ඝණ ආහාර කන්න පටන් ගත්ත මාස 6ට වැඩි පොඩ්ඩන්ට රෙසිපි වර්ග 7ක්

මව්කිරි විතරක් බීපු බබාලා ටික ටික ලොකු වෙනකොට ඝණ ආහාර පටන් ගන්නෙ මාස 6 දී විතරනේ… එතන ඉඳලා ඉතින් ඩිංග ඩිංග ලොකු වෙන අපේ බබාලට පෝෂ්‍යයදායී ආහාර වේලක් දෙන්නනෙ හැම අම්මෙක්ම බලන්නෙ. අපි ගෙනාවෙ පොඩ්ඩට මොනවද දෙන්නෙ කියල හැමදාම කල්පනා කරන අම්මලාට කෑම අයිඩියාස් 7ක්. 

 

1. මෑශ්ඩ් පම්කින් ඇන්ඩ් පොටෑටෝ

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් අල ගෙඩියක්
  2. තම්බාගත් වට්ටක්කා කෑලි දෙකක්
  3. චීස් කෑලි දෙකක්
  4. බටර් තේ හැන්දක්
  5. කිරි මේස හැඳි 2
  6. ගම්මිරිස් කුඩු

 

  • අල ටික පොඩි කරගන්න. ඒකට වට්ටක්කා ටික පොතු අයින් කරලා එකතු කරගෙන පොඩි කරගන්න. දැන් බටර් ටික දාගෙන කලවම් කරගන්න. කිරි ටික එකතු කරලා දියාරු මිශ්‍රණයක් හදාගෙන ලිපේ තියලා රත් කරගන්න.
  • ඒ ගමන්ම චීස් ටිකත් එකතු කරගන්න. ලිපේ තියලා හැඳි ගාන ගමන් ගම්මිරිස් කුඩු ලාවට චුට්ටක් අවශ්‍ය නම් විතරක් දාගන්න.

 

2. බෙරි බත

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුරුළුතුඩ හාල් මිටක්
  2. පරිප්පු ටිකක්
  3. කඩල පිටි
  4. කුඩු කරගත් හාල්මැස්සන් ටිකක්
  5. ග්‍රේට් කරගත් අල ගෙඩියක්
  6. ග්‍රේට් කරගත් කැරට් ටිකක්
  7. ලියාගත් නිවිති ටිකක්
  8. ලියාගත් ළූණු ටිකක්

 

 

  • වතුර ටිකක් ලිපේ තියලා හාල්, පරිප්පු, කඩල පිටි, හාල්මැස්සන් කුඩු දාලා බත බෙරිවෙන්න උයාගන්න.
  • බටර් ටිකක් පෑන් එකට දාලා රත්වෙනකොට ළූණු ටික දාගෙන බැදගන්න. ඒකට කැරට් හා නිවිති දාගන්න. පොඩි කරගත් අල ගෙඩියත් එකතු කරන්න. සාදා ගත් බත් මිශ්‍රණයත් එකතු කොට හොඳට කලවම් කරගන්න.

 

3. අලිගැටපේර කෙසෙල් පියුරි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. අලිගැටපේර ගෙඩියක්
  2. කෙසෙල් ගෙඩි 2
  3. කිරි කෝප්ප 1/2

 

  • අලිගැටපේර කෑලි කපලා හොඳට පොඩි කරගන්න. මේකට කිරි ටික ටික දාලා හොඳටම පොඩි කරගන්න ඕනේ. 
  • අන්තිමට කෙසෙල් කෑලිත් දාලා හොඳට පොඩි කරලා පොඩ්ඩට කවන්න.

 

4. බනානා ඕට්ස් පියුරි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඕට්ස් කෝප්ප 1/4
  2. කෙසෙල් ගෙඩි 1
  3. රට ඉඳි 2

 

  • භාජනයකට වතුර කෝප්ප 1ක් දාලා උණු කරගන්න. මේකට  ඕට්ස් ටික ග්‍රයින්ඩ් කරලා එකතු කරන්න.
  • ඇට ඉවත් කරලා චොප්කරගත් රට ඉඳි ටිකත් දාලා උකු මිශ්‍රණයක් වෙනකල් හැඳිගාන්න. 
  • දැන් මේකට පොඩි කරගත් කෙසෙල් ගෙඩියත් එකතු කරන්න. හොඳට කලවම් කරලා කෑමට දෙන්න.

 

5. රුලං මිශ්‍ර කෙසෙල් තලපය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් මේස හැඳි 1
  2. රුලං මිටක්
  3. කෙසෙල් ගෙඩියක්
  4. මුද්දරස්පලම් ස්වල්පයක්

 

  • රුලං ටික කබලෙ බැදගන්න. බටර් එකතු කරල ඒකටම වතුර අඬු කෝප්ප එකක් දාලා චූටියට කපාගත්ත මුද්දරස්පලම් ටික දාලා විනාඩි 2ක් පිසගන්න.
  • කෙසෙල් ගෙඩියක් එකතු කරල හොඳට හැන්දකින් පොඩි කරල ලිපෙන් ඉවත් කරගන්න. 

 

6. කුරක්කන් කිරිබත්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුවඳැල් හාල් මිටක් පමණ
  2. පොල්කිරි කෝප්ප  1
  3. කුරක්කන් පිටි ස්වල්පයක්
  4. රට ඉඳි ගෙඩි 4

 

  • වතුර වැඩිපුර දාලා බත් එක උයාගන්න. බත් එක ඉදීගෙන එනකොට පොල්කිරි හා කුරක්කන් පිටි මේස හැන්දක් වගේ එකතු කරන්න.
  • රට ඉඳි ඇට අයින් කරලා එකතු කරලා හොඳට පිසගන්න.

 

7. වට්ටක්කා හා චිකන් මිශ්‍ර සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු නැති චිකන් කෑල්ලක්
  2. වට්ටක්කා කෑලි කිහිපයක්
  3. හාල් මිටක් පමණ
  4. ගම්මිරිස් කුඩු
  5. රතුළූණු ගෙඩි 2
  6. බටර් ස්වල්පයක්

 

  • වට්ටක්කා හා චිකන් වෙන වෙනම තම්බගන්න. චිකන් ටික ග්‍රයින්ඩ් කරගන්න. 
  • හාල් ටික වතුර වැඩියෙන් දාලා බෙරිවෙන්න උයාගෙන ඒකට පොඩි කරගත් වට්ටක්කා හා චිකන් එකතු කරගන්න.
  • රතුළූණු ටික බටර් දාලා වෙනම තෙම්පරාදු කරලා බත් එකට එකතු කරන්න. දැන් මේක බ්ලෙන්ඩ් කරගෙන ගම්මිරිස් කුඩු ලාවට ඉහලා බබාට කවන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *