ඕනම පවුලක ඥාති දරුවෝ අතරේ කැපිල පේන ඩයල්ස් ටික

ඕනෙම පවුලක් ගත්තොත් ඉතින් දානයක්, මරණයක් නැත්තම් මඟුල් ගෙයක් උනත් වැඩේට සෙට් වෙලා වැඩේ ගොඩ දාන සුපිරිම සෙට් එකක් තමයිනෙ ඥාති දරුවො සෙට් එක. ඒ කිව්වේ පවුලේ කසින්ස්ලා සෙට් එක. ඔන්න ඔය පොඩිම පරම්පරාවෙ ඥාති සහෝදර සහෝදරියො එකට සෙට් වෙලා මොන දේ ක​ළත් ඔය එකතුවෙන හැම වෙලාවකම හීනියට යටින් තියෙන තරඟයක් මේ ඔක්කොමලා අතරේ නැතුවම නෙමෙයි. තමන්ටම ආවේණික ක්‍රමයකට කොහොමහරි කැපිල පේන්න තමයි ඔය කොයි එක්කෙනත් ට්‍රයි කරන්නෙ. සෙට් එකේ කැපිල පේන ඩයල් එක නැත්තම් පොර වෙන්න කව්ද ඉතින් අකමැති. අම්මලත් ඉතින් මේකට උපරිම සප් එක දෙනව තමන්ගෙ එකා සෙට් එකේ උඩින්ම තියාගන්න. ඉතින් බලමුද කව්ද මේ ඕනම පවුලක වැඩියම කැපිල පේන කට්ටිය කියල?

 

 

1. බියුටි ක්වීන්/ හැන්ඩි බුවා

ඔන්න ඔය ඕනම පවුලක ලොකුම තරඟයක් තමයි දරුවන්ගෙ බාහිර පෙනුම. ඉස්සරනම් මේක තනිකරම උපතින් එන පෙනුම මතම තමයි තීරණය උනේ. අම්මේ ඒකට දැන්. උපන් කැත වහන්න කොයි තරම්නම් ක්‍රම තියෙනවද ඉතින්. ඔය කොයි දරුවත් දඟලන්නෙ සැලෝන් එකක් පැත්තෙ ගිහින් ෆුල් පොලිශ් වෙලා බියුටි කප් එක ගහන්න තමා. කොල්ලෙක්නම් ටැටූ එකක් කාරිය ගහල, ජිම් එකට විසිට් එකක් දාල ලස්සනට ඇඟ හදාගෙන සෙට් එකේ හැන්ඩිම බුවා වගේ කැපිල පේන්න තමයි.

 

 

2. බ්‍රයිට් කේස් එක 

ඔන්න අම්මලාගේ ලොකුම තරඟය. මොන්ටිසෝරියෙ ඉඳන්ම කොහොමහරි දඟලන්නෙ අක්කගෙ, අයියගෙ, නෑනගෙ, මස්සිනාගෙ ළමයට වඩා මගේ එකා ලකුණක් හරි වැඩියෙන් අරගන්න ඕනම කියල ඔලුවෙ තියාගෙන තමයි. පොඩි එකා මරවල හරි විභාග ටික පාස් කරවගන්න එපැයි ඉහළින්ම. ඔන්න කොහොමින් හරි ඔය පොඩි අවධිය පහුවෙලා තේරෙන වයසට ආවමත් පවුලේ දරුවො අතරෙ හොඳින්ම ඉගෙන ගන්න එක්කෙනා ඉන්නව නේද. මෙන්න මෙයාට ලොකු ප්ලේස් එකක් තියෙනව සෙට් එකේ. කට්ටිය වැඩිය නොපෙන්නුවට ගෙවල් වල ගියාම අම්මලා උණත් බනින්නෙ ඉතින් “අන්න අරය වගේ උබට බෑනෙ” කියල තමයි.

 

 

3. නසරාණියා 

මෙයා තමයි පවුලෙ ඉන්න අයිආර්සී ඩයල් එක. ආයෙත් ඉතින් මැරකම්ද, හොර වැඩද, ගුටි බැටද ඕන එකකට ඔට්ටුයි. මේ ගණයට හුඟක්ම වැටෙන්නෙ කොල්ලෙක් තමයි. ගමේම අයියලා සෙට් එකත් එක්ක මචං ෆිට් එකක් හදාගෙන ලොකු සීන් එකෙන් ඉන්න මෙහෙම ඩයල් එකක් ඔය ඕනම පවුලක ඉන්නව වගේම තමයි මෙයාලගෙන් ප්‍රයෝජන ගන්න වෙන වෙලාවලුත් අනිත් ඥාති සහෝදර සහෝදරියන්ට නැතුවම නෙමෙයි. කාට හරි අකරතැබ්බයක් උන වෙලාවට ඉදිරිපත්වෙලා ඒක ලිහල දෙන්නත් මේ අයියලා නම් හරිම කැමතියි. කොච්චර නසරාණියා උණත් පවුලටනම් හිතවත්.

 

 

4. අති පණ්ඩිත 

මෙන්න මේ ජාතියෙ බුවාලනම් කාටත් වැඩක් නෑ කිව්වට වරදක් නැහැ. දන්න දේකුත් නැති, නොදන්න බවක් පිළිගන්නෙත් නැති, කොයි වෙලාවෙත් පොර ටෝක්ස් දෙන උන්දැලා තමයි මේ සෙට් එකට වැටෙන්නෙ. කියවන්න ගියාම කෙලවරකුත් නැහැ. අන්තිමේ වැදගත් දෙයක් කියලත් නැහැ. පවුලෙ ඉන්න අනික් ඔක්කෝමටම වඩා එයා තමයි පොර කියල තමයි මේ කට්ටිය හිතන් ඉන්නෙ ඔන්න. අනිත් එක්කෙනෙක් තරම්වත් කවුරුවත් ගණන් ගන්නෙත් නැහැ මෙයාලවනම්.

 

 

5. අහිංසකම ඩයල් එක 

ඕනම පවුලක ඉන්නවා මේ අහිංසක කැටගරි එකට වැටෙන කාටත් කරදරයක් හිරිහැරයක් නැති දරුවෙක්. ඇල් වතුරත් නිවල බොන ජාතියෙ. මුලු පවුලෙම වැඩිහිටියන්ට ඔලුව නමාගෙන, කියන දෙයක් අහගෙන පාඩුවෙ යන තැනක දෙන වැඩක් කරල යන එක තමයි මෙයාලගෙ විදිහ. අනේ කවුරුහරි බැන්නත් වෙනසක් නැහැ. මෙන්න මෙයත් පවුලෙ අනිත් දරුවන්ට අම්මලා දේශනා දෙනකොට උදාහරණෙට ගන්න ජාතියෙ එක්කෙනෙක්. හැබැයි අහිංසකකම වැඩි නිසාම අනික් දරුවො අතරේ ලොකුම බයිට් එක වෙන්නෙත් මේ අසරණ උන්දැලම තමයි. ඒ අතින් බැලුවම පවුලේ අහිංසක චරිතේ වෙන එකනම් කීයටවත් වාසියක් නෙමෙයි ඔන්න. 

 

 

6. ගුණ යහපත්ම එකා 

ඔන්න ඊළඟ පවුලේ පොදු උදාහරණය. අහිංසක ඩයල් එක වගේම හැමෝගෙම ළමයින්ට මෙයාව ටොකු ඇන ඇන පෙන්නන්න අනික් අම්මලා දෙපාරක් හිතන්නෑ. හැබැයි අහිංසක ළමයට වඩා මෙයා සැහෙන්න ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඒ කිව්වේ ඔළුව නමන් ඉන්න ජාතියේ නම් නෙමෙයි කියන කියන එකට. මේ දරුවා අපරාදෙ කියන්න බෑ සියළුම යහපත් ගතිගුණ දෝතින් දරාගෙනම තමයි ජීවත් වෙන්නෙ. පවුලේ විතරක් නෙමෙයි, සමාජයේම ආදර්ශමත් විදිහට. නරකයි කියල සම්මත කිසි දෙයක් කරන්නෙ නෑ. ඉතින් විශේෂ ලස්සනක්, හැකියාවක් නැතත් පවුලේ හැමෝගෙම ආදරේනම් නොඅඩුව ලැබෙනව මේ කියන ටයිප් එකේ දරුවන්ට.

 

 

7. ඕල් රවුන්ඩර් 

ඉඳලා හිටලා පවුලක ඔය ඔක්කෝම ලක්​ෂණ තියෙන ඕල් රවුන්ඩර් ඩයල් එකකුත් නැතුවාම නෙමෙයි. ලස්සන උපරිමයි, දක්​ෂතාවය ඒත් එහෙමයි. ඉගෙන ගන්න ගියාම, බාහිර වැඩ වලට ගියාම, ක්‍රීඩා ඔය හැමදේකින්ම නම්බර් වන්. ඒ වගේම තමා වලි කාපර් කෙනෙක් නොවුනත් අවශ්‍ය තැනදී අසාධාරණේදී එහෙම කට පියාගෙන ඉන්නෙනම් නැහැ. කාට උණත් උදව් කරගෙන කාටත් කරදරයක් නොවී ඉන්නත් දන්නව. මේ දවස්වල ප්‍රසිද්ධ ටෙලි නාට්‍යවලත් ඉන්නවනෙ ඔය සියලු ගුණ යහපත්කම් දරාගෙන, දෙමව්පියන්ව, නෑදෑයන්ව බැලන්ස් කරගෙන, ඉස්කෝලෙ ගිහින් සුපිරියට ඉගෙනගෙන සියල්ලෙන්ම ඉස්සරහින් ඉන්න ඕල් රවුන්ඩර් චරිත. හැබෑ ජීවිතේදිනම් මේ දවස්වල වඳවීයාමේ තර්ජනයකට ලක්වෙලා නිසා මෙයාල කළුනික තරම්ම දුර්ලභයි. බේතකටවත් හොයාගන්න හරිම අමාරුයි. ගන්න ගන්න එකාගේ ඔය මොකක්ම හරි කොලිටි එකක අඩු පාඩුවක් තියෙනවම තමයි. කොහොමහරි අපේ ලයිෆි කියවන නංගිලා මල්ලිලා හිතට ගන්න ඕන අද ඉඳන් හරි මම පවුලේ ඕල් රවුන්ඩර් වෙනව කියල ඔන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *