සංචාරය කිරීම කියන්නේ ලොකු පරාසයක දෙයක්. සමහර අය ලස්සන තැන් වලට ගිහින් බලනවා. තවත් අය කැලේ ගිහින් අලි ඇත්තු ආදී සත්තු බලනවා. තව අය සංස්කෘතික අංග බලනවා. ඒ අතර ආගමික දේවල් සොයා යන වගේම ලිංගික සුවය, පාටි ආදිය සොයායන සංචාරකයනුත් ඉන්නවා. මාර්ගයක ගමන් කරන ගමන් වටපිට කඳු බලාගෙන ඒ අවට වාසය කරන මිනිස්සුන්ගේ සංස්කෘතිය ගැන දැකබලාගෙන යන්න පුළුවන් අවදානම් ගමනක් තමයි කරකොරම් හයිවේ එකේ ගමන කියන්නේ. මේ කරකොරම් හයිවේ ගමන පාකිස්ථානයේ ජනප්‍රිය බව අතින් තුන්වැනි ස්ථානය ගන්නා සංචාරක ස්ථානයක් ලෙස සඳහන් වෙනවා.
1. කරකොරම් විස්තර
කරකොරම් මාර්ගය ශීතල හිමාලයේ පාකිස්ථාන දෙසින් චීනයට ඇදීයන දුෂ්කර මාර්ගයක්. මේ පාර ලෝකේ උසම දේශසීමා මාවත විදිහට හැඳින්වෙනවා. මේ මාර්ගයේ හමුවෙන කුන්ජෙරාබ් පාස් එකේ මූදු මට්ටමේ සිට උස මීටර 4693ක්. සීතල හිම කඳු මතින් ඇදෙන මේ මාවත චීන පාකිස්ථාන දේශසීමාව හරහා ඇදී යනවා. මේ මාවත සංචාරකයින් අතර ආකර්ෂණය දිනාගත් ආකර්ෂණීය තැනක් වෙලා තියෙනවා. කරකොරම් මාර්ගය කිලෝමීටර 1300කට වඩා දිගයි. එයින් කිලෝමීටර 887ක් පාකිස්ථානයටත් කිලෝමීටර 413ක් චීනයටත් අයිති වෙනවා. මුහුදු මට්ටමින් ගොඩක් ඉහළ කඳුකර පළාතක තියෙන මේ මාර්ගයේ තියෙන දේශ සීමා පිවිසුම ලොව උසම තැන්වල පිහිටි දේශසීමා පිවිසුම් වලින් එකක් වෙනවා.
2. සේද මාවත
මීට වසර දාස් ගාණකට කලින් ලෝකේ පුරාණ සේද මාවත තිබුනා. ඒ සේද මාවත හරහා චීනයේ සිට බඩු බාහිරාදිය යුරෝපය කරා ගෙන ගියා. ඒ සේද මාවතේ මුහුදු සේද මාවතේ ප්‍රබල සංධිස්ථානයක් ලෙස ලංකාවත් සැලකුණා. ගොඩබිම් සේද මාවතට මේ දැන් තියෙන කරකොරම් මාර්ගය හරහාත් කිහිප පොළකින්ම සම්බන්ධ වෙනවා. මේ කරකොරම් මාර්ගය නූතනයේ පාකිස්ථානය සහ චීනය එකතු වෙලා නවීකරණය කළා. ඒත් කඳු කඩා වැටීම්, ගංවතුර ගැලීම් ආදී ස්වාභාවික විපත් නිසා විටින් විට මේ මාර්ගයේ තැන් අවහිර වෙනවා.
3. ඇඟට අමාරුව සහ ලස්සන
මුහුදු මට්ටමින් ඉහළට යන්න යන්න අවට පරිසරයේ ඔක්සිජන් අඩු නිසා අපිට හුස්ම ගන්න ටිකක් අමාරුයි. මීටර 4000කට වැඩියි කියන්නේ ඒ තත්ත්වයට අපේ පෙනහළු වලට හුරු වෙන්න ටිකක් කාලය උවමනා වෙනවා. එකපාර මීටර 4000කට ලඟා වුනාම ඒ අනුවර්ථනයට එකපාර හුරුවෙන්න ඇඟට අමාරු නිසා ඔලුවෙ කැක්කුම, ඔක්කාරය සහ ඇඟට අපහසුකම් දැනෙනවා. ඒ නිසා කරකොරම් හයිවේ එකේ නිතර යන්නේ නැති සංචාරකයින් මග නැවති නැවතී, ටිකෙන් ටික උස එක්ක එන අඩු ඔක්සිජින් තත්ත්වයට ඇඟ පදම් කරගෙන තමයි උඩට යන්නේ. මේ ගමනේදී ලෝකයේ තියෙන නගින්න අමාරුම කන්දක් වෙන K2 පේනවා. K2 තරණය කරන්න එවරස්ට් වලටත් වඩා අමාරුයි.
4. චීන අලුත්වැඩියාව
අපේ රටේ හම්බන්තොට වරාය ඇතිකරන්න චීනය උදව් උපකාර කළා. චීන ණය වලින් කළ හම්බන්තොට වරාය චීනයේ බෙල්ට් රෝඩ් හෙවත් නව මාර්ග ඇතිකිරීමේ ව්‍යාපෘතියේ එක් සන්ධිස්ථානයක්. ඒ බෙල්ට් රෝඩ් වලට මුහුදු මාර්ගයේ වරායන් සංවර්ධනය කිරීම වගේම දුම්රිය මාර්ග සහ මහාමාර්ග වැඩිදියුණු කරලා චීනයට තිබෙන ගොඩබිම් ගමන් පහසුව වැඩි දියුණු කිරීමත් අයිති වෙනවා. මේ කරකොරම් මාර්ගයත් මීට වසර දහයකට විස්සකට ඉස්සර මීටර 10ක් විතර පළල කුඩා පාරක් විදිහට තිබුනේ. එත් චීනයේ මැදිහත් වීමෙන් මේ මාර්ගය මීටර 30ක් දක්වා පළල් වුනා. නව පාලම්, බිංගෙවල් කඳු හරහා ඇති කළ නව මංමාවත් ඔස්සේ කරකොරම් මාවත වේගයෙන් හැදුනා. දැන් ඒ නිසා ඉස්සර තරම් ලොකු මහන්සියක් වෙන්න නැතුව කරකොරම් මාර්ගය තරණය කරන්න සංචාරකයින්ට පහසුකම ලැබිලා තියෙනවා.
5. බය වෙන්න ඕනි තැන්
මේ කඳුකර පළාත්වල ජීවිතය කටුකයි. ඉතින් මනුස්ස වාසයක් හොයාගන්න එක අමාරු වැඩක්. ඒ වගේම මේ පාරේ වාහන ගමනාගමනයත් අඩුයි. ගමනක යෙදෙනවා නම් ඒ සඳහා සියලුම අඩුම කුඩුම ටික පටවගෙන, අමතර ඉන්ධන, ටයර් සහ වාහනේ සුළු යාන්ත්‍රික අළුත්වැඩියාවක් ඇතිවුනොත් ඒකටත් ලෑස්ති වෙලා කරකොරම් හයිවේ එකේ යන්න ඕනි. ඒ වගේම තදබල ලෙස හිම වැටෙන දෙසැම්බර් ජනවාරි ආදී ශිතල කාල වල මේ මාර්ගයේ ගමනාගමනය බොහොම අපහසුයි. ශීතල කාලවලට ඒ දැඩි ශීතලෙන් ආරක්ෂා වීම ගැනත් ටිකක් සිතන්නට ඕනි.
6. පාකිස්ථාන සහ චීන අන්තයන්
පාකිස්ථානයේ පෙශාවර් හෝ රාවල්පිණ්ඩි වලින් අබ්බොට්ටබාද් වලට ගිහින් කරකොරම් හයිවේ එකට පිවිසෙන්නට පුළුවන්. චීනයේ සින්ජියන් පළාතේ කශ්ගාර් වලට තමයි මේ හයිවේ එක චීනයෙන් සම්බන්ධ වෙන්නේ. කශ්ගාර් කියන්නේ කාන්තාරබද චීන පළාතක්. පාකිස්ථාන පැත්ත තදබල හිමාල කඳුකරය තිබෙන පළාතක්. ඉතින් මේ රටවල් දෙකේදිම කටුක අත්දැකීමත් තමයි මාර්ගයේ යන එන අයට විඳගන්නට ලැබෙන්නේ. මේ මාවත 1959 මුලින්ම හදන්න උත්සාහ කරලා තියෙනවා. 1979 දී මේක විවෘත කරන්න උත්සාහ කරල තිබුනත් වැඩ ඉවරවෙලා තියෙන්නේ 1986 දී. මේ කඳුකර දුෂ්කර මාවත හදන වැඩේදි පාකිස්ථානයේ කම්කරුවන් 800කට වැඩි ප්‍රමාණයකුත් චීන කම්කරුවන් 200කට වැඩි ප්‍රමාණයකුත් වශයෙන් කම්කරුවන් දාහකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.
7. මාර්ගය පිවිසීම
චීනයෙන් මේ මාර්ගය බලන්න යනවා නම් සින්ජියන් පළාතේ උයිගර් විශේෂ කලාපය හරහා මේ මාර්ගයට කශ්ගාර් හරහා පිවිසෙන්නට පුළුවන්. මේ උයිගර් කියන්නේ චීනයේ ටිකක් ආන්දෝලනාත්මක පළාතක්. මුස්ලිම් උදවියට දැඩි නීති තිබෙන මේ පළාතට සංචාරකයින්ට මදක් පිවිසෙන්නට අමාරුයි. පාකිස්ථානයේ රාවල්පිණ්ඩි, ඉස්ලාමාබාද් සිට ගිග්ලිට් දක්වා ඇවිත් එතැනින් මේ මාර්ගයට පිවිසෙන්නට හැකියාව තියෙනවා. ගිග්ලිට් කලාපයෙන් මේ මාර්ගයට පිවිසීමේදී ලොව උසම කඳු අතර ලැයිස්තුවේ මුලින්ම තියෙන නන්ගා පරබට්, K2 ඇතුලු මීටර 7000ට වඩා උස කඳු 82ක් කාලගුණය හොඳ කාලේදී බලාගන්නට ලැබෙනවා.
බාලි, පතායා, බුද්ධගයා වගේ සංචාර නම් හැමෝම යනවා. ඒ වගේම එවරස්ට් බේස් කෑම්ප්, කිලිමන්ජාරෝ වගේ කඳුකර තරණයනුත් බොහෝ දෙනා අතර දැන් ජනප්‍රියයි. ලෝකේ උසම දේශසීමාව වෙන කරකොරම් හයිවේ එක තාම එච්චරම හිට් නැහැ. ඒ වගේම ඒ වගේ ගමනක් කොහොම ප්ලෑන් කළත් යම් අවදානමක් තියෙනවා. ඉතින් යන්න තියෙන තවත් එක පාරක් නොවන කරකොරම් හයිවේ ගමන යනවා නම් ඒක ගැන විස්තර තවත් සොයා බලලා හරි කාලය සහ බඩු බාහිරාදිය තෝරාගෙන, තොරතුරු හොයාගෙනම යන එක වටිනවා.
Leave a Reply