්‍රීඩාවට සමු දීලා WWE රෙස්ලිංවලට සම්බන්ධ වෙලා හිටියත්, කාන්තා මිශ්‍ර සටන්කලාව ලෝකයේ ප්‍රචලිත කරන්න දැඩිව හේතුවුණු නමක් වුණු නිසා අපිට රොන්ඩා රවුසි ව ලේසියෙන් අමතක කරලා කාන්තා සටන් ගැන ලියන්න බැහැ. ප්‍රබල ජූඩෝ සටන් ශිල්පිණියක් වූ ඇය එක කාලයක් අපරාජිතව, පිරිමි සටන්කරුවන්ව පවා අභිබවා යන තරම් කීර්තියක් උසුලාගෙන හිටියා. තමන් සහභාගී වූ හැම සටනක්ම පාහේ පළමු වටය ඉක්මවන්නට කලින් නිමාකරන්නට තරම් ඇය අති භයානක සටන්කාරිණියක් වුණා. කොහොම නමුත් අවසානයේදී ලෝකයම මවිතයට පත් කරමින් ​ඇගේ පළමු පරාජය ඇය හෝලි හෝම්ස් අතින් ලබනවා. රොන්ඩා ​ඒ වෙනකොට හිටපු යම් පමණක අහංකාර ස්වභාවය නිසා සෑහෙන පිරිසක් මේ පරාජයෙන් සතුටටත් පත් වෙනවා. මේ පරාජය රොන්ඩා​ව මානසිකව සෑහෙන පහළ තලයකට ​ඇද දමනවා. ඉන් කාලෙකට පස්සේ ඇය නැවත තරඟබිමට පිවිසිලා අමැන්ඩා නූනේස් ට අභියෝග කළත්, ​ඒ තරඟයෙනුත් ඇයට හිමි වෙන්නේ අපකීර්තිමත් පරාජයක්. එයින් පස්සේ රොන්ඩා රවුසී MMA ක්‍රීඩාවට සමු දෙනවා. 

 

5. ක්‍රිස්ටීන් ‘ක්‍රිස් සයිබෝර්ග්’ ජස්ටිනෝ (Cris Cyborg)

අති බිහිසුණු සටන්කාරිණියක් හැටියට දශකයකටත් වඩා කාලයක් සෙසු MMA සටන්කාරිණියන්ව බයට පත් කරමින් වැජඹෙන්න ක්‍රිස්ටීන් ජස්ටිනෝ, එහෙමත් නැත්නම් කවුරුත් දන්න ක්‍රිස් සයිබෝර්ග් සමත්වුණා. අදටත් සයිබෝර්ග් එක්ක තරඟයකට මුහුණ දෙන්න බොහොමයක් ක්‍රීඩිකාවෝ මග හරිනවා. ඉතාම වේගවත්ව සහ ප්‍රචණ්ඩකාරීව පහර පිට පහර එල්ල කරන ඇය ලොව පුරා විවිධ සටන් කලා සංවිධාන යටතේ තරඟ වැදී තිබෙනවා. UFC සමග එකතුවී කෙටි කාලයකින්ම ෆෙදර්වේට් ශූරතාවය දිනාගන්නට ඇය සමත් වුණත්, අමැන්ඩා නූනේස් අතින් ඇය පරාජයට පත් වනවා. ඉන් පස්සේ තවත් ජනප්‍රිය ​ඇමරිකානු MMA සටන් සංවිධානයක් වන Bellator සමග එක්වන ඇය තමන්ගේ පළමු සටනින්ම එහි ෆෙදර්වේට් ශූරතාවය දිනා ගැනීමට සමත්වෙනවා. ක්‍රීඩාවේ වාසි ඇතිකරගැනීමට තහනම් ඖෂ​ධ ලබාගැනීමේ චෝදනාවන්ටත් නිරතුරුව ලක්වෙන සයිබෝර්ග්ව ​ඇගේ පෙනුම නිසා සමහරු ‘පිරිමියෙක්’ හැටියටත් හඳුන්වනවා. ​ඒ කතා කොහොම වෙතත් දශක එකහමාරක් තිස්සේ සටන් වැද තරඟ 2ක් පමණක් පරාජය වී ​ඇති ​ඇගේ දක්ෂතාවය ගැනනම් විවාදයක් නැහැය කියලායි අපි හිතන්නේ 

 

6. වෙයි ලී ‘මැග්නම්’ ෂෑන්ග් (Weili Zhang)

UFC තරඟ බිමට අලුත් ක්‍රීඩිකාවක් වුණත් වෙයිලී ඉතාම ඉක්මනින් සටන් කලා රසිකයන්ගේ අවධානය තමන් වෙත යොමු කරගන්න සමත් වුණා. මේ වන විට සටන් 21ක් ජයගෙන ​ඇති ඇය පරාජය වී ​ඇත්තේ එක සටනක් පමණයි. ​ඒ සටනත් ​ඇගේ පළමු සටන බැවින් මේ වෙද්දී ඇය අඛණ්ඩව තරඟ 21ක් ජයගෙන තිබෙනවා. රෝස් නමයුනාස්ව පරදවමින් ජෙසිකා අන්ඩ්‍රාජ් UFC ස්ට්‍රෝවේට් ශූරිය බවට පත්වූ පසු ඇයට අභියෝග කරමින් ඉතා පහසුවෙන් ජය ගන්නට වෙයි ලී සමත් වුණා. ඉන් පස්සේ ඇයට අභියෝගය ​​ආවේ හිටපු ස්ට්‍රෝවේට් රැජිණ වුණු යො​​ආනාගෙන්. දෙදෙනා අතර පැවතුණේ MMA රසිකයෙක්ට ජීවිත කාලයක් මතක හිටින තරමේ උද්වේගකර තරඟයක්. අවසානයේදී ඉන් ජයගෙන තමන්ගේ ශූරතාවය තහවුරු කරගන්න වෙයිලී සමත් වුණේ සුවහසක් MMA සටන් කලා ලෝලීන්ගේ ගෞරවයට පාත්‍ර වෙමින්. මේ වන විටත් UFC ස්ට්‍රෝවේට් ශූරිය හැටියට වැජඹෙන්නේ ඇයයි. 

 

7. ‘තග්’ රෝස් නමයුනාස් (Rose Namajunas)

UFC ස්ට්‍රෝවේට් බර පන්තිය රජ කරමින් හිටපු යො​​ආනාගෙන් කිරුළ උදුරගෙන හැමෝවම විශ්මයට පත් කරන්න රෝස් නමයුනාස් සමත් වුණා. සමහරු ​ඒ ජයග්‍රහණය සැළකුවේ අහම්බයක් හැටියටයි. ​ඒත් ඉන් පස්සේ යො​​ආනා එක්ක පැවැත්වුණු දෙවැනි තරඟයත් අපහසුවකින් තොරවම ජයගන්න රෝස් සමත් වුණා. ​ඒත් එක්කම ක්‍රීඩා ලෝලීන් ​ඇගේ දක්ෂතාවයට නිසි ගෞරවය ලබා දෙන්න පෙළඹුණා. නමුත් වැඩි කලක් ස්ට්‍රෝවේට් ශූරිය හැටියට ඇයට වැජඹෙන්න ලැබෙන්නේ නැහැ. UFC 237 තරඟාවලියේදී ජෙසිකා අන්ඩ්‍රාජ් අතින් ඇය පරාජයට ලක්වෙනවා. ​ඒ තරඟයේදී දක්ෂ ලෙස සටන් කරමින් හිටියත් සුළු අත්වැරද්දකින් ඇයට පරාජය හිමි වෙනවා. ඉන් පස්සේ වසරක පමණ කාලයක් තිස්සේ අපිට රෝස්ව සටන් බිමේ දකින්න ලැබුණේ නැහැ. කොහොම වෙතත් මේ ජූලි මස 12 වැනිදා පැවැත්වෙන UFC 251 දී ඇය තමන්ගෙන් කිරුළ උදුරාගත් ප්‍රතිවාදිනිය වන ජෙසිකා අන්ඩ්‍රාජ් සමග සටන් වැදීමට නියමිතයි. ඇය ඉන් ජය ගත්තොත් දැනට කාන්තා ස්ට්‍රොවේට් කිරුළ හොබවන වෙයිලී හට අභියෝග කරන්නට ඇයට අවස්ථාව උදාවනු ඇති.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *