ලෝකයේ මිල අධිකම අතුරුපස වර්ග

අද අපි වෙනස් කතාබහකට එන්න හිතුවා. දන්නවද ලෝකෙ වැඩිම මිල ගණන් වලට අලවි වන ඩිසර්ට් වර්ග මොනාද කියලා? අද අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ක්ලාසි හොටෙල්ස් වල තමයි මේ ඩිසර්ට් නිර්මාණය වෙන්නෙ. ගොඩක් මිලෙන් වැඩි අමුද්‍රව්‍ය යොදාගෙන හදන මේ ඩිසර්ට් කන අයත් ඉන්නවා ඕං. නැත්නම් ඕවා මෙනූ වල තියෙන්නෙ නෑනෙ නේද? එහෙනම් අපි විස්තර ටික බලලා ඉමු.

 

1. Diamond Fruit Cake

බැලූ බැල්මට හරිම ලස්සන ඒ වගේම හදන්න සෑහෙන්න වෙහෙසක් දරන්න වෙලා තියනවා මේ කේක් එකට. මේක හදල තියෙන්නෙ ජපානෙ. වටිනාකමින් ඩොලර් මිලියන 1.72ක් වගේ වෙන මේ කේක් එකට දියමන්ති 223ක් ඇතුළත් කරලා තියනවා. ඒකනෙ එච්චර ගණන්. දියමන්ති වල සම්පුර්ණ බර කැරට් 170ක්. මේක ඩිසයින් කරන්න මාස 6ක් සහ හදන්න මාසයක් වගේ කාලයක් ගිහින් තියනවා. කේක් එකේ සියළුම දේවල් ආහාරයට ගන්න පුළුවන් දියමන්ති හැර. බලන්න ඒකෙ ලස්සන. 

 

2. Faberge Chocolate Pudding 

වටිනාකමින් ඩොලර් 34,500ක් වගේ වෙන මේ පුඩින් එක බැලූ බැල්මට නම් කන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැරිතරම්. බ්‍රිතාන්‍යයේ Lindeth Howe Country House Hotel එකේ හෙඩ් චෙෆ් වන මාක් ගයිබර්ට් තමයි මේ සුපිරි පුඩින් එක හදලා තියෙන්නෙ. මේකට දොඩම්, පීච් හා විස්කි රස වලින් බෙල්ජියම් වල හොඳම චොක්ලට් වර්ග ඇඩ් කරලා තියනවා. ඒ වගේම ෂැම්පේන් කේවියර්, කැරට් 2 ඩයමන්ඩ් හා රත්තරං වලින් සමන්විත මේ පුඩින් එක රසින් ගොඩක් වැඩියි කියලයි ආරංචි උනේ. ලෝකේ වඩාත් මිල අධිකම චොක්ලට් පුඩින් සඳහා ගිනස් වාර්තාව පිහිටුවන්න හැකි උනෙත් මේ ඩිසර්ට් එකටයි. 

 

3. Frozen Haute Chocolate 

අධි සුඛෝපභෝගී අතුරුපස ලැයිස්තුවට එකතු වන ඊළඟට වටිනාකමින් වැඩි ඩිසර්ට් එක තමයි මේ. රත්තරං කොහොමද මෙහෙම කන්නෙ කියලා හිතෙයි. ඒ තරම් පෙනුමක් තියන රත්තරං වලින් හදලා තියන මේ චොක්ලට් ඩිසර්ට් එක වටිනාකමින් ඩොලර් 25,000ක් වෙනවා. ලෝකෙන්ම වැඩිම ගණන් අයිස්ක්‍රීම් එක විදියට ගිනස් රෙකෝඩ් එක තියලා තියෙන්නෙත් මේ ඩිසර්ට් එකම තමයි. මේක මෙච්චර ගණන් යන්න හේතුව තමයි චොක්ලට් වර්ග 28ක් (ඉනුත් 14ක්ම ඉතාම මිලාධික චොකලට් වර්ග) හා ආහාරයට ගත හැකි කැරට් 23 රත්තරං ග්‍රෑම් 5ක් එකතු කරලා තිබීම. මේක සරසල තියෙන්නෙ කැරට් 1ක සුදු දියමන්තියක් අල්ලපු කැරට් 18 බ්‍රේස්ලට් එකකින්. මේක කන්න දෙන්නෙත් සුදු සහ චොකලට් පාට දියමන්ති ඔබ්බපු රත්තරන් හැන්දක්. ඒකත් බ්‍රේස්ලට් එකත් එක්කම ඩිසර්ට් එක මිලදී ගන්න කෙනෙක්ට ගෙදර අරන් යන්න පුළුවන්.

 

4. The Fortress Stilt Fisherman Indulgence 

මේ ලස්සනම ලස්සන ඩිසර්ට් එක හම්බෙන්නෙ අපේ පුංචි රට ලංකාවෙන්. කොයිතරම් ආඩම්බරයක්ද අපිට. Fortress Hotel එකේ නිර්මාණයක් වන මෙය අපේ දේශීය ධීවරයාට ගෞරවයක් විදියට හා ධීවර කර්මාන්තයට කරන උපහාරයක් විදියට ගොඩක් ලස්සනට හදලා තියනවා. මේක චොක්ලට්, පළතුරු හා අයිරිශ් ක්‍රීම් යොදාගෙන හදන ඩිසර්ට් කේක් එකක්. ඩ්‍රසින් එකට අඹ හා දෙළුම් වගේ පළතුරු එක්ක Dom Perignon ශැම්පේන් මේකට යොදාගෙන තියෙනවා. චොකලට් වලින් අතින්ම නිර්මාණය කෙරුණ සාම්ප්‍රදායික රිටි පන්න ධීවර රුවකින් සැරසෙන මේ ඩිසර්ට් එකට කැරට් 80ක Aquamarine ගලක්ද හම්බ වෙනවා. මේකෙ වටිනාකම ඩොලර්14,500ක් වගේ වෙනවා. 

 

5. Krispy Kreme’s Luxe Doughnut

2014 වෙනකොට ලෝකෙන්ම මිල අධික ඩෝනට් එක තමයි මේ. මේකට කැරට් 24 රන් පත්‍ර වගේම Dom Perignon හා ෂැම්පේන් ජෙලි යොදාගෙන තියනවා. මේ ඩෝනට් එක ආහාරයට ගන්න පුළුවන් ඩයමන්ඩ් හා වයිට් චොක්ලට් නෙළුම් මලකින් සරසලා තියනවා. මේක සර්ව් කරන්නෙ Courvoisier Cognac, Dom Perignon ශැම්පේන්, පැෂන් ෆෘට් හා රාස්බෙරි සිරප් දාලා හදපු කොක්ටේල් එකක් එක්කයි. ළමයි වෙනුවෙන් කරන ඉතාමත් යහපත් වැඩකට තමයි මේ ඩිසර්ට් විකුණලා ලැබෙන මුදල් එකතු කරන්නෙ. මේ නිසාම ඩෝනට් එක මිලට ගන්නත් කට්ටිය පෙළඹෙනවා. මේක දැනට මිල වැඩිම ඩෝනට් එක වෙලා ඉවරයි. මේකෙ වටිනාකම ඩොලර් 1685ක් වෙනවා. 

 

6. The Bear Extraordinaire 

ඇමරිකාවේ මෑන්හැට්න් වල තියන හොටෙල් එකක තමයි මේ සුපිරි ඩිසර්ට් එක නිර්මාණය වුණේ. පේස්ට්‍රි චෙෆ් කෙනෙක් වන රොසයිරෝ වකාබයාෂි විසින් මැඩගස්කරයෙන් ගෙන්වන වැනිලා වර්ගයකින් තමයි හදන්නෙ. මේ රසම රස අයිස්ක්‍රීම් එක කොකෝවා බටර් වලින් සරසපු චොක්ලට් කවර් එකකින් වට වෙලා තියෙන්නෙ. හිබිස්කස් ශැම්පේන් සෝස් වගේ දේවල් මේකට පාවිච්චි කරලා තියනවා. මිලාධික චොකලට් වර්ග දෙකක් මිශ්‍ර කරලා හදන බ්ලැක් ට්‍රෆල් ක්‍රම්බ්ස් උඩ තියල පිළිගන්වන මේ අයිස්ක්‍රීම් එකේ ඩ්‍රසින් එකට ෆොන්ඩන්ට් සමනල්ලු, ආහාරයට ගන්න පුළුවන් රන් සහ රිදී පත්‍ර වගේ ගොඩක් දේවල් දාලා තියෙනවා. මේකෙ වටිනාකම ඩොලර් 1500ක් වගේ වෙනවා. 

 

7. 24 Carat Popsicle 

වටිනාකමින් ඩොලර් 1000ක් වෙන මේ ඩිසර්ට් එක කූල් පොප්සිකල් එකක්. මෙක්සිකෝවේ මාක්විස් ලොස් කැබෝස් රිසෝට් එකෙන් සංචාරකයන්ට ලබාදෙන මේ පොප්සිකල් එක හදන්නෙ බෝතලයක් ඩොලර් 1500ක් වෙන ටිකිලා වර්ගයක් සහ කැරට් 24 රත්තරං පත්‍ර දාලා. ලෝකෙ මිලෙන් වැඩිම පොප්සිකල් එක වෙන්නෙත් මේක. 

ඉතින් බලන්න මෙච්චර මේවා කන කටවල් කොහොම ලකී වෙන්න ඕනෙද කියලා. තවත් මේ වගේ ලෝකෙ වටේ විස්තර අරන් අපි එන්නම්. සුබ දවසක්!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *