ඔබේ නිවස සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න නම් මේ උපදෙස් පිළිපදින්න

අද කාලේ සීසීටීවී කැමරා වගේ නොයෙකුත් තාක්ෂණික ක්‍රමවේද භාවිතා වුණත් සොර සතුරු උවදුරු නම් තවම එහෙමමයි. සමහර සොරකම් වලට අපි ලක්වෙන්න මූලිකවම අපේ නොසැලකිල්ලත් බලපානවා. අනිත් එක අපි හැමෝටම සීසීටීවී කැමරා වගේ ආරක්ෂිත උපාංග මිලදී ගන්න වත්කමකුත් නැහැනේ… අන්න ඒ නිසා අපි හිතුවා සොරුන්ගෙන් ඔබේ නිවස ආරක්ෂා කරගන්න නම් ඔබ අවධානයට ලක් කළ යුතු සරළ නමුත් වැදගත් කාරණා කීපයක් ගැන කියන්න.

 

1. වටිනා කියන දේවල් ගෙදර සහ මිදුල්වල ඔහේ පේන්න තියන්න එපා!

අපේ ගෙවල්වලට අපි දන්න අය වගේම නොදන්න අයත් එන අවස්ථා තියනවා. දන්න උදවිය එක්ක නොදන්න උදවිය එන අවස්ථාත් තියනවනෙ. ඒ වගේම නොයෙකුත් අලුත්වැඩියා කටයුතුවලට, ඒ වගේම ආධාර උපකාර ඉල්ලගෙනත් අපි නොදන්න උදවිය අපේ නිවෙස්වලට ගොඩ වදිනව. අපිට හැමෝම දිහා සැකයෙන් බල බල, සැක කර කර ඉන්​න බැහැනේ. ඒත් අපි පරිස්සම් වෙන එක වටිනවා. අන්න ඒ නිසා වටිනා කියන දේවල් කාටත් පේන තැන්වල නොතියන්න පරිස්සම් වෙන්න. ඒක ඔයාගෙ වටිනා ඔරලෝසුව වෙන්න පුළුවන්, වළල්ලක් මුද්දක් වගේ ආභරණයක් වෙන්න පුළුවන්, වටිනා ඉලෙක්ට්‍රොනික් උපාංගයක්, එහෙමත් නැත්නම් ඔයාගෙ දරුවෙක්ගෙ වටිනා කියන සෙල්ලම් බඩුවක් වුණත් වෙන්න පුළුවන්. හොරු හැම වෙලේම එන්නේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකන්න නොවන වග මතක තියාගන්න. ඒ නිසා කම්මැලි නොවී වටිනා කියන දේවල් සුදුසු තැන්වල තියන්න.

 

2. අසල්වැසියෝ එක්ක යහපත් සම්බන්ධතාවයක් තියාගන්න

මේක අපේ උදවිය හිතන්නෙම නැති කාරණයක්. දැන් ඉතින් මිනිස්සු පුරුදු වෙලා ඉන්න ජීවන රටාව​ට අනුව අසල්වැසියාව මග හැරලයි තියෙන්නේ. ඒකට එක අතකින් වරදක් කියන්නත් බැහැ. ඒ වුණත් බඩේ බැඳගෙන ආශ්‍රය නොකළත් තමන්ට විශ්වාස කරන්න පුළුවන් අසල්වාසීන් කිහිප දෙනෙක් එක්ක හරි යහපත් සම්බන්ධතාවයක් තියාගන්න එක වටිනවා. දැන් කතාවටත් කියනවනෙ අහල පහල ඇන්ටිලා එක්ක ගත්ත​ම සීසීටීවී කැමරා පරාදයි කියලා. අන්න ඒ කාරණේ වටිනවා ඔබේ නිවසේ ආරක්ෂාවටත්. පොඩ්ඩක් එළි පහළියට යද්දි ‘ආන්ටි අපේ ගෙවල් පැත්ත පොඩ්ඩක් බලන්න’ කියලා හරි හිතේ නිදහසකින් යන්න පුළුවන්නේ. ඔයා බුම්මට්ටා වගේ නාහෙ කෙළින් බලන් ලොකු සීන් එ​කේ ගියොත් සමහර විට ඔයාගෙ නිවස අසළ සැක සහිත දෙයක් සිද්ධ වුණත් ඔයා එක්ක ඒ දේවල් කියන්න අසල්වාසීන් පැකිළෙන්න පුළුවන්.

 

3. නි​වසේ දොර අගුල් පරික්ෂා කරන්න

මේ පරික්ෂාව පිටතින් වගේම ඇතුළතිනුත් කරන්න. බලන්න ඔයාගේ දොරවල් හෝ ජනෙල් වල අගුල් යල් පැණ ගිහින් එල්ලා වැටෙන ඒවද කියලා. දොරවල් ඇද ගහලා දිරලාද? අගුලු තිබ්බත් යකඩ කූරක් ආධාරයෙන් ඇරගන්න පුළුවන් මට්ටමේ ඒවද කියලත් බලන්න. ඒ වගේම ජනෙල් වලට ග්‍රිල් සවි කරලා, ඒවාට නිසි අගුල් යොදලා තියන එක අනිවාර්යයි. දැන් දැන් වඩාත් ආරක්ෂිත නවීන පන්නයේ දොර අගුල් තියනවා. හාඩ්වෙයාර් එකකට ගිහින් ඒවා ගැන දැනුවත් වෙලා වඩාත් ආරක්ෂිත ඒවාට මාරු වෙන්න. ඒ වගේම තමයි තමන් කුලියට අලුත් නිවසකට යද්දී වුණත් කලින් කිහිප දෙනෙක් මේ නිවෙස් භාවිතා කරලා තියෙන නිසා ඒ දොර අගුල් අලුතින් දමන්න පුළුවන්නම් ඒක ඉතා වටිනවා. ඒ ගැන නිවෙස් හිමිකරුවන් එක්ක කතාබහ කරලා බලන්න.

 

4. නිවෙස අවට පරිසරය ගැනත් අවධානය යොමු කරන්න

ටික වෙලාවකට හිතන්න තමන් ඇවිත් තියෙන්නේ තමන්ගේම ගෙදර බඩු හොරකම් කරන්න කියලා. එහෙම හිතලා පොඩ්ඩක් වත්ත වටේ ඇවිදලා බලන්න පිටින් බලන කෙනෙක්ට නිවෙස ඇතුළ පෙනෙන විදිහ. ජනෙල් අස්සෙන් ගේ ඇතුළේ මිනිස්සු ඉන්නවද? වටිනා බඩු තියනවද කියල පේනවද බලන්න. ටික වෙලාවක් හැංගිලා ඉන්න පුළුවන් පඳුරු සහ අකුල් ගේ වටේ තියනවද කියල බලන්න. නිවසේ ඉහළ මාලයක් තියනවානම් ඒ දිහාට යොමු වෙච්ච උස ගස්වල අතු තියනවද කියලත් පරික්ෂා කරල බලන්න. මොකද දක්ෂ හොරෙක්ට පුළුවන් ගහක් දිගේ බඩගාලා ඔබේ නිවසට ඇතුළු වෙන්න. මේක හොරුන්ගෙන් වෙන කරදර විතරක් නෙමෙයි, මීයන් වගේ කරදරකාරී සත්තුන්ගෙන් වුණත් නිවසට කරදර ඇති වෙන්න බලපාන ක්‍රමයක්.

 

5. හොරෙක්ට නිවස ගැන අවබෝධයක් ගන්න තියෙන මාර්ග වළක්වන්න

ගෙදරක මිනිස්සු නිතර රැඳෙන්නේ නැති බවට හොරෙක්ට තේරුම් ගන්න පුළුවන් ප්‍රධාන කාරණයක් තමයි ඒ ගෙදරට එන ලියුම් සහ බිල්පත්. මේවා දවස් ගණන් ලියුම් පෙට්ටිවල, ගෙවල් ඉස්සරහ පඩිවල, ගේට්ටු අස්සේ රැඳිල තියනවා කියන්නෙ ගෙදර කවුරුත් රැඳෙන්නේ නැති බවට හොරුන්ට යවන පණිවුඩයක්. සමහරු ගෙදර හිටියත් කම්මැලිකමටත් මේ දේවල් ඔහේ තියෙන්න හරිනවා. ඒක කරන්න එපා. ඒ වගේම ගෙදරට ගෙනෙන වටිනා බඩු මුට්ටුවල පෙට්ටි එහෙමත් ඔහේ මිදුලේ, ගරාජ් එකේ හැමෝටම පේන්න ගොඩ ගහලා තියන්න එපා. සූක්ෂම හොරෙක්ට ඒවා හොඳ ඔත්තු. ඒ නිසා ඒ වගේ දේවලුත් නවලා කරලා සුදුසු තැනක ගබඩා කරන්න. එහෙම නැත්නම් ඉරලා කරලා නිවසෙන් ඉවත් කරන්න.

 

6. නිවසේ සහ මිදුලේ ආ​ලෝකය

අපි කලින් කිවුවනේ වත්ත වටේ පොඩි වටයක් දාලා නිවස සහ අවට පරික්ෂා කරන්න කියලා. අන්න ඒ ගමන්ම මේ දේ ගැනත් පොඩ්ඩක් විමසලා බලන්න. ඒ තමයි නිවස වටේ නිසි පරිදි ආලෝකමත් වෙලා තියනවද? නිවස සහ මිදුලේ ඕනෑවට වඩා අඳුරු අහුමුළු තියනවද කියන එක. අන්න එහෙම තැන් නිසි පරිදි ආලෝකමත් කරන්න මතක තියාගන්න. ඒ වගේම දවස් ගණන් ගෙදර අඳුරේ තියන එකත් ගෙදර කවුරුත් නැහැය කියලා හොරුන්ට යවන පණිවුඩයක්. ඒ නිසා තමන් පරක්කු වෙලා ගෙදර එන දවසක හරි දවස් කීපයක් නිවසින් පිටත රැඳෙන අවස්ථාවක හරි නිවස නිසි පරිදි ආලෝකමත් කරලා තියන්න නිවස ඇතුළේ එක විදුලි පහනක් හරි දල්වන එක වටිනවා. දැන්නම් ස්මාට් ෆෝන් එක හරහා නිවසේ විදුලි බුබුලු පාලනය කරන්න පුළුවන් තාක්ෂණ තියනවා, ඒ වගේම ටයිමර්ස් මගින් නිවසේ ආලෝකය සකස් කරන්න පුළුවන්. ඒ වගේම ​මෝෂන් සෙන්සර් ගාඩ්න් ලයිට්ස් සහ සූර්ය බලයෙන් ක්‍රියා කරන ලයිට්ස් තියෙනවා. අන්න ඒ වගේ දේවල පිහිට පතන්න පුළුවන්. මේ තාක්ෂණික උපකරණ ටිකක් මැජික්ස් වගේ නම් තමන්ට විශ්වාසවන්ත කෙනෙක්ට ගෙදර යතුර දීලා යන්න පුළුවන් සවස් කාලයේ ඇවිත් ලයිට් දාලා යන්න කියලා.

 

7. ගෙදරින් පිටතට යද්දී පරිස්සමින්

සමහරු තැන නොතැන නෑ, තමන් යන ගමන් ගැන ෆෝන් කෝල් වලින් රටටම ඇහෙන්න කියවනවා. දුර ට්‍රිප් ගිහින් එවෙලේම ෆේස්බුක් ස්ටේටස් දානවා. රටටම අඬබෙර ගහලා ට්‍රිප් යනවා වගේ දේවල් කරනවා. මේවා ඉතාම අනුවණ වැඩ. තමන් වැඩි කාලයක් නිවසෙන් පිටත රැඳෙනවනම් ඒ ගැන තමන් සහ ඕනෙනම් තමන්ට විශ්වාසවන්තම කෙනෙක් දැනගෙන හිටියම ඇති. එතනින් එහාට පුද්ගලයන් ඒ ගැන දැනගන්නවා කියන්නේ කොහොමත්ම අවදානමක්. අන්න ඒ නිසා ඒ ව​ගේ දේවල් වලින් වැළකෙන්න. තමන් නොදන්නා ටැක්සියක ගමනක් බිමනක් යන අවස්ථාවක, තමන් නිවසින් පිටවෙද්දී අවට පිරිසක් ඉන්නා අවස්ථාවක වුනත් නිවසේ තව කවුරුහරි ඉන්න බව අඟවලා යන්න. උදාහරණෙකට කිවුවොත් ඔයාට ඒ වගේ වෙලාවක පුළුවන් බොරු කෝල් එකක් අරන් “ මල්ලී මට කාමරේ ෆෑන් එක ඕෆ් කරන්න අමතක වුණාද කොහෙද? පොඩ්ඩක් බලලා නිවන්න” වගේ දෙයක් අහල පහළ නොදන්න අයට ඇහෙන්න කියන්න.

 

හරි. අපි ​මේ ලිපියෙන් කිවුවේ තමන්ගේ නිවස සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න කරන්න පුළුවන් සරළ කාරණා ටිකක්. සීසීටීවී සිකියුරිටි සිස්ටම් වගේ දේවල් ගැන අපි මේ ලිපියෙන් කතා කරන්න ගියේ නැහැ. ඒවා ගැන දැනගන්න ඕනනම් අපි ඒ ගැන ඉදිරි ලිපියක් ඔබට ගෙන එන්නම්. ඒ වගේම කෙනෙක් කියන්න පුළුවන් හොරු ඇවිත් අපේ අහවල් එක අරගෙන යන්නද ? කියලා… වටින දෙයක් ගෙදර නැති වුණත්, ආයාසයකින්, බයකින් තොරව ඔබේ නිවසට පිටස්තර පුද්ගලයෙක්ට අතුළු වෙන්න පුළුවන් කියන්නේම හොඳ දෙයක් නෙමෙයි​නෙ නේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *