මුහුදේ ගිලුණු නැවක් කාලාන්තරයක් දිය යට තිබුණහම ඒකට කොයි වගේ පෞරාණික පෙනුමක් එනවද? පෙඳ පාසි වලින් වැහිලා, කොරල් පර වැවිලා, මුහුදු ජීවීන් නවාතැන් හදාගෙන ඉන්න ඒ වගේ නැවක නටඹුන් අතර කිමිදෙන එක කොයි වගේ ත්‍රාසජනක වැඩක්ද? ඒ විතරක් නෙවෙයි, එහෙම ගිලී ගියපු නැවක හරි අද්භූත ගතියකුත් තියෙනවා. අතීතයේ ඉඳලම ශ්‍රී ලංකාව කියන්නේ ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ග අතර තියෙන කේන්ද්‍රයක් කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. ඒ නිසාම ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ගිලී ගියපු නැව් බොහෝමයක් දකින්නටත් පුලුවන්. ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලී ගිහින් තියෙන නෞකා ප්‍රමාණය දෙසියයකටත් වැඩි මිසක් අඩු නැහැයි කියලයි. ඒවාත් ඓතිහාසික වාර්තා මත පදනම් වෙලා කියන ගණනක්. ඒ කියන්නේ සැබෑ ගණන ඊට වඩා සෑහෙන්න වැඩි වෙන්නත් පුලුවන්. කොහොම වුනත් අපි මේ ඉදිරිපත් කරන්න යන්නේ ශ්‍රී ලංකාව අවට මුහුදේ තියෙනවා කියලා ස්ථිරවම කියන්න පුලුවන් ගිලී ගිය නෞකාවන් කිහිපයක් ගැන. විශේෂයෙන්ම කිමිදෙන අයට සහ කිමිදෙන්න ආසාවෙන් ඉන්න අයට මේ තොරතුරු වැදගත් වෙයි.
1. Black Coral Wreck

Source – divesrilanka.com
කොළඹට එපිට මුහුදු සීමාවේ මීටර් 40ක් ගැඹුරු මුහුදේ තියෙන මේ මධ්‍යම ප්‍රමාණයේ ගිලුණු නැවේ තියෙන විශේෂත්වයක් තමයි සුන්දර කළු කොරල් වලින් වැහුණු තනි බොයිලේරුවක් දැකගන්නට හැකි වීම. මේ කළු කොරල් වලින් වැහුණු නෞකා සුන්බුන් ශ්‍රී ලංකාව අවට දුර්ලභ දෙයක් කියලා තමයි අහන්න ලැබෙන්නේ. මේ කාලවර්ණ බවක් එක්කම හරි ගුප්ත සුන්දරත්වයක් උරුම කරගෙන තියෙන මේ ගිලී ගිය නෞකාවේ සුන්බුන් එතරම් විශාල නැති බව මතක් කරන්නට වුවමනායි.
2. Thermopylae Sierra

Source – deepblu.com
සාමාන්‍යයෙන් අපි ගිලී ගිය නෞකා සුන්බුන් ගැන කථා කරනකොට ඒ මීට දශක ගණනාවකට කලින් ගිලී ගිය නැව් ගැනනේ කථා කරන්නේ. හැබැයි මේ නැව ඊට වඩා වෙනස්. මේ නැව ගිලී ගිහින් වසර කිහිපයකට එහා නැහැ. සයිප්‍රසයේ හිමිකාරීත්වය ඇති නැවක් වෙන මේ නැව මීට වසර ගණනාවකට පෙර පානදුර මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබුණේ යම් ගැටළුවක් නිසා. ගැටළුව වුනේ නැවේ හිමිකරුවන්, සේවකයින් සහ ශ්‍රී ලංකා වරාය අතර ඇතිවුණු වැටුප් ගැටළුවක් කියලා තමයි අහන්නට ලැබෙන්නේ. කොහොමහරි 2012 අගෝස්තු 23 මේ නැව ගිලී යනවා. ඒ මීටර් 23ක් ගැඹුරු මුහුදේ. අද වෙනකොට මේ ගිලී ගිය නැව කිමිදෙන්නවුන්ට නරඹන්නට අපූරූ දසුනක් මවනවා. ඒක හරියට දෙලොවක් අතර සිරවෙලා තියෙන නෞකාවක් වගේ. ඇයි, නැව සම්පූර්ණයෙන්ම සමුද්‍ර ජීවිතයෙන් වැසී යන්න තරම් කාලයක් ගතවෙලාත් නැහැ. ඒත් තවදුරටත් මේ නටඹුන් නැව නවීන නෞකාවක්ව තිබුණා කියලා හිතන්නටත් බැහැ.
3. HMS Hermes

Source – Youtube.com
මඩකළපුවට නුදුරු මුහුදු තීරයේ මීටර් 53ක් ගැඹුරේ සැඟවිලා තියෙන මේ නෞකාව හැඳින්වෙන්නේ H.M.S. Hermes නමෙන්. මේ තමයි ලෝකේ පළමුවෙනියටම ගුවන් යානා ගෙන යෑම වෙනුවෙන්ම නිර්මාණය වුණු ගුවන්යානා හාරක නෞකාව. කොහොම නමුත් දෙවන ලෝක යුධ සමයේදී, හරියටම කියනවා නම් 1942 අප්‍රේල් 9 වෙනිදා ජපාන ගුවන් ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව පැමිණි මේ නෞකාව ගුවන් ප්‍රහාරයන්ගෙන් අබලන් වෙලා සමුද්‍රයේ සැඟවුණා. එදා ඉඳන් මුහුදු පත්ලේ තිබුණු මේ නෞකාවේ නටඹුන් අද වෙනකොට කිමිදෙන්නන්ට පාරාදීසයක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ලෝකේ විශිෂ්ටතම ගිලී ගිය නෞකා කිමිදුම් ස්ථානයන් සියයටත් මේ නෞකාව ඇතුළත් වෙලා තියෙනවා.

Source – youtube.com
4. Taprobane East Wreck

Source – youtube.com
කොළඹට එපිටින් මුහුදු සීමාවේ තියෙන නැගෙනහිර තැප්‍රොබේන් පරය ආසන්නයේ මුහුදේ මීටර් 32ක් ගැඹුරේ ගිලී ගොස් ඇති කුඩා බත්තලක් වැනි නෞකාවක් දකින්නට හැකියි. විශේෂයෙන්ම සැකිල්ල විතරක් ඉතිරි වී තිබෙන මේ කුඩා මුහුදුබත් වූ නැව මීටර් විස්සකට වඩා දිගින් නොවැඩියි. බැලූ බැල්මටම පේන දේ වෙන්නේ මේ මුහුදුබත් නෞකාවේ වෙනත් ගිලී ගිය නැව් වල වගේ ගවේෂණය කරන්න කිසිවක් ඉතිරි වෙලා නැති බව තමයි. රිංගාගෙන ගිහින් සොයාගන්නට අහු මුළු, කුරුබිලි, විවරයන් මොකුත් මෙහි නැහැ. සමස්ත නෞකාවේ ඉතිරි සුන්බුන් සියල්ලම එක බැල්මට දැකගත හැකියි. එහෙම වුනත් මේ සැකිල්ල වසාගෙන නිර්මාණය වෙලා තියෙන ස්වභාවික සමුද්‍ර ජීවිතය නම් ඉතාමත්ම සිත්ගන්නා සුළුයි. මෘදු කොරල්, නේක වර්ණ මුහුදු පැලෑටි සහ විවිධාකාරයේ මත්ස්‍ය විශේෂයන්ගෙන් වැසී ගොස් තිබෙන මේ නෞකා නෂ්ටාවශේෂයන් බොහොම නිස්කලංක හැඟීමක් කිමිදෙන්නෙකුට ගෙන එන සුළුයි.
5. Taprobane North Wreck

Source – echelon.lk
ගල්කිස්සේ ඉඳලා කිලෝමීටර් විස්සක් පමණ ඈත මුහුදේ මීටර් 30ක ඉඳන් මීටර් 40 දක්වා ගැඹුරක රැඳිලා තියෙන මේ මුහුදුබත් වුණු අති දැවැන්ත නෞකාව ශ්‍රී ලංකාව අවට තියෙන සුන්දරම නෞකා නෂ්ටාවශේෂයන්ගෙන් එකක්. ගොඩක් දෙනෙක් සැක පහළ කරන්නේ මේ නෞකාව 1917 දී ගිලී ගිය Perseus කියලා තමයි. අර පුරාවෘත්තවල එන දහසක් රහස් සඟවාගෙන ගිලීගිය නෞකාවක තියෙන ගුප්ත බව නො අඩුව මේ ගිලී ගිය නෞකාවෙනුත් විඳගන්නට කිමිදුම්කරුවන්ට හැකියි. මේ නෞකාවේ කොටස් දෙකම වර්ණවත් කොරල්පර වලින් වැහිලා ගිහින් තියෙන්නේ, සමුද්‍ර ජීවීන් ගණන් කළ නොහැකි ප්‍රමාණයකට වාසස්ථානය සාදමින්.
6. SS Worcestershire

Source – youtube.com
ගල්කිස්ස-මොරටුව වෙරළෙන් කිලෝමීටර් 12ක් පමණ ඈත මුහුදේ, මීටර් 50-57ක් විතර ගැඹුරේ රැඳී තිබෙන මේ නෞකා නෂ්ටාවශේෂයන් අයිති වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික වෙළෙඳ නෞකාවක් වුණු SS Worcestershire වෙත. පළමුවෙනි ලෝක යුද්ධ සමයේදී, ඒ කියන්නේ 1917 පෙබරවාරි 17 වෙනිදා මේ නෞකාව ගිලී යන්නේ ජර්මානු මුහුදු බෝම්බයකට හසුවීම නිසා. ප්‍රවීණ කිමිදුම්කරුවන්ට පමණක් යෝග්‍ය වන තරම් ගැඹුරක පිහිටි මේ නෞකා සුන්බුන් මෘදු කොරල්, කළු කොරල් සහ තවත් නොයෙකුත් වෛවර්ණ කොරල් වලින් වැසී ගිහින්, දහස් සංඛ්‍යාත මුහුදු ජීවී විශේෂයන්ට නිවස වෙලා තියෙන්නේ. ගිලී ගිය නෞකාවක් සොයා කිමිදීමේ තියෙන නියමම ගුප්ත සහ ත්‍රාසජනක රසය ලබාගැනීමට මේ ගිලී ගිය නැව හොඳ අවස්ථාවක්.
7. SS Rangoon

Source – youtube.com
ගාල්ලේ උණවටුනට නුදුරු මුහුදු තීරයේ මීටර් 27-32 අතර ගැඹුරක ගිලී ගොස් තියෙන මේ වාෂ්ප නෞකාවේ නම වෙන්නේ SS Rangoon. මේ නෞකාව 1871 නොවැම්බර් 01 වෙනි දින ගිලී යන්නේ ගාළු වරාය මුවදොර ආසන්නයේදීමයි. ශ්‍රී ලංකාව අවට විසිරී තියෙන ගිලී ගිය නෞකාවන් අතර තවත් එක් පුරාවෘත්තයක් වන මේ නෞකාව සම්පූර්ණයෙන්ම මුහුදු පැලෑටි සහ නොයෙක් වර්ණයේ කොරල් වලින් වැහී ගොස් තිබෙන්නේ. අනිවාර්යයෙන්ම ඕනෑම කිමිදුම්කරුවෙකුගේ උනන්දුව වඩවන ආකාරයේ නෞකා නෂ්ටාවශේෂයක් වුනත්, බොහෝ කිමිදුම්කරුවන් අනතුරු අඟවන්නේ, SS Rangoon ගවේෂණයේදී ජෙලිෆිෂ් ලාගෙන් පරිස්සම් වෙන ලෙසට තමයි. ඊට හේතුව මේ ගිලී ගිය නෞකාව වටා ජෙලිෆිෂ් සතුන් දහස්, දස දහස් ගණන් සිටීමයි. ඒ කොහොම වුනත් මේ මීටර් 60ක් දිගින් යුතු, ටොන් 1800 ක බරින් යුතු වාෂ්ප නෞකාවේ නෂ්ටාවශේෂයන් නැරඹීම, ඔබ විනෝදයට හෝ මුහුදේ කිමිදෙන්නෙකු නම් ජීවිතයේ එක් වරක් හෝ අත්විඳිය යුතු අවස්ථාවක් විදියට දැක්වීම වැරදි නැහැ.
Cover Image Source – outsideonline.com
Leave a Reply