“අපිට නම් ඉතින් ඕන දෙයක් කන්න පුලුවන්” කියලා සමහර අයියල කයිය ගැහුවට ඒ කටවල් වලට කන්න බැරි දේවලුත් මේ ලෝකෙ තියෙනවා කියලා පෙන්නන්නයි මේ සූදානම් වෙන්නේ. හරියටම කිවුවොත් අපි මේ හදන්නෙ අපි ජීවිතේට කන්න හිතන්නෙවත් නැති, ඒත් ලෝකේ එක එක කොන් වල තියෙන රටවල් වල ජනප්‍රියම ආහාර වුණ කෑම ලැයිස්තුවක් ඔබට ඉදිරිපත් කරන්න. බලන්නකෝ මේ කෑම කන්න ඔබට හීනෙන්වත් පුලුවන් වෙයිද කියලා.
සැළකිය යුතුයි – සංවේදී පාඨකයින් අපහසුතාවයට පත්විය හැකි නිසා අපි මේ සමහරක් ආහාර වල ඡායාරූප පළ කරන්නේ නැහැ. මේ ආහාර වල ඡායාරූප සහ වැඩිදුර විස්තර දැකගන්න කැමති කෙනෙක්ට අපි ලිපියට ඇතුළත් කරලා තියන සබැඳි (Links) හරහා ගිහින් ඒවා ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.
1. සුනඛ මස් කමුද..?

Source – youtube.com
බල්ලා කියන්නේ අපේ ළඟම හිතවතෙක් වගේ ඉන්න සතෙක් නොවැ. ඌ නැහැදිච්ච වැඩක් කළත් අපි වැඩිම වුණොත් කරන්නෙ ගලක් අරගෙන ඌව එලවන එක විතරයි. ඒත් දෙයියනේ ලෝකයේ සමහර රටවල සුනඛ මස් එහෙම නැත්නම් බලු මස් කියන්නේ අතිශය ජනප්‍රිය කෑමක්. රටවල් වල නමින්ම කිවුවොත් චීනේ, දකුණු සහ උතුරු කොරියාව සහ නයිජීරියාව කියන රටවල මේ සුනඛ මස් වලට තියෙන්නේ ඉහළම ඉල්ලුමක්. ඉල්ලුමක් කියන්නේ චීනයේ වාර්ෂික “සුනඛ මස් සැනකෙළියක්” පවා තියෙනවා.
2. සර්ප මස් ගැන මොකද හිතන්නේ..?

Source – nationalzoo.si.edu
සර්පයෝ කියන්නේ ගොඩක් දෙනාට ටිකක් විතර අප්පිරිය සත්තු ජාතියක්. ඒකට ගොඩක් දුරට හේතුව වෙලා තියෙන්නේ සර්ප හමේ ස්වභාවය. අපට එහෙම අප්පිරිය වුණාට සමහර රටවලනම් සර්පයෝ මරලා මස් විදිහට උයාගෙන කන තරමටම ඒ රටවල මිනිස්සු සර්පයන්ට කැමතියි. චීනය, වියට්නාමය, ඇමරිකාව සහ අප්‍රිකා මහද්වීපයේ සමහර රටවල සර්ප මස් ජයටම කනවා. ලංකාවෙත් ඔය චීන මහත්තුරු වැඩ කරන වැඩ බිම් වල එක සර්පයෙක්වත් නෑ ය කියලා කියන්නෙ කටකහනවට නෙමෙයි කියලා පේනවනේ ඉතින්.
3. බැටලු ඔලුවක්ම කන්න පුලුවන්ද..?

Source – modernfarmer.com
බැටලුවා කියන්නේ පුලුවන් කාලේ පුලුවන් තරම් ලොම් අරගෙන බැරි කාලෙට මරං කන සතෙක් නොවැ. ඒ සතාගෙන් හදන මේ කෑම පිඟාන දැක්කම ඔබට සමහරවිට ජීවිතේ පවා එපා වෙන්න පුලුවන්. මේ කෑම හදන්න ගන්නේ බැටලු ඔලුව. වැඩේ කියන්නේ මේ ඔලුව ඔලුවේ ස්වරූපයෙන්ම කෑම පිඟානට දාන එක. සමහර රටවල මේ ආහාරය Smalahove කියලා වෙනම නමකිනුත් හඳුන්වනවා. නෝවේ රාජ්‍යය තමයි මේ ආහාරය උපන් දේශය විදිහට හැඳින්වෙන්නේ.
4. දිමි බිත්තර කෑමට..?

Source – homecheesemaker.wordpress.com
කිකිලියෝ දාන බිත්තර අපි කෑවට, දිමියො දාන බිත්තර අපි කන්නෙ නෑ නොවැ. ඒ වුණාට දිමියො දාන බිත්තර කිලෝ ගණන් වලින් විකිණෙන, ඒ ආහාරයට ඉහළ ඉල්ලුමක් තියෙන රටවල් ලෝකයේ තියෙනවා. තායිලන්තය මේ දිමි බිත්තර වලට ඉහළ පිලිගැනීමක් තියෙන රටක්. දිමි බිත්තර වල ප්‍රෝටීන් බහුලව අඩංගුයි වගේම කුකුල් බිත්තර වල තරම් මේදය සහ කැලරි අඩංගු වෙන්නේ නෑ.
5. තණකොළ පෙත්තෝ බයිට් එක

Source – terminix.com
තණකොළ පෙත්තෝ කියන්නේ ලංකාවෙ අපිනම් ජීවිතේට කන්න නොහිතපු සත්තු ජාතියක් නේ. ඒ උනාට තායිලන්තෙනම් එහෙම නෑ. එහේ තණකොළ පෙත්තෝ කියන්නේ බයිට් එකට කියාපු කෑමක්. තණකොළ පෙත්තන්ව බැදලා ලුණු සහ මිරිස් එක්ක මිශ්‍ර කරලා තමයි බොහෝ වෙලාවට කෑමට ගන්නේ. ඒ කන අතරේ තණකොළ පෙත්තන්ගේ ඇඟ ඇතුළේ තියෙන ජෙලි වගේ මිශ්‍රණයක් එලියට එන එක ඇරෙන්න වෙන කිසිම අවුලක් ඒ කෑමේ නෑ කියලයි තායිලන්තේ උදවිය කියන්නේ.
6. ගෙඹි කුමාරයන්ගේ කකුල් කනවද..?

Source – hhhhappy.com
ගෙඹි කුමාරයෝ ගැන සුරංගනා කතා වල අහලා තියෙනවා. මේ කෑමත් එහෙම සුරංගනා කතා වල එන කෑමක්ද කියලත් හිතෙන්න පුලුවන්. ගෙම්බන්ගේ පිටුපස කකුල් දෙක තමයි මේ සඳහා ගන්නේ. මේවා අරගෙන හම අයින් කරලා, තෙලේ බැදලා, තමයි කන්න ගන්නේ. මේ අමුතු කෑම ප්‍රංශයේ වගේම අග්නිදිග ආසියානු රටවලත් දකින්නට ලැබෙනවා.
7. එළකිරි බොන එකේ “අශ්ව කිරි” මොකද..?

Source – timetravelturtle.com
ඔබ මොන්ගෝලියාවට ගියොත් අශ්ව කිරි වීදුරුවක් කියන්නෙ මහ අමුතු දෙයක් නෙමෙයි. අශ්ව කිරි කියන්නේ වෙලඹගේ කිරි. ඒ වගේම මොන්ගෝලියානු වැසියන් අශ්ව කිරි වලින් “අයිරාග්” කියලා මත්පැන් වර්ගයකුත් නිපදවනවා. මේක “කුමිස්” කියලත් හඳුන්වනවා. සාම්ප්‍රදායික උත්සව වලදී මේ මත්පැන් වර්ගය පාවිච්චි කරනවා කියලයි කියවෙන්නේ. මොකද කියන්නේ අශ්ව කිරි ටිකක් බොමුද..?
මීට අමතරව ඔබ දන්න ලංකාවේ උදවියට කන්න හිතන්නවත් බැරි කෑම තියේනම් පල්ලෙහයින් ඒ ගැන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
Cover Image Source – phys.org
Leave a Reply