කව්පි තම්බලා විතරද කන්න දන්නෙ? හදමුද වෙන කෑම ටිකක්?

කව්පි කිව්වම තම්බල පොල් එක්ක, ලුණුමිරිස් එක්ක කනවට වඩා දෙයක් හුඟක් අය දන්නෙ නෑ. හැමදාම තම්බල කන කව්පි වලට රස වෙනසක් කරන්නයි ලයිෆි අපි මේ උත්සහ කරන්නෙ. පෝ​ෂණයත් රැකෙන්න රසම රසට කව්පි හදාගන්න ක්‍රම ගොඩක් තියනවා. අපි අද ඒවයින් ටිකක් බලමු. චිකන්, සැමන් පාවිච්චි කරල තියෙන රෙසිපි වල ඒ දේවල් ඉවත් කරල වෙජිටේරියන් අයටත් හදාගන්න පුළුවන් බවත් විශේෂයෙන් කියන්න ඕ​න. 

 

1. කව්පි රොටී

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් කව්පි කෝප්ප 1
  2. ග්‍රේට් කරගත් කැරට් අලයක්
  3. පාන්පිටි කෝප්ප 1
  4. ලුණු
  5. චොප්කරගත් ළූණු ගෙඩි 2
  6. ගාගත් පොල් කෝප්ප 1/2

 

  • කවුපි ටික හොඳට පොඩි කරගන්න. 
  • සේරම දේවල් එකට කලවම් කරලා, රොටි මෝලිය හදාගන්න අවශ්‍ය තරම් වතුර ටික ටික එකතු කරන් අනාගන්න.
  • දැන් මේක තුනී කරලා රොටි තැටියට දාලා දෙපැත්ත පුළුස්සගන්න.

 

 

2. කව්පි කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් කව්පි කෝප්ප 1
  2. පොඩි කරගත් සැමන් කප් 1/2
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. කෑලිමිරිස් තේ හැඳි 1
  6. කහකුඩු 
  7. ලුණු රස අනුව
  8. ගම්මිරිස් කුඩු සැර අනුව

 

බැටර් එකට

 

  1. පාන්පිටි ස්වල්පයක් 
  2. ලුණු
  3. කහ
  4. බිස්කට් කුඩු
  5. බැදගැනීමට තෙල්

 

  • මුලින්ම තෙල් ටිකක් ලිපේ තියලා ළූණු හා අමුමිරිස් තෙම්පරාදු කරගන්න.
  • මේකට කෑලිමිරිස් හා කහකුඩු දාලා කලවම් කරගෙන සැමන් එක්ක තම්බා පොඩි කරගත් කව්පි ටික දාලා කලවම් කරන්න. 
  • ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව එකතු කරන්න. හොඳට මිශ්‍ර වෙලා ගුලි ගැහෙන ගාණට ආවම ලිපෙන් ඉවත් කරගන්න.
  • බැටර් එක හදාගන්න පාන්පිටි වලට ලුණු හා කහ කුඩු ස්වල්පයක් දාලා වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් කව්පි මිශ්‍රණයෙන් පොඩි පොඩි බෝල හදලා පාන්පිටි බැටර් එකේ දාලා බිස්කට් කුඩු වල තවරගන්න. ඩබල් කෝට් කරල නම් වඩා හොඳයි. 
  • තෙල් ලිපේ තියලා හොඳින් රත් වුනාම කව්පි කට්ලට් බෝල ටික රන්වන් පාට වෙනකල් බැදගන්න. 

 

3. කව්පි මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රැයක් පොඟවාගත් කව්පි ග්‍රෑම් 200
  2. ගාගත් පොල් කෝප්ප 1
  3. සුදුළූණු බික් 3
  4. චොප්කරගත් රතුළූණු ගෙඩි 2
  5. කපාගත් අමුමිරිස් කරල් 2
  6. කුරුඳු පොතු කෑල්ලක්
  7. ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  8. අබ ස්වල්පයක්
  9. කරපිංචා
  10. ලුණු
  11. කෑලිමිරිස් තේ හැඳි 1
  12. තුනපහ කුඩු තේ හැඳි 1/2

 

  • පොල් වලට අබ, ගම්මිරිස්කුඩු, සුදුළූණු, රතුළූණු, කහ, තුනපහකුඩු, කුරුඳු පොතු, ලුණු, කරපිංචා, අමුමිරිස්, කෑලි මිරිස් එක්කර ගලේ අඹරන්න හෝ වංගෙඩියේ කොටාගන්න.
  • කව්පි සෝදලා තැම්බෙන්න තියන්න. හොඳට තැම්බිලා වතුර හිඳීගෙන එද්දි ලුණු ස්වල්පයක් එකතු කර කලවම් කරගන්න.
  • මේකට අඹරාගත් පොල් ටික දාලා කලවම් කරගන්න.
  • පොල් ටික හොඳට මැලවිලා වතුර හොඳටම හිඳුනට පස්සෙ ලිපෙන් බාගන්න. 
  • උදේ තම්බල ඉතුරු වු​න කව්පි තියෙනවා නම් දවල් බතට මේ මැල්ලුම හදාගන්න පුළුවන් වෙනම පොල් ටික මලවගෙන ඒකට තම්බපු කව්පි එකතු කරගෙන.

 

4. කව්‍පි චිකන් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බෙරි ගතියට තම්බාගත් කව්පි කෝප්ප 1
  2. තම්බාගත් කටු රහිත චිකන් කප් 1/2
  3. චොප්කරගත් අමුමිරිස් කරල් 1
  4. චොප්කරගත් රතුළූණු ගෙඩි 2
  5. හීනියට ලියාගත් කරපිංචා ටිකක්
  6. කෑලිමිරිස් තේ හැඳි 1
  7. ගම්මිරිස් කුඩු 
  8. ලුණු
  9. වාටි කපාගත් පාන්පෙති අවශ්‍ය තරම්
  10. බැදගැනීමට තෙල්

 

  • තෙල් ටිකක් රත්වෙන්න තියලා චොප්කරගත් අමුමිරිස්, රතුළූණු, කරපිංචා එක්ක පොඩි කරගත් චිකන් දාලා තෙම්පරාදු කරගන්න.
  • ඒකට කෑලිමිරිස්, ගම්මිරිස් කුඩු හා රස අනුව ලුණු දාගෙන හොඳට කලවම් කරගන්න.
  • දැන් මේකට බෙරි වෙන්න තම්බාගත් කව්පි ටික එකතු කරලා ඇට ගතිය නැතිවෙනකල් හොඳට පොඩි කරමින් මිශ්‍ර කරන්න.
  • රෝලින් පින් එකක් ආධාරයෙන් පාන්පෙති ටික තුනී කරලා කව්පි මිශ්‍රණය පාන් පෙත්තෙ අයිනකින් තියලා දෙපැත්තෙන් නවාගෙන රෝල් කරගන්න.
  • බිත්තර සාරු හෝ වතුර ටික ගාල අතින් තද කරල පාන් පෙත්තෙ කෙලවර අලවගන්න. 
  • තෙල් ලිපේ තියලා රත්වෙනකොට පාන් රෝල් ටික තෙලට දාල රන්වන් පාට වෙනකොටම එළියට ගන්න. පාන් ඉක්ම​නට බැදෙන නිසා අවධානයෙන් මේ වැඩේ කරන්​න. 

 

5. කව්පි වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. රැයක් පෙඟෙන්න දැමූ කව්පි කෝප්ප 2
  2. හීනියට කපාගත් ළූණු ටිකක්
  3. හීනියට කපාගත් කරපිංචා ටිකක්
  4. චොප්කරගත් අමුමිරිස් ටිකක්
  5. කෑලිමිරිස් තේ හැඳි 1
  6. කහ කුඩු තේ හැඳි 1/2
  7. ලුණු 
  8. ගම්මිරිස් කුඩු
  9. කෝන්ෆ්ලා මේස හැන්දක්

 

  • කව්පි ටික අරගෙන මිටක් වගේ අයින් කරලා ඉතුරු ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න.
  • අයින් ​කරගත් කව්පි ටික කෑලි හිටින සේ ග්‍රයින්ඩ් කරගන්න.
  • අඹරගත්ත කව්පි සේරම එකට දාල කලවම් කරන් ඒකට කෝන්ෆ්ලා, කරපිංචා, ළූණු, අමුමිරිස්, කෑලිමිරිස්, කහ කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු රස අනුව එකතු කරලා හොඳට අනාගන්න.
  • පොඩි බෝල හදාගෙන, අතින් පැතලි කරල, ගැඹුරු තෙලේ තරමක් අඩු ගින්දරේ හෙමින් බැදගන්න. 

 

6. ඉටලියන් ස්ටයිල් කව්පි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් කව්පි කෝප්ප 1
  2. තක්කාලි පියුරි කෝප්ප 1
  3. ලියාගත් ළූණු ගෙඩි 1
  4. තලාගත් සුදුළූණු බික් 3
  5. සීනි මේස හැඳි 1
  6. ගම්මිරිස් කුඩු හා ලුණු
  7. ඔලිව් ඔයිල් ටිකක්

 

  • පෑන් එකට ඔලිව් ඔයිල් ටිකක් දාලා ළූණු ටික දාගන්න.
  • ළූණු ටික තෙම්පරාදු වේගෙන එනකොට සුදුළූණු ටික දාල සුවඳ එන ගාණට තෙම්පරාදු උනාම තක්කාලි පියුරි එක දාගන්න.
  • ඒකටම ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු රස අනුව දාගෙන සීනි ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.
  • බුබුළු දාල උතුරගෙන එන කොට අන්තිමට කව්පි ටික එකතු කරගන්න. 
  • පාන් කන්න වගේම වෙජිටේරියන් අයට පාස්තා කන්නත් නියමයි. 

 

7. කව්පි හාල්මැස්සො තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් කව්පි ග්‍රෑම් 200
  2. පිරිසිදු කර බැදගත් හාල්මැස්සන් ග්‍රෑම් 50
  3. ලියාගත් බී ළූණු ගෙඩි 2
  4. ලියාගත් අමුමිරිස් කරල් 2
  5. අබ තේ හැඳි 1
  6. කෑලිමිරිස් තේ හැඳි 2
  7. කරපිංචා
  8. රම්පේ කෑල්ලක්
  9. තෙල් ටිකක්
  10. ලුණු

 

  • භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න.
  • දැන් මේකට කරපිංචා, රම්පේ, අමුමිරිස්, ළූණු හා කෑලිමිරිස් ටික දාලා හොඳට කලවම් කරලා තෙම්පරාදු වෙන්න දෙන්න. 
  • ළූණු මැලවිලා හොඳට තෙම්පරාදු උනාම කව්පි ටිකයි බැදගත්ත හාල්මැස්සොයි එකතු කරලා කලවම් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *