විවිධ රටවල මිනිස්සු ​මත්පැන් බොද්දි පිළිපදින චාරිත්‍ර

අපි වැඩි දෙනෙක්ට නම් ඉතින් බොනවයි කියලා මහලොකු චාරිත්‍ර ධර්ම නැහැනේ. කඩපු බෝතලේ ඉවරකරන එක තමයි ලොකුම අරමුණ සහ බලාපොරොත්තුව. හැබැයි ලෝකේ අනිත් සමහර රටවල්වල උදවිය අතරෙ නම් මත්පැන් තොළගාද්දි පිළිපදින එකකට එකක් වෙනස් චාරිත්‍ර ධර්ම තියනවා. මේ කියන්න යන්නෙ ඒවායින් කීපයක් ගැනයි.

 

1. වොඩ්කා ඉතිරෙන රුසියාව

රුසියාව කිවුවම මොකක්ද මතක් වෙන මත්පැන් ජාතිය? වොඩ්කා නේද? වතුර ගාණට වොඩ්කා බොනවා ව​ගේ පේන රුසියන්කාරයො අතරේ මේ බීම වර්ගය බොද්දි පිළිපදින චාරිත්‍ර ක්‍රමත් කීපයක්ම තියනවා. එකක් තමයි වොඩ්කා තියෙන බීම වීදුරුවක් කිසිම වෙලාවක මේසයක් උඩින් තියන්නේ නැති එක මේසෙ උඩින් තියන්නනම් වීදුරුව හිස් කරන්න ඕනේ. වීදුරුව ගැන කතාව එහෙම වුණාට හිස් බෝතල් සම්බන්ධයෙන් මේ අය පිළිපදින්නෙ වෙනමම චාරිත්‍රයක්. ඒ තමයි හිස් බෝතල් කිසිම විටකදී මේසය මත නොතියන එක. බීලා ඉවර වෙච්ච හිස් මත්පැන් බෝතල ඒ අය බිම තමයි තියන්නෙ.

 

2. හංගේරියානුවන්ගේ චියර්ස් කිරිල්ලේ අවුල

හංගේරියාවේ කට්ටියත් අපි වගේම ඩ්‍රින්ක් එකක් දාද්දි චියර්ස් කරනවා ඇති. හැබැයි ඒ අය අපි කරන එක දෙයක්නම් ඒත් එක්ක කරන්නෙ නෑ. ඒ තමයි චියර්ස් කරන ගමන් වීදුරු එකට එක හප්පන එක. හං​ගේරියානුවන් එහෙම නොකරන්න එක විශේෂ වූ හේතුවක් තියනවා. 1848දී ඔස්ට්‍රියාවට එරෙහිව කැරැල්ලක් දියත් කරපු හංගේරියානු විප්ලවවාදීන් පිරිසක්ව මරණීය දණ්ඩනයට ලක් කෙරෙනවා. ඒ මරාදැමීම ඔස්ට්‍රියානුවන් සමරනු ලබන්නේ බියර් වීදුරු එකිනෙක ගටමින්. ඒ අමිහිරි අතීත සිදුවීම හින්දා තමයි හංගේරියානුවන් මත්පැන් බොද්දි වීදුරු එකිනෙක හප්පන්නේ නැත්තෙ.

 

3. අනුන් වක්කරනකන් ඉන්න ජපානය

ජපානයේ මධු සංස්කෘතියත් හරිම විචිත්‍රවත් එකක්. ජපන්නු කොහොමත් ගරු සරු ඇතිව හැසිරෙන ජාතියක්නෙ. අන්න ඒ ජපන් ගුණය ඒ අයගෙ මධුපානෝත්සව වලිනුත් පේන්න තියනවා. ජපානෙදි මත්පැන් ටිකක් තොළගාද්දි තමන් තමන්ටම ෂොට් එක වක්කරගන්නේ නැහැ. ඒ වෙනුවට තමන් එක්ක බොන අනිත් සඟයා තමයි වීදුරුව පුරවලා දෙන්න ඕනෙ. ඊට පස්සෙ ඒ කෙනාගෙ වීදුරුව අපි පුරවන්න ඕනෙ. අන්න එහෙමයි මාරුවෙන් මාරුවට ඩ්‍රින්ක් වටේ යන්නෙ.

 

4. පේරූ රටේ බියර් කවය

පේරූ රටේ උදවිය බියර් බොද්දී අමුතුම විදිහේ චාරිත්‍රයක් පිළිපදිනවා. Beer Circle නමින් හැඳින්වෙන මේ චාරිත්‍රෙ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. ඔන්න පිරිසක් මේස​යක් වටේට ඉඳගන්නවා. එක පුද්ගලයෙක් බියර් බෝතලයක් මිලදීගෙන වීදුරුවකුත් අරන් එනවා. එයා මුලින්ම කරන්නෙ බියර් වීදුරුවට බියර් පුරෝගෙන ඉතිරි බියර් සහිත බෝතලේ එයාගෙ එහා පැත්තෙ යාලුවට දෙන එක. ඊට පස්සෙ තමන් පුරෝගත්ත බියර් වීදුරුව පානය කරලා ඒකේ පෙණ ඉතිරි වෙලා තියනවනම් ඒ ටික බිමට හලනවා. ඊට පස්සෙ වීදුරුවත් දෙනවා එහා පැත්තෙ යාලුවට. දැන් ඒ යාලුවට කරන්න තියෙන්නෙ අර වීදුරුවට බියර් පුරෝගෙන බොතලේ තමන්ටත් එහා පැත්තට වෙන්න ඉන්න කෙනාට දෙන එක. අන්න ඒ විදිහට මාරුවෙන් මාරුවට බෝතලෙයි වීදුරුවයි අතින් අත යවන ගමන් තමයි පේරූ වල උදවිය බියර් බොන්නෙ.

 

5. වයින් හිතැති ප්‍රංශය

ප්‍රංශය කියන්නේ බොහොම ක්ලාසි විදිහට බොන වයින් වලට අතිශය හිතැති පිරිසක් ජීවත් වෙන රටක්නෙ. ඉතින් ප්‍රංශයේ වයින් හා බැඳිච්ච බීමේ සම්ප්‍රදායනුත් බෙහෙවින් තියනව. මේ සමහරක් ඒවා නම් දැන් වෙනස් වේගෙනත් යනවා. කොහොමින් හරි ප්‍රංශයේ මත්පැන් හා සම්බන්ධ එක පැරණි සම්ප්‍රදායක් තමයි, කාන්තා පාර්ශවේ තමන් විසින්ම මත්පැන් වත්කරගන්න එක එතරම් සුදුසු නැහැය කියන එක. අන්න ඒ නිසා හැමවිටම මේසයේ ඉන්න පිරිමි කෙනෙක් තමයි කාන්තාවට වයින් හෝ වෙනත් මධ්‍යසාර වර්ගයක් වත් කරල දෙන්න ඕනෙ. කාන්තාවො විතරක් ඉන්න මේසයකනම් එක කාන්තාවකට පුළුවන් වැඩේ බාරගන්න. ජපානයේ වගේම ප්‍රංශයෙත් තමන්ගේ වීදුරුව තමන් පුරවගන්නවාට වඩා වෙන කෙනෙක්ට පුරවලා දෙන්න ඉඩ දෙන එක තමයි චාරිත්‍රය.

 

6. නෙදර්ලන්​තේ හෙඩ් බට් එක

හෙඩ් බට් එකක් කියල කියන්නෙ ඔලුවෙන් කරන පහරදීමකටනෙ. නෙදර්ලන්තේ මේ නමින් තියනවා බීමේ ඉපැරණි චාරිත්‍රයක්. ඒකෙදි කරන්නෙ අමුතුම විදිහකට තමන්ගේ මත්පැන් වීදුරුව පානය කරන එකයි. මේ ක්‍රමේට බොද්දි වේටර් ගෙනත් තියනවා බොන මනුස්සයා ඉස්සරහින් ටියුලිප් හැඩේකින් යුතු පොඩි ෂොට් ග්ලාස් එකක්. බොහොම වෙලාවට මේ ෂොට් ග්ලාස් එකට පුරවන්නෙ විශේෂිත ජින් වර්ගයක්. දැන් බොන කෙනාට කරන්න තියෙන්නෙ අත් දෙක පිටුපසක කරගෙන කොන්ද නමලා (වීදුරුව අතින් නොඅල්ලා) සුරුස් ගාලා අර මේසෙ උඩ තියන ඩ්‍රින්ක් එකෙන් ටිකක් තොල් වලින් ඇදලා බොන එක. එහෙම කළාට පස්සේ ඕනෙනම් සාමාන්‍ය විදිහට තමන්ගේ බීමේ ඉතිරි කොටස ඉවර කරන්න පුළුවන්ලු.

 

7. ස්පාඤ්ඤයේ අමුතුම කැටයම්

ස්පාඤ්ඤකාරයෝ කියන්නෙ බොද්දි අමුතුම කැටයම් පාරවල් තියන පිරිසක්. ඒ අතරින් විශේෂම වෙන්නෙ බොනකොට කරන්න පුරුදුවෙලා තියෙන අමුතු දේවල් තමයි. එයින් එකක් තමයි චියර්ස් කරලා ෂොට් එක බොන්න කලින් වීදුරුවේ අඩිය රවුමට රවුමට මේසය මත කරකවලා අන්තිමේදි මේසෙට වීදුරුවෙන් තට්ටු කරලා ෂොට් එක දාගන්න එක. ඒක නෙමෙයි මරුම වැඩේ කියන්නෙ, ස්පාඤ්ඤෙදි චියර්ස් කරලා ෂොට් එක කටට හලා ගන්න මොහොතෙදි තමන් චියර්ස් කරපු අනිත් කෙනාගෙ ඇස් දිහා බලන්න ඕනෙලු. එහෙම කළේ නැත්නම් වස විපැත්තියක් වෙනවා කියලයි ස්පාඤ්ඤ ජාතිකයො සලකන්නෙ. මොකක්ද දන්නවද වෙන විපැත්තිය. එහෙම නොකෙරූ කෙනාගෙ ලිංගික ජීවිතයේ සතුටට අවුරුදු 7ක් යනකන් හෙණ ගැහිල යනවලු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *