බයිට් එකට, ස්නැක් එකට හපන්න ගන්න රසම රස මුරුක්කු වර්ග 7ක් හදාගන්න රෙසිපි

මුරුක්කු කිව්වම ඉතින් නානාප්‍රකාර මුරුක්කු වර්ග තියනවනෙ. බෝල මුරුක්කු , සුදුළූණු මුරුක්කු වගේම දයියා මුරුක්කු, රින්ග් මුරුක්කු, මික්ස්චර් මුරුක්කු මේ ඕන දෙයක් රසකාරක වලින් තොරව ගෙදරදිම හදාගෙන කන්න පුළුවන් රසම රස රෙසිපි ටිකක් තමයි මේ. ඒ වගේම ස්වයං රැකියාවක් විදියට කරන්නත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. වසවිස නැතුව ගෙදරක හදන කෑම වලට ඉල්ලුම දැන් ඕන තරම්. හදලා බලලා රස අපිටත් කියන්න. ඒ වගේම ඔයාලගෙ අදහස් එකතු කරන්නත් අමතක කරන්න එපා.

 

1. සීනි මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 100
  2. ලුණු පින්ච් එකක්
  3. ආප්ප සෝඩා පින්ච් එකක්
  4. කැමති කලරින් වර්ග ටිකක්
  5. තෙල්

 

ෂුගර් සිරප් එකට

 

  1. සීනි ග්‍රෑම් 50
  2. වතුර කෝප්ප කාලක්

 

  • පාන්පිටි වලට ආප්ප සෝඩා සහ ලුණු දාලා කලවම් කරගන්න.
  • වතුර ටික ටික එකතු කරලා මෝලිය හදාගන්න.
  • මේක කොටස් 3කට වෙන් කරගෙන කැමති පාට තුනක් දාගන්න. 
  • දැන් පිටි ටිකක් ඉහලා මේ තුනම වෙන වෙනම තුනී කරගෙන කැමති හැඩයකට කපලා ගැඹුරු තෙලේ බැදගෙන තෙල් බේරෙන්න තියාගන්න.

 

සීනි සිරප් එක හදාගන්න හැටි

 

  • සීනි වලට වතුර ටික දාලා උණු කරන්න. 
  • නූල් ඇදෙන පදමට සීනි මිශ්‍රණය ආවම ඒකට මුරුක්කු ටික දාලා කලවම් කරල ලිප නිවන්න.
  • සීනි ටික මුරුක්කු වටේ සුදු පාටට බැඳිලා වේලුනාම කලවම් කරල කෑලි වෙන් කරගන්න.

 

2. බෝල මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කඩල පිටි ග්‍රෑම් 100
  2. මිරිස්කුඩු මේස හැඳි 1/2
  3. හාල්පිටි මේස හැඳි 2
  4. ආප්ප සෝඩා තේ හැඳි 1/4
  5. ලුණු අවශ්‍ය පමණ
  6. පෙරුම්කායම් (කැමතිනම්)
  7. තෙල් ටිකක්
  8. වතුර කෝප්ප 1
  9. කරපිංචා
  10. හිල් සහිත හැන්දක්

 

  • කඩල පිටි හා හාල්පිටි එකතු කරගන්න. ඒකට මිරිස්කුඩු, ආප්ප සෝඩා හා ලුණු අවශ්‍ය පමණ දාගන්න.
  • හෑන්ඩ් විස්ක් එකෙන් හොඳින් කලවම්  කරගන්න. වතුර කෝප්පය ටික ටික කලවම් කරලා බැටර් එක හදාගන්න.
  • මේක දියාරුත් නැති තදත් නැති ඝනකමට හදාගන්න ඕනේ. ඊට පස්සෙ විනාඩි 10ක් වගේ පිපෙන්න තියලා ආයෙම කලවම් කරගන්න. තෙල් ලිපේ තියලා රත් වෙනකොට හිල් සහිත හැන්ද තෙලට උඩින් අල්ලලා, හදාගත් බැටර් එක හැන්දට වක් කරන්න. එතකොට බිංදු වගේ තෙලට වැටෙනවනම් පදම හරි.
  • ඝනකම වැඩි නම් තව වතුර ටිකක් දාගන්න. වතුර වැඩි කරගන්න එපා. ඒක පරිස්සමින් කරගන්න ඕනෙ. ඒ විදිහට මුළු මිශ්‍රණයම රන්වන් පාට වෙනකල් බැදගන්න.
  • කරපිංචා ටික වෙනම ගැඹුරු තෙලේ බැදගෙන, බැදගත් මුරුක්කු වලට ලුණු කුඩු එක්ක මිශ්‍ර කරගන්න.

 

3. පනා කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන් පිටි 500g
  2. පොල් කිරි කෝප්ප 1
  3. බිත්තර 1
  4. කහකුඩු ස්වල්පයක්

 

සීනි පැණිපත් කිරීම සදහා

 

  1. සීනි 100g
  2. වතුර 

 

  • මුලින්ම පිටි, බිත්තර, කහකුඩු දමා එයට පොල් කිරි දමා අනාගන්න. අතේ නොඇලෙන ගා​ණට පිටි ගුලියක් ආකාරයට එනතෙක් හොඳින් අත් ගසා පිටි ගුලිය සකසා ගන්න. වතුර දාන්න එපා.
  • පිටි මෝලිය පැයක් විතර තෙත මිරිකගත්ත රෙදි කඩකින් වසා තබන්න.
  • ඉන්පසු ගෑරැප්පුවක් ගෙන එහි පිට පැත්තට පිටි ගුලියෙන් කෑල්ලක් ගෙන තබා තද කර කොනක සිට රෝල් කරන්න. මේ ආකාරයට සියල්ලම සකසා ගන්න.
  • ඉන්පසු බටර් ගෑ තැටියක් ගෙන එයට එකින් එක අසුරන්න. මෙය  සෙල්සියස් අංශක 200 උෂ්​ණත්වයට විනාඩි 50ක් පුළුස්සා ගන්න. බේක් නොකර ගැඹුරු තෙලේ බැදගන්නත් පුළුවන්.

 

  • සීනි සිරප් එකට භාජනයක් ගෙන එයට සීනි දමා, වතුර සීනි යන්තම් පෙඟෙන ගාණට දමා මද ගින්දරේ ලිපේ තියා හැඳිගන්න.
  • බුබුලු දමා උඩට එනතෙක් ලිපේ තියා හැඳිගාන්න.
  • මෙය විනාඩි 15ක් පමණ කළ යුතුයි. ද්‍රාවණය උකු ගතියට එන තෙක් හැඳි ගාන්න. ඒ කියන්නේ නුල් ඇදෙන පදම වන තෙක්.
  • වතුර වීදුරුවකට මේ ද්‍රාවණයෙන් ටිකක් දැමූ විට යටට ගිලෙනවා නම් අන්න පදම හරි. 
  • දැන් බේක් කරගත් පනා කැවුම් ටික දමා හැඳි ගාන්න. ඉන්පසු ලිප නිවා දමන්න.

 

5. රින්ග් මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල්පිටි කෝප්ප 1
  2. වතුර කෝප්ප  1
  3. උඳුපිටි මේස හැඳි 2
  4. මිරිස්කුඩු මේස හැඳි 2
  5. කහකුඩු තේ හැඳි 1/2
  6. සූදුරු පින්ච් එකක්
  7. ලුණු

 

  • වතුර කෝප්ප 1ක් ලිපේ තියලා ඒකට මිරිස්කුඩු, කහකුඩු, සූදුරු හා ලුණු දාලා නටන්න දෙන්න. වතුර නටනකොට හලාගත් හාල්පිටි හා උඳුපිටි එකතු කරන්න. 
  • ඉඳිආප්ප මිශ්‍රණය වගේ එකට එකතු වෙලා ඩෝ එකක් හැදුනම ලිප ඕෆ් කරගන්න.
  • දැන් අතින් මුදු වගේ මුරුක්කු හදාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
  • උණුවෙන් තියෙද්දිම මිරිස්කුඩු හා ලුණුකුඩු ටිකක් උඩින් ඉහගන්න.

 

5. රවුම් මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල්පිටි කෝප්ප  2
  2. කඩල පිටි කෝප්ප  1
  3. මිරිස්කුඩු මේසහැඳි 2
  4. ලුණු

 

  • හාල්පිටි ටික පොඩ්ඩක් කබලේ බැදගෙන ඒකට කඩල පිටි, මිරිස්කුඩු, ලුණු දාලා වතුර ටික ටික දාලා අනාගන්න.
  • ඉඳි ආප්ප මිශ්‍රණයේ පදමට ආවම මුරුක්කු වංගෙඩියට හරි, පයිපින් බෑග් එකකට මුරුක්කු නොසල් එකක් දාගෙන හරි රවුමට ‍රත් වුන තෙලට වක්කරගෙන රන්වන් පාටට බැදගන්න

 

6. වට්ටක්කා මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් වට්ටක්කා කෝප්ප 1
  2. හාල්පිටි ග්‍රෑම් 100
  3. මිරිස්කුඩු මේස හැඳි 2
  4. කහකුඩු තේ හැඳි 1/2
  5. සූදුරු පින්ච් එකක්
  6. කරපිංචා

 

  • වට්ටක්කා වල පොත්ත අයින් කරලා හාල්පිටි, මිරිස්කුඩු හීනියට ලියාගත් කරපිංචා, කහකුඩු, සූදුරු හා ලුණු දාලා අනාගන්න.
  • වතුර ටික ටික දාලා මෝලියක් හදාගන්න.
  • දැන් මේක මුරුක්කු වංගෙඩියකට දාලා රත් වුණු තෙලට රවුමට වක්කරගෙන රන්වන් පාටට බැදගන්න.

 

7. සුදුළූණු මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හාල්පිටි කෝප්ප  2
  2. කඩල පිටි කෝප්ප 1
  3. බටර් මේස හැඳි 1
  4. සුදුළූණු බික් 12-15
  5. මිරිස්කුඩු මේස හැඳි 2
  6. කහකුඩු තේ හැඳි 1/2
  7. ලුණු

 

 

  • සුදුළූණු බ්ලෙන්ඩර් එකට දාලා වතුර ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් මේක පෙරලා යුෂ ටික විතරක් අරගන්න.
  • හාල්පිටි, කඩල පිටි භාජනයකට දාලා මිරිස්කුඩු, ලුණු, කහකුඩු සහ බටර් දාලා කලවම් කරලා සුදුළූණු යුෂ ටිකෙන් ටික දාලා අනාගන්න.
  • වතුර ටික ටික එකතු කරලා ඩෝ එක හදාගන්න. 
  • මුරුක්කු වංගෙඩියෙන් රවුමට පයිප් කරගන්න. ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *