ව්ලැඩිමිර් පුටින් රුසියාවට මොකද කළේ?

ව්ලැඩ්මීර් පුටින් රුසියාවේ බලයට පැමිණෙද්දි රුසියාව කියන්නේ අතීතයට එක් වෙච්ච රාජ්‍යයක් බවට පත් වෙලා තිබ්බේ. ඒ වෙනකොට ලෝකයේ අංක එකේ බලවතා විදිහට ඇමරිකා එක්සත් ජනපදය අහංකාර ස්වරූපයෙන් හැසිරෙමින් හිටියා. කොමිනිස්ට්වාදයේ  මිහිරි සහ අමිහිරි ප්‍රතිඵල නිසා රුසියාව ආර්ථික වශයෙන් අර්බුදයක ගිලී යමින් පැවතුණා. රුසියානුවන් තුළ පැවතියේ බලාපොරොත්තු කඩවීම නිසා ඇති වුණු කම්පනය පමණයි. බොහෝ දේශපාලන විචාරකයන්ට අනුව රුසියාව කියන්නේ කිසිසේත්ම ගොඩගත නොහැකි අසාර්ථක රාජ්‍යයක් පමණක්ම වූ නමුත් පුටින් ඒ සියල්ල උඩුයටිකුරු කිරීමට සමත් වුණේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු විදියට. අද වෙනකොට පුටින් දේශපාලන ලෝකය තුළ පුරාවෘත්තයක් බවට පත්වෙලා තියෙනවා. ඇතැම් අය කියන විදිහට පුටින් කියන්නේ කාල තරණය කළ පුද්ගලයෙක්. තවත් සමහරු කියන විදිහට පුටින් කියන්නේ සාතන්ගේ පුනරාගමනය. ඒ කතා පැත්තකින් තිබ්බොත් අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නෙ රුසියාව වෙනස් කිරීමට පුටින් සිදු කරපු දේවල් පිළිබඳ.

 

 

1. උඩි යටිකුරු කරන ලද ආර්ථිකය

  පුටින් බලයට පැමිණෙන විට ආර්ථික අර්බුදය සහ වෙළෙඳපොළ අර්බුදය නිසා රුසියාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් පැවතුණා. බොහෝදෙනෙක් පුටින් හට ආර්ථිකය නංවාලීමට නිසි සැලැස්මක් නොමැති බව පවසනු ලැබුවා. ඇත්ත වශයෙන්ම බලයට පැමිණෙන විට ඔහු හට ආර්ථිකය ගමන් කළ යුතු දිශාන්තය පිළිබඳව නිසි අවබෝධයක් තිබුණේ නැහැ. කෙසේ නමුත් ආර්ථික විශේෂඥයන්ගේ සහාය ලබා ගත් ඔහු රුසියාවේ ප්‍රධාන අපනයනය මාර්ගය වන තෙල් සම්පත මනා ලෙස කළමනාකරණය කර ගනිමින් රුසියාවේ ආර්ථිකයට යළිත් දෙපයින් සිට ගැනීමට අවශ්‍ය වාතාවරණය සකස් කරනු ලැබුවා. එහිදී ඔහුට තෙල් සමාගම් වලින් දැඩි විරෝධයක් එල්ල වුණත් ඒ ගැන කිසිසේත් ගණන් නොගෙන තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඔහු පසුබට වුණේ නැහැ.

 

 

2. අසල්වාසීන් සමග යුද්ධය සහ සාමය

 අතීතයේදී සෝවියට් රුසියාවේ සාමාජික රටවල්ව පැවතී, මේ වන විට නිදහස ලබා ගෙන රුසියාවේ අසල්වැසියන් ලෙස පවතින රටවල දේශපාලන වාතාවරණය රුසියාවට හිතකර තත්ත්වයකට ගෙනයෑමට කටයුතු සම්පාදනය කිරීම පුටින්ගේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබෙනවා. රුසියාවේ අභිලාෂයන් වලට පටහැනි රටවල විදේශ ප්‍රතිපත්ති වලට අවි ආයුධ වලින් පිළිතුරු දීමටත් ඔහු පසුබට වූයේ නැහැ. ඊට හොඳම උදාහරණ වන්නේ ජෝර්ජියාව සහ යුක්රේනයයි.

 

 

3. නේටෝවට එරෙහිව

පුටින්ට පෙර රුසියාවේ පාලකයාව සිටි  බොරිස් ‍යෙල්ට්සින් නේටෝ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළත් පුටින් එම ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. රුසියාව යනු නායකත්වය දෙන රටක් මිස අනුගාමිකයෙකු නොවන බව ඔහු විසින්  ප්‍රායෝගිකව ඔප්පු කරනු ලැබුවා. රුසියාවේ යුද ශක්තිය විධිමත් සැලැස්මක් අනුව වර්ධනය කළ පුටින් අද වන විට නේටෝ සංවිධානයට  සිටින  ප්‍රබලතම පසමිතුරා බවට පත්ව සිටිනවා.

 

 

4. බලය තමන් සතු කරගැනීම

අද වන විට පුටින් රුසියාවේ අනභිභවනීය නායකයා බවට පත්ව අවසානයි. විවිධ අවස්ථාවල අගමැති ධුරය සහ ජනාධිපතිධූරය අතර දෝලනය වෙමින් රුසියාවේ බලය තමන් වෙත ගොනු කර ගැනීමට ඔහු සමත් වුණා. අද වන විට රුසියානු පාර්ලිමේන්තුව මගින්ම සම්මත කරන ලද නීති මගින් දිගු කාලයකට රුසියාවේ ජනාධිපති ධූරය හෙබවීමට අවශ්‍ය පසුබිම ඔහු විසින් සකස් කොට ගෙන තිබෙනවා.

 

 

5. පෞද්ගලික ප්‍රතිරූපය

 තම පෞද්ගලික ප්‍රතිරූපය හරහාද රුසියාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම පුටින්ගේ න්‍යාය පත්‍රයේ එක කොටසක් බවට පත්ව තිබෙනවා. සම්පූර්ණ යුරෝපා ඇඳුමින් සැකසුණු නායකයන් අතර උඩුකය නිරුවතින් අසු පිට යන, මල්ලව පොර තරඟවලට සහභාගී වන පුටින්, රාජ්‍ය නායකයාගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත්ව තිබෙනවා.

 

 

6. රුසියානු ජනගහණයේ වර්ධනය

 රට තුළ පැවැති ආර්ථික අස්ථාවරත්වය නිසා රුසියානු ජනතාවගේ ජනගහණ වර්ධන වේගය කෙමෙන් කෙමෙන් අඩු වෙමින් පැවතියත් වර්තමානය වන විට එය වේගයෙන් වර්ධනය වීමට පටන් ගෙන තිබෙනවා. ඊට අමතරව ක්‍රිමියානු අර්ධද්වීපය රුසියාවට ඈඳා ගැනීමත් සමගම මිලියන 2.2 කින් ජනගහණ වර්ධනය හදිසියේම ඉහළ ගියා.

 

 

7. ආසියානු සහයෝගීතාව

 යුරෝපා රටවල් සමඟ ගැටුම් ඇති කර ගත්තත් රුසියාව ආසියානු රටවල් සමඟ සිය සබඳතා තර කර ගනිමින් සිටිනවා. විශේෂයෙන්ම මහජන චීනය සමඟ ඇති කරගනු ලැබූ වෙළඳ සහ ආර්ථික ගිවිසුම් මගින් දෙරටටම සුවිශාල ප්‍රතිලාභ හිමි වෙනවා. එයට අමතරව ඒ හරහා වක්‍රාකාරයෙන් තම පොදු සතුරා වන ඇමරිකා එක්සත් ජනපදයටත් තර්ජනයක් එල්ල කිරීමත් පුටින් සිදු කරනවා.

 

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *