මීට දින කීපයකට කලින් මුළු ලෝකයම කම්පා කරවපු ආරංචියක් ඉන්දියාව දිහාවෙන් ඇහුණා. ඒ තමයි ගායන ලෝකයේ ජීවමාන පුරාවෘත්තයක් බවට පත්වෙලා හිටපු ලතා මංගේෂ්කාර් මැතිණියගේ අභාවය. ඇය සියවසකට අවුරුදු කීපයක් අඩුවෙන් ජීවත් වුණා. නමුත් ඇගේ අභාවයෙන් සිද්ධ වෙච්ච පාඩුව තව සියවස් ගණනකටවත් සම්පූර්ණ වන එකක් නැහැ. හැබැයි මේ දේත් නොකියාම බැහැ. අනෙකුත් කලාකරුවන් වගේ තව ජීවත් වෙලා හිටියනම් තවත් වැඩ කරන්න වෙයි කියන කතාව නම් ඇය උදෙසා වලංගු නැහැ. ඇගේ මුළු ජීවිත කාලයේදීම ඇය කලා ක්ෂේත්රය සඳහා තමන් විසින් ලබාදිය යුතු උපරිම දායකත්වය ලබා දුන්නා. අපි අද ඔබට කියන්න යන්නේ ඇගේ ජීවිතය පිළිබඳව වැඩි දෙනෙක් නොදත් තතු කීපයක්.
1. ලතාගේ උරුමය
ලතා මංගේෂ්කාර් උපත ලබන්නේ සංගීත පවුලක. ඇගේ පියා සුප්‍රකට සංගීතඥයෙක් වගේම ගුරුවරයෙකුත් වුණා. ලතා මංගේෂ්කාර් පවසන ආකාරයට දවසක් ඇගේ පියා තම ශිෂ්‍යයෙකුට රාගයක් පුහුණු වෙන්න කියලා මදක් ඉවතට ගිහිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේදී අදාළ ශිෂ්‍යයා රාගය නිවැරදිව ගායනා කරලා නැහැ. ඒ අසල සෙල්ලම් කරමින් හිටපු කුඩා ලතා ඔහුව නිවැරදි කරලා තියෙනවා. ඔහුගෙන් මේ ගැන දැනගත්තට පස්සේ තමයි ලතාගේ පියා තේරුම් අරගෙන තියෙන්නේ තමන්ගේ දියණියට දියුණු සංගීත ඥානයක් තියෙනවා කියලා. එතැන් පටන් තමයි ලතාට සංගීතය පිළිබඳව ක්‍රමවත් අධ්‍යාපනයක් ලබා දෙන්න ඔහු තීරණය කරලා තියෙන්නේ.
2. කැපුණු පළවෙනි ගීතය
චිත්‍රපටයකට ගීත ගායනා කිරීම සෑම ගායක ගායිකාවකගේම හීනයක්. ලතා මංගේෂ්කාර් විසින් ගායනා කරනු ලැබූ පළමුවනි ගීතය චිත්‍රපටයෙන් ඉවතට විසිවී ගිය බව කිව්වොත් ඔබ විශ්වාස කරනවද?. මරාති චිත්‍රපටයක් සඳහා ලතා මංගේෂ්කාර් ඒ ගායනා කළ ගීතය අවසාන සංස්කරණයේදී ඉවත්ව තිබුණා. කොහොම වුණත් මේ කිසිවකට ලතාව අධෛර්යයට පත් කිරීමට හැකියාවක් නම් ලැබුණේ නැහැ.
3. ගීත ගායනා කිරීමේදී ක්ලාන්තය හැදුණු ලතා
අද වන විට තාක්ෂණයේ දියුණුවත් සමග දියුණු ශබ්දාගාරවල ගීත පටිගත කිරීම් සිදුවෙනවා. ගීතයක් පටිගත කිරීමේදී වාද්‍ය මණ්ඩලය සිටීම අත්‍යාවශ්‍ය වන්නේ නැහැ. වාද්‍ය මණ්ඩලයේ පටිගත කිරීම සහ අදාළ ගායකයාගේ හෝ ගායිකාවකගේ පටිගත කිරීම් නිසි පරිදි මිශ්‍ර කිරීමෙන් අවසාන ගීතය නිර්මාණය කරන්න පුළුවන්. නමුත් අතීතයේදී එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. වාද්‍යය මණ්ඩලයේ හෝ ගායක ගායිකාවකගෙ සුළු වරදක් නිසා සම්පූර්ණ ගීතය වතාවන් ගණනාවකදී පටිගත කිරීමට සිද්ධ වෙන්න පුළුවන්. ලතාටත් මේ අත්දැකීමට මුහුණ දීමට සිදුවුණා. ඇය පවසන පරිදි නෞෂාඩ්ගේ සංගීත නිර්මාණයක් සඳහා ගායනයෙන් සහය වද්දී ඇයව ක්ලාන්ත වී ඇද වැටී තිබෙනවා.
4. ඇයගේ ප්‍රියතම සංගීතඥයා
පරම්පරා ගණනක සංගීතඥයන් සමග ලතා මංගේෂ්කාර්ට වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. මුල් කාලයේදී තමන්ට වඩා අතිශයින් වැඩිමහලු පුද්ගලයන්ගේ සංගීත නිර්මාණ වලට දායක වුණු ලතා මංගේෂ්කාර්, අවසන් සමයේ දී සිය මුණුබුරන් තරම් වයසේ සංගීතඥයන්ගේ නිර්මාණ සඳහාත් සිය හඬ ලබා දුන්නා. කෙසේ නමුත් ඇය පවසන පරිදි ඇගේ ප්‍රියතම සංගීතඥයා වන්නේ මදන් මෝහන්. ඔහු හා තමන් අතර පැවතුණේ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු අතර පවතින සෙනෙහසක් බව ඇය පවසා තිබෙනවා.
5. තම ගීත වලට යළි සවන් නොදෙන ලතා
තමන් විසින් ගායනා කරනු ලැබූ කිසිදු ගීතයක් යළිත් ඇසීමට තමන් ප්‍රිය නොකරන බව ලතා මංගේෂ්කාර් පවසා තිබෙනවා. එවැනි අවස්ථාවක් උදා වුවහොත් හැකි තරම් එය මග හැරීමට උත්සාහ කරන බවත්, බැරිම අවස්ථාවකදී බොහෝ අපහසුවෙන් ඉවසා දරා සිටින බවත් ඇය කියනවා. ඊට හේතුව ලෙස ඇය පවසන්නේ තමන්ගේ ගීතයක් යළි ඇසීමේදී එම ගීතය තුළ තමන් විසින් සිදු කරනු ලැබූ වැරදි සිය දහස් ගණනක් තමන්ට ඇසීමට පටන් ගන්නා බවයි. ලතා මංගේෂ්කාර්ගේ නිහතමානීත්වයට මීට වඩා සාධකයක් අවශ්‍ය නැහැයි කියලා අපි හිතනවා.
6. රාජ්‍ය සභාවට ගිය ලතා
ඉන්දියානු පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවට පත් කරන ලද මන්ත්‍රීවරියක් ලෙස සේවය කිරීමේ අවස්ථාව ලතා මංගේෂ්කාර් හට හිමි වුණා. ඇය පවසන ආකාරයට ඇගේ ජීවිතයේ අවාසනාවන්තම වසර හය වන්නේ එම වසර හයයි. තමන් දැඩි අකමැත්තෙන් එම කාර්යය ඉෂ්ට කළ බව ඇය පවසා තිබෙනවා.
7. ආනන්ද සමරකෝන් සහ ලතා මංගේෂ්කාර්
ඔබ දන්නවා ලතා මංගේෂ්කාර් සැඩ සුළං චිත්‍රපටිය සඳහා “ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි” නම් ගීතය ගායනා කළ බව. ඒ සඳහා ඉහළ මුදලක් ඇය විසින් අය කළ අතර ගීතය පටිගත කොට අවසානයේදී චිත්‍රපටය සඳහා සංගීතය සැපයූ ආනන්ද සමරකෝන් වෙත ගිය ඇය එම මුදල ආනන්ද සමරකෝන් ගේ අත තබා ඔහුට වැඳ තිබෙනවා. ඉන් අනතුරුව ඇය පවසා තිබෙන්නේ “සිංහල ගීත ගායනා කිරීම සඳහා තමන් පුහුණු කළ ගුරු ජී ඔහු බැවින්, එයට ගුරු පඬුරු ලෙස මෙය පිළි ගන්නා” ලෙසටයි.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply