ලාංකීය දේශපාලනයේ වැදගත්ම තීන්දුව – විවෘත ආර්ථික ප්‍රතිපත්ති​ය

විවෘත ආර්ථික ප්‍රතිපත්තිය කියන්නෙ ලංකාවේ දැනට ඉතාම දැඩි කතාබහකට ලක් වෙලා තියෙන සහ පහුගිය කාලේ පුරාවටම කතාබහට ලක් වුණු විශේෂ මාතෘකාවක්. සමහර අය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වැරදි තීන්දුවක් විදිහට දකිනවා වගේම සමහර කණ්ඩායම් ඒ ප්‍රතිපත්තිය හොඳ එකක් විදිහට දකිනවා. ඒ අතරේ සමහර අය කියන්නෙ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වලා දීපු වෙලාව වැරදියි කියන එක. ඉතින් අපි අද කතා කරන්නේ කොටසකට හොඳ, කොටසකට නරක විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ගැන. ඉතින් මේ ගැන සංකීර්ණ කරුණු කාරණා ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. හැමෝටම තේරෙන සරල දේවල් ටික තමයි අපි අද කතා කරන්නේ. පස්සේ ටිකක් සංකීර්ණ කාරණා ගැන කතා කරමු. 

 

 

1. මොකක්ද විවෘත ආර්ථිකයක් කියන්නෙ?

විවෘත ආර්ථිකයක් කියන එකේ සරලම තේරුම තමයි ආර්ථික කටයුතු වලට තියෙන සීමාවන් ඉවත් කරනවා කියන එක. විශේෂයෙන් විදේශ අංශය ආර්ථිකය සඳහා හවුල් කරගැනීම මේ හරහා සිදු කෙරෙනවා. ඒ තුළින් නිදහසේ භාණ්ඩ සහ සේවා ගලා ඒම සහ ගලා යාම සිදුවෙනවා. මේකෙන් කියවෙන්නේ නෑ රජය කිසිසේත්ම මැදිහත් වෙන්නේ නෑ කියලා. යම් මැදිහත් වීමක් රජය සිදු කරනවා. නමුත් විදේශීය ආර්ථික කටයුතු වලදී රජය යම් යම් ආකාර වලින් මැදිහත් වීම අඩු කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් විදේශීය සමාගමකට ලංකාවේ ඔවුන්ගේ ව්‍යාපාරය පටන් ගන්න ඕන වුණොත් සමහර අවස්ථා වල රජය යම් යම් බදු සහන වගේ ලිහිල් කිරීම් පිරිනමනවා. 

 

 

2. විවෘත ආර්ථිකයක වාසි

ඕනම දෙයක වාසි අවාසි කියල කොටස් දෙකක් තියෙනවනේ. ඉතින් විවෘත ආර්ථික ක්‍රමයේත් වාසි අවාසි කියන දෙකම තියෙනවා. මුලින් අපි වාසි ගැන සලකා බැලුවොත්, මේ තුළ තියෙන මූලිකම වාසිය තමයි ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන ප්‍රාග්ධන ගැටළුවට ලොකු සහනයක් ලැබෙන එක. ඒ වගේම තාක්ෂණය සහ වෙළෙඳපොල පුළුල් කරගැනීමේ ගැටළු වලටත් ඉතාම හොඳ විසඳුමක් තමයි විවෘත ආර්ථික ක්‍රමය. අපි බැලුවොත් කොහොමද මේ ප්‍රාග්ධන ප්‍රශ්නයට විවෘත ආර්ථික ක්‍රමය විසඳුමක් වෙන්නේ කියල ඒක ගොඩක් වැදගත්. කලින් කිව්වා වගේ විවෘත ආර්ථිකයක් කියන්නෙ විදේශ අංශය ආර්ථික කටයුතු වලට හවුල් කරගන්න එකනේ. ඉතින් එතකොට විදේශ පුද්ගලික අංශයේ ආයෝජකයින්, ව්‍යාපාරිකයින් රට තුළ ව්‍යාපාර සහ ආයෝජන සිද්ධ කරනවනේ. එතකොට ඒ ව්‍යාපාර ආරම්භ කිරීම් සහ ආයෝජන එක්ක රට තුළට මුදල් එන නිසා සහ ඒ මුදල් රට තුළ වියදම් කරන නිසා දේශීය ආර්ථිකයට ඒක ලොකු හයියක් වෙනවා. ඒ වගේම විවෘත ආර්ථිකය නිසා රට තුළ සේවා වියුක්තියටත් ලොකු සහනයක් ලැබෙනවා. ඔන්න ඔය ප්‍රධාන වාසි වලට අමතරව තවත් වාසි රාශියක් විවෘත ආර්ථික ක්‍රමයේ තියෙනවා. 

 

 

3. විවෘත ආර්ථිකයක අවාසි

විවෘත ආර්ථික ක්‍රමයක තියෙන ආවේණික අවාසි ගොඩක් තියෙනවා. ඒවායින් මූලිකම එකක් තමයි දේශීය කර්මාන්ත පිරිහීමට ලක් වීම. දැන් ලංකාවට සිද්ධ වෙලා තියෙන තත්ත්වය ගැන කල්පනා කරලා බැලුවම මේ තත්ත්වය හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන් ලංකාවේ තිබුණු පේෂ කර්මාන්තය, කඩදාසි නිෂ්පාදන, රබර් නිෂ්පාදන වගේ අංශ කඩා වැටෙන්න විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මූලික හේතුවක් වුණා. අනික් අවාසිය තමයි දේශීය මුදල අවප්‍රමාණය වීම. මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ තමයි. සරලව කිව්වොත් විවෘත ආර්ථික ක්‍රමය තුළ පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් පවත්වාගෙන යාම නිසා ආනයන වියදම් වැඩි වීමෙන් විදේශ මුදල් සඳහා ඉල්ලුම වැඩි වෙනවා. හැබැයි එහෙම වුණා කියල ඊට සාපේක්ෂව විදේශ මුදල් ඉපයීම වැඩි නොවීම නිසා රුපියල අවප්‍රමාණය වීම සිද්ද වෙනවා. වයස 35 වගේ පැනපු අය ඉන්නවනම් මතක් කරලා බලන්න ඉස්සර ටීවී එකේ ජපන් යෙන් එකේ වටිනාකම කීයද කිව්වේ, අද කීයද කියන්නෙ කියල. ඩොලර් එකත් එහෙම්මම තමයි. ඒ වගේම ආනයන වියදම් වැඩි වීම නිසා රටේ වෙළෙඳ ශේෂ හිඟය වැඩි වීමත් සිදු වෙනවා. ඊට අමතරව විදේශ ආයෝජන වල ලාභාංශ විදේශිකයින් නැවත ඒ ඒ රටවල් වලට අරන් යන එකත් වෙළෙඳ ශේෂයට බලපානවා. ඉතින් ඔය ප්‍රධාන අවාසි වලට අමතරව අනුශාංගික අවාසි සෑහෙන මේ විවෘත ආර්ථික ක්‍රමය තුළ තියෙනවා. 

 

 

4. ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වාදීම – 1977ට පෙර තත්ත්වය

1977 පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය කියන්නෙ ලංකා දේශපාලන ඉතිහාසයේ ඉතාම වැදගත් මැතිවරණයක්. 1970 මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා ආණ්ඩු බලය ලබාගෙන හිටපු සමගි පෙරමුණු ආණ්ඩුව රටේ යම් ආකාරයක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් හිටියා. එවකට අගමැතිණිය වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගත්තු තීරණ ගොඩක් දැඩි ප්‍රතිපත්ති මත ගත්තු තීරණ විදිහටයි සැලකුණේ. ඒවා බොහෝ දුරට මතභේදාත්මක තීන්දු තීරණ වුණා. විශේෂයෙන් පුද්ගලික දේපළ රජයට පවරගැනීම, පුද්ගලික ව්‍යාපාර ජනසතු කිරීම, ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දීම, ආනයන සීමා කිරීම වගේ හිතකර තීන්දු බොහොමයක් ඇය ගත්තත් ජනතාව ඒවා ඉතාම පීඩාකාරී තීන්දු විදිහට තමයි සැලකුවේ. නමුත් අද වෙද්දී නම් පොදුවේ හැමෝම පිළිගන්න දෙයක් තමයි ඒ ප්‍රතිපත්තිය තව කාලයක් පවත්වාගෙන ගියා නම් අද වෙද්දී ලංකාව ඉතාම හොඳ තත්ත්වෙක ඉන්න තිබුණාය කියන කාරණාව. කොහොම වුණත් ඔන්න ඔය වගේ පසුබිමක තමයි 1977 මහා මැතිවරණය පැවැත්වෙන්නේ. 

 

5. ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වාදීම  – 1977 මහා මැතිවරණය

ඉතින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ඇගේ ආණ්ඩුව ගත්තු තීරණ වලින් ජනතාව නොයෙක් අපහසුතා වලට මුහුණ දීලා හිටියේ 1977 මහා මැතිවරණය වෙද්දී. ඒ අතරතුර කාලයේදී උතුරේ නොසන්සුන්තාවයක් ඇතිවෙන්නත් පටන් අරන් තිබුණා රජයේ ජාතිකවාදී ප්‍රතිපත්ති හේතුවෙන්. ඉතින් ඒ හේතුවෙන් රට පුරා හදිසි නීතිය පනවන්නත් කටයුතු කළා එවකට ආණ්ඩුව. ඉතින් මේ වෙද්දී නැවත සංවිධානය වෙලා හිටපු එක්සත් ජාතික පක්ෂය ජනතාව අතරට ගියේ නොයෙකුත් පොරොන්දු එක්කයි. ඒ, ජේ.ආර් ජයවර්ධන මහතාගේ නායකත්වයෙනුයි. විශේෂයෙන් ඒ වෙද්දී පැවතුණු හාල් කිලෝ දෙකේ සලාකය වෙනුවට ධාන්‍ය රාත්තල් අටක සලාකයක් ලබාදෙන පොරොන්දුව ජනතාව අතරට බොහොම හොඳින් කා වැදුනා. ඉතින් සිරිමාවෝ මැතිණිය ජනතා අප්‍රසාදයට පත් වී තිබීම නිසා 1977 පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ඉතාම ඉහළ ජයග්‍රහණයක්, ඒ කියන්නෙ පාර්ලිමේන්තුවේ ආසන 168න් 140ක්, එහෙමත් නැත්නම් කවුරුත් කියන විදිහට 6\5ක බලයක් ලබාගන්න සමත් වුණා. 

 

 

6. ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වාදීම – 1977 මහා මැතිවරණයෙන් පසු තත්ත්වය

ජේ.ආර් ආණ්ඩුවට 6\5ක බලයක් හිමි වීමත් එක්ක ඉතාම තීරණාත්මක තීන්දු රාශියක් ජේ.ආර් ජයවර්ධන විසින් ගනු ලබනවා. ඉන් මූලිකම තීන්දුව තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හඳුන්වා දීපු පළවෙනි ජනරජ ව්‍යවස්ථාව ඉවත් කරලා දෙවන ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දීම. ඒ ව්‍යවස්ථාවෙන් ඔහු විධායක බලතල සහිත ජනාධිපති ධුරයක් ඇති කරනවා. ඒ වගේම ව්‍යවස්ථාව සම්මත වෙන දවසට, එවකට සිටින අගමැතිවරයා එකී විධායක බලතල සහිත ජනාධිපති බවට නිසඟයෙන් පත්වෙන සංශෝධනයක් පාර්ලිමේන්තුව හරහා සම්මත කරගන්නවා. මුකුත් හිතන්න එපා. මොකද ඒ වෙද්දී 6\5ක බලයක් ඔහුට පාර්ලිමේන්තුවේ තිබුණා.

 

7. 1978 විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීම

1977 මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබපු දැවැන්ත ජයග්‍රහණය එක්ක පත් වුණු ආණ්ඩුව යටතේ එවකට පැවති සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව වගේ අන්තර්ජාතික ආයතන වල උපදෙස් පිට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ලංකාවට හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව වෙළඳාම සඳහා තිබුණු බාධා ඉවත් කිරීම, විනිමය පාලනය ඉවත් කිරීම, පුද්ගලික අංශය මූලික කරගත් ආර්ථික ක්‍රමයක් වෙත යොමු වීම, පුද්ගලීකරණය, අපනයන සැකසුම් කලාප පිහිටුවීම, ශුභසාධන කටයුතු සීමා කිරීම  කිරීම  වගේ දේවල් සිද්ධ කරනු ලැබුවා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *