ලාංකීය කෙටිකතාවේ නූතන විශිෂ්ටයෝ

ලංකාව ගත්තොත් ගොඩාක්ම ජනප්‍රිය, එහෙමත් නැත්නම් කෙටියෙන් කිව්වොත් හොඳ මාකටින් එකක් තියෙන්නේ නවකතාවලට කිව්වොත් වැරදි නෑ. ලංකාවේ කෙටිකතා ලියවෙන්නේ වගේම විකිණෙන්නෙත් ගොඩාක් අඩුවෙන්. අද අපි කතාකරමු නවකතා කලාවේ වගේම කෙටිකතා කලාවෙත් නියැලෙන ලාංකීය කෙටිකතාකරුවන් හත්දෙනෙක් ගැන…

 

1. ජයතිලක කම්මැල්ලවීර 

මුලින්ම කතා කරන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම කෙටිකතාකරුවෙක් ගැන. අපිට ඉන්න ප්‍රවීණ කතුවරයෙක් වන ජයතිලක කම්මැල්ලවීර තමන්ගේ පළමු කෙටිකතා සංග්‍රහය එළිදක්වන්නේ 1985 වසරේදියි. “කළු සපත්තු” නමිනුයි ඒ කෘතිය නම් වුණේ. ඉන්පසුව ඔහු ලියූ “මාංචු”, “සොබා”, “එකොළහ” වගේ කෘතීන් ඔහුගේ ජනප්‍රිය කෙටිකතා සංග්‍රහයන් බවට පත්වුණා. ඒ වගේම කම්මැල්ලවීරයන් දක්ෂ නවකතාකරුවෙක්ද වනවා. සාහිත්‍ය සම්මාන බොහොමයකටත් ඔහු උරුමකම් කියනවා. 

 

2. නිශ්ශංක විජේමාන්න

 

නිශ්ශංක විජේමාන්න කියන්නෙත් අපේ රටේ ඉන්න දක්ෂතම කෙටිකතාකරුවෙක්. ඒ වගේම ඔහු නවකතා හතරක් වගේම කවි පොත් දෙකකුත් රචනා කරලා තියෙනවා. “තිත්ත සීනී” කෙටිකතා පොත ඇතුළේ කෙටිකතා අටක් එක්ක අපිව සංවේදි කරන්න ඔහු සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔහු පසුව ලියපු “මල් සූටික්කා”, “කීඩෑවෝ ඇවිල්ලා”, “චන්ද්‍රකින්නරාවිය” වගේ කෙටිකතා අදටත් කියවපු අයගේ මතකයේ රැඳිලා තියෙනවා. වර්තමානයේ නම් එතුමා වැඩිපුරම නවකතාකරණය දිහාවට යොමුවෙලා තිබෙන බව තමයි පෙනෙන්නේ. 

 

3. සුනේත්‍රා රාජකරුණානායක

 

 

සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය අපේ රටේ ඉන්න අතිශය ජනප්‍රිය නවකතාකාරියක්. ඒ වගේම විවිධ පුවත්පත් වල පළ වූ ඇය ලියූ කතාත් අපේ සිංහල රසිකයන් අතර ජනප්‍රිය වුණා. ඒත් ඇය ලියූ කෙටිකතා වැඩි දෙනෙක් කියවල තියෙනවද කියන එක සැකයක්. ඒත් ඒ කෙටිකතාත් හුඟාක් උසස් මට්ටමේ බව කියන්නම ඕන. මෑතකදී පළවූ “ආලන්දර”, “ටිංකිරි පැටියා”, “පැජරොයියා” වගේ පොත් ඇගේ කෙටිකතා කලාවේ දක්ෂතාවයත් මනාවට පෙන්නලා දෙනවා.

 

4. සුමුදු නිරාගී සෙනෙවිරත්න 

සුමුදු නිරාගී නව පරපුරේ ලේඛිකාවක්. ඒ වගේම ඇය රචනා කළ “දූල්වල අලංකාරේ” කියන නවකතාව රාජ්‍ය සම්මානත් හිමිකරගත්තා. මේ වෙනකොට ඇය කෙටිකතා පොත් දෙකක් රචනා කරල තියෙනවා. “ගිහින් එන්න කානිවල්” සහ “සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්” කෘති දෙක ඇගේ කෙටිකතාකරණයේ දක්ෂතාව මැනවින් ඔප්පු කරනවා. ඇගේ නවතම කෘතියකුත් ළඟදීම අපිට දැකබලා ගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉමු…

 

5. කැත්ලීන් ජයවර්ධන

 

90 දශකයේ ඉඳලම නවකතා මෙන්ම කෙටිකතාත් රචනා කරන සම්භාව්‍ය කතුවරියක් විදියට ඇය අපේ හිත් තුළ රැඳිලා තියෙනවා. සම්මාන නොලැබුණත් ඇය නිරතුරුවම වගේ වටිනා කෘති රචනා කරනවා. ඇය ලියපු නවකතා ගත්තොත් මෑතකදී පළ වුණු “ඉවුරු”, “අකාල යාත්‍රා”, “සත්‍යකාම” වගේ කෘතීනුත් කෙටිකතා ගත්තොත් “රූපාන්තරණය”, “ප්‍රභූ” වගේ කෘතීනුත් අපේ මතකයේ රැඳිලා තියෙනවා…

 

6. ලියනගේ අමරකීර්ති 

ලියනගේ අමරකීර්ති කියන්නේ අපට ඉන්න විශිෂ්ට නවකතාකරුවෙක් වගේම කෙටිකතාකරුවෙක්. ඊට අමතරව ඔහු දක්ෂ පරිවර්තකයෙක්ද වනවා. ඔහු ලියපු “අටවක පුත්තු”, “කුරුලු හදවත”, “අහම්බකාරක” වගේ නවකතා සම්මානනීය වෙනවා. ඒ වගේම ඔහු ලියපු “අර මිහිරි සීනූ නාදය”, “අළු පැහැති ආරංචි” වගේ කෙටිකතාත් අමතක කරන්න බැහැ…

 

7. අනුරසිරි හෙට්ටිගේ

 

අපේ රටේ ඉන්න තවත් දක්ෂ කෙටිකතාකරුවෙකු තමයි අනුරසිරි හෙට්ටිගේ. 2019 වසරේ දී ඔහු ලියූ “මැරීන් ඩ්‍රයිව්” කෙටිකතා ග්‍රන්ථය රජත සම්මාන වගේම විද්‍යෝදය සම්මාන සඳහාත් නිර්දේශ වෙනවා. ඉන් පෙර ඔහු ලියූ “දිමියා” සහ “සිංහබාහු එනකං” යන කෙටිකතාත් සම්මානනයට ලක් වූ කෙටිකතා වනවා. මීට අමතරව ඔහු ලියපු “කළුවරයි පුරහඳ”, “තරු දූවිලි”, “බැඳමාරිය” වැනි නවකතාත් ගොඩාක් ඉහළ මට්ටමේ තියෙනවා. 

 

ඉතින් මුලින් කිව්වා වගේ නවකතා වලට තියෙන තැන නැති වුණත්, කෙටිකතාව අභාවයට යන්න නොදී ලියන ඔබේ ප්‍රියතම කෙටිකතාකරුවන් ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා…

 

ශශින් ප්‍රබෝද් 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *