යුද ජයග්‍රහණයට නායකත්වය දුන් අපේ වීරයෝ

හරියටම මීට අවුරුදු එකොලහක​ට කලින් අපි ලෝකෙ දරුණුතම ත්‍රස්තවාදය සහමුලින්ම පරාජයට පත් කළා. නමුත් ඒ බව අද කී දෙනෙක්ට මතකද කියන එක නම් ඇත්තටම ප්‍රශ්නයක්. අද වෙනකොට අපි වෙනත් ආකාරයක ගෝලීය ත්‍රස්තවාදයකට මුහුණ දෙමින් ඉන්නවා. අවුරුදු තිහක එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරපු අපට මේ ඇතිවෙලා තියෙන ත්‍රස්තවාදයත් වැඩි ආයාසයකින් තොරව පරාජයට පත් කරන්න පුළුවන් කියන එක තමයි ලයිෆි අපේ විශ්වාසය.  ඉතින් මේ ඓතිහාසික දවසේ යුධ ජයග්‍රහණය  කරා අපිව රැගෙන ගිය නායකයෝ පිළිබඳව කථා බහ කරන්න අපි හිතුවා.

 

1. දේශපාලන නායකත්වය

Image Source – colombotelegraph.com

යුධ ජයග්‍රහණය සඳහා දේශපාලන නායකත්වය ලබා දීපු පුද්ගලයා විදිහට සලකන්න පුළුවන් එකම එක පුද්ගලයයි ඉන්නේ. ඒ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා. ඔහු එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කළ යුතුයි යන දේශපාලනය තීරණය නොගන්න, එල්ටීටීඊ සංවිධානය කවදාවත් පරාජය කරන්න බැරි වෙන්න තිබ්බා. මීට පෙර එල්ටීටීඊය යුදමය වශයෙන් පමණක් පරාජය කළ යුතුයි යන ස්ථාවරයේ හිටියේ එකම එක ජනාධිපතිවරයෙක් පමණයි. ඔහු ඩී බී විජේතුංග. නමුත් ඔහුට වැඩි කාලයක් ජනාධිපති ධූරයේ රැඳී සිටීමට අවස්ථාව ලැබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වුණු වහාම සාම සාකච්ඡා සඳහා එල්ටීටීඊයට ආරාධනා කළා. අවසානයේ දී ඒ සංවිධානය ඒ සඳහා අවංකව යොමු නොවීම නිසා යුධමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔහු යොමු වුණා. එසේ කිරීමේදී ඔහුට ඔහුගේ සොහොයුරා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර ගැනීම තුළින් වැඩි වාසියකුත් හිමි වුණා.

 

2. යුධ හමුදා නායකත්වය

Image Source – businesstoday.lk

එල්ටීටීඊය සමග යුද්ධ කිරීමට තවත් හමුදාපතිවරයෙකුට ඉඩ ලබා නොදෙන බවට ප්‍රකාශයක් කරමින් හමුදාපති ධූරය ලබා ගත් සරත් ෆොන්සේකා මහතා යුධ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන භූමිකාවක් ඉෂ්ට සිද්ධ කරනු ලැබුවා. ඔහු යටතේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, චාගි ගාල්ලගේ, කමල් ගුණරත්න, ජගත් පන්නිපිටිය, ජගත් ජයසූරිය වැනි සෙන්පතිවරුන් යුද ජයග්‍රහණය වෙනුවෙන් විශේෂ භූමිකාවක් ඉෂ්ඨ කළා. නමුත් යුද ජයග්‍රහණයෙන් පසුව සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පිවිසීමත් සමග එතුමාට මුහුණ දෙන්නට වුණේ ඉතා කණගාටුදායක තත්ත්වයකට. අවසානයේදී යුද ජයග්‍රහණය කරා ගෙන ගිය නියමුවෙක්ට වසර කීපයක් සිරබත් කෑමට පවා සිද්ධ වුණා.

 

3. නාවික හමුදා නායකත්වය

යුද ජයග්‍රහණය පුරාවටම නාවික හමුදාව මෙහෙයවනු ලැබූයේ වසන්ත කරන්නාගොඩ මහතාගේ මූලිකත්වයෙන්. එතුමා ගේ නායකත්වයෙන් ජාත්‍යන්තර මුහුදේ නවතා තිබූ පාවෙන අවි ගබඩා සුණු විසුණු කරමින් එල්ටීටීඊ සංවිධානයට ආයුධ ලබා ගැනීමේ හැකියාව නැති කරනු ලැබුවා. එමගින් මුහුදු කොටින්ගෙන් එල්ලවුණු තර්ජන ක්‍රමානුකූලව අඩපණ කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබුණා. එසේම යාපනය අර්ධද්වීපයට පිවිසීමට ගොඩබිම් මාර්ගයක් නොතිබු පරිසරයක් තුළ සෙබළුන් සහ සැපයුම් මුහුදු මාර්ග හරහා ගෙන යාමේ වගකීම නාවික හමුදාව පිට පැවරුණා.

 

4. ගුවන් හමුදාව

Image Source – airforce.lk

ගුවන් හමුදාවට ඊළාම් යුද සමය තුළ නායකත්වය ලබාදුන්නේ රොෂාන් ගුණතිලක මහතායි. ඔහු හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වූ හැරී ගුණතිලක මහතාගේ පුත්‍රයායි. යුද සහ නාවික හමුදා අතර මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් සතුරාගේ මර්මස්ථාන කරා ගුවන් ප්‍රහාර සාර්ථක ලෙස එල්ල කිරීමට ගුවන් හමුදාවට මෙතුමා යටතේ හැකියාවක් ලැබුණා. උදාහරණයක් ලෙස එල්ටීටීඊ දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් මරා දමන ලද්දේ එසේ එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයකින්.

 

5. සිවිල් ආරක්ෂක බලකාය

යුද හමුදාව විවිධ මෙහෙයුම් කටයුතුවල නිරත වද්දී එල්ටීටීඊය ඇතැම් අවස්ථාවල නිරායුධ ගම්මාන ඉලක්ක කර සිය මෙහෙයුම් කටයුතු සිද්ධ කළා. උදාහරණයක් ලෙස ගම්වැසියන් 50කට අධික ප්‍රමාණයක් මරා දැමුණු ගෝනගල ඛේදවාචකය සඳහන් කරන්න පුළුවන්. එතෙක් නිසි ක්‍රමවේදයකින් තොරව ගම්වල ආරක්ෂාව බාරව තිබූ සිවිල් ආරක්ෂක බලකාය විධිමත් ලෙස ප්‍රතිසංවිධානය කරමින් මොවුන්ට තර්ජනයට ලක් වූ ගම්මානවල ආරක්ෂාව භාර කිරීමට යොමු කරනු ලැබූයේ සරත් වීරසේකර මහතාගේ මූලිකත්වයෙන්.

 

6. ශ්‍රී ලංකා පොලිසිය

සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මූලිකව කටයුතු කරන දෙපාර්තමේන්තුව වන්නේ ශ්‍රී ලංකා පොලිසියයි. හතරවන ඊළාම් යුධ සමය තුළ පොලිසියට භාරදූර කර්තව්‍යයක් හිමිව තිබුණා. ඒ සිවිල් සමාජයේ නීතිය හා සාමය පවත්වාගෙන යෑමයි. ඒ සඳහා ත්‍රස්ත විමර්ශන අංශය වැනි විශේෂ ඒකක ශ්‍රී ලංකා පොලිසිය තුළ ස්ථාපනය කර තිබුණා මෙම කාල පරිච්ඡේදය තුළ පොලිස්පතිවරු තිදෙනෙක් ශ්‍රී ලංකා පොලිසියට නායකත්වය ලබා දෙනු ලැබුවා. ඒ චන්ද්‍රා ප්‍රනාන්දු, වික්ටර් පෙරේරා සහ ජයන්ත වික්‍රමරත්න යන පොලිස්පතිවරු විසිනුයි.

 

7. රාජ්‍ය පරිපාලන සේවය

රාජ පරිපාලන සේවයේ කාර්යභාරය සෘජු ලෙස යුද වැදීමට අදාළ නොවුනත් යුදමය පසුබිමක සිවිල් රාජ්‍ය පරිපාලන කටයුතු පවත්වාගෙන යෑමේ දුෂ්කර කර්තව්‍යයට ඔවුන් මුහුණ දුන්නා. විශේෂයෙන්ම කිලිනොච්චි, මුලතිව් වැනි ප්‍රාදේශීය ලේකම්වරු එල්ටීටීඊ සංවිධානයේ තර්ජන මැද පවා නොබියව පරිපාලන කටයුතුවල නිරත වුණා. එසේම අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් වැනි නිලධාරීන් ඉෂ්ට කළ සේවාවන් මේ අවස්ථාවේදී මතක් කළ යුතු වෙනවා. සමස්ත රාජ්‍ය පරිපාලන සේවයටම මෙම දුෂ්කර අවස්ථාවේ නායකත්වය දෙනු ලැබුවේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතායි.

 

8. පුරවැසියන්

යුද ජයග්‍රහණය වෙනුවෙන් මෙරට පුරවැසියන් සිදු කළ කැපකිරීම අතිමහත්. තමන්ගේ නිදහස සීමා වෙද්දී පවා ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරමින් යුද ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් සිය කැපවීම ප්‍රදර්ශනය කළා. උදාහරණයක් ලෙස “අපි වෙනුවෙන් අපි” වැනි අරමුදල් සඳහා තමන්ගේ නොමසුරු දායකත්වය ලබාදීම සිදු කළා. ඇතැම් අවස්ථාවල බෝම්බ බිය තිබියදී පවා සිය රාජකාරි කටයුතු වෙනුවෙන් වාර්තා කරමින් රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යෑමට දිවි නොතකා කටයුතු කිරීමට තරම් පුරවැසියන් තමන්ගේ මව්බිමට ආදරය කළා.

 

එසේනම් යුද ජයග්‍රහණයට එකොළොස් වසරක් පිරෙන අද දින ඒ වෙනුවෙන් ලේ කඳුලු හෙළුව සියලු වීරයන් අභිමානයෙන් සිහිපත් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *