අන්තර්ජාලය කියන්නේ අමුතු තැනක් නේ. ඕකේ අමුතු ගතිය දෙපිටින් යවන්නේ සෝෂල් මීඩියා තමයි. කාලෙන් කාලෙට එක එක වැඩ කිඩ මේවයේ සිද්ධ වෙනවා. සමහර දේවල් ලීක් වෙනවා, සමහරු බයිට් වෙනවා, සමහරු ඒ අස්සේ සල්ලි හොයනවා, එහෙමත් එකෙක් මොකක් හරි දැනුමක් මේවා භාවිත කරලා ලබාගන්නවා. ඒ ඔක්කොමත් හරි දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියනවා එක එක අභියෝග සම්බන්ධයෙන්. කරේ නැතා කියලා කවුරුත් මුකුත් කියන්නේ නැහැ. හැබැයි අර රැල්ලට ද මන්දා සෝෂල් මීඩියාවල ඉන්න අපේම ඈයෝ අපිට දෙන නොදෙන අභියෝග භාරගන්න මිනිස්සු පෙළඹිලා. ඒක ලෝකයේම උන්මාදයක් වෙලා දැන්. මේ කියන්න යන්නේ කාලෙන් කාලෙට සෝෂල් මීඩියා හොල්ලපු ඒ විදිහේ චැලෙන්ජස් 7ක් ගැනයි.
1. Harlem Shake Challenge
හාලම් ෂේක් එකේදී වෙන්නේ එලෝ මෙලෝ නැතුව නටන එක තමයි. නැටිල්ල සම්බන්ධයෙන් අන්තර්ජාලය හොල්ලපු මේ අභියෝගය දැන් ඉන්ටර්නෙට් මීම් එකක් වෙලා ඉවරයි. මෙන්න මේ සින්දුවේ එක තැනක දී “Do the Harlem Shake” කියලා කියනවා.
ඊට පස්සේ එන බීට් එකට ගැන්සි ගැහිලා නටන එක තමයි මෙතන දී සිද්ධ වුණේ. කොයි තරම් මේක අන්තර්ජාලය කැළඹුවාද කියනවා නම් හාලම් ෂේක් වීඩියෝස් යූටියුබ් එකේ විතරක් 12,000කට වඩා තියෙන බව වාර්තා වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධ දේවල් හොයන්න මිනිස්සු කොච්චර පෙළඹුණාද කියලා කිව්වොත් දවස් 40කින් ඒ සම්බන්ධව මිලියන 40කට වඩා හොයලා තියනවා. ලංකාවේ අපිත් අභියෝගය භාරගත්තා.
2. Ice Bucket Challenge
අයිස් බකට් චැලේන්ජ් එක ලංකාවෙත් හරි හරියට ජනප්‍රිය වුණා. ස්නායු ක්ෂය වීමේ රෝගයක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන එකත්, ඒ සම්බන්ධ පර්යේෂණ සඳහා උනන්දුවක් ඇති කිරීම වගේම ඒ රෝගීන් සඳහා මුදල් ආධාර දෙන්න ඉදිරිපත් වෙන තරමට අයිස් බකට්ටුව දුර ගියා. මෙතන දී වෙන්නේ අයිස් වතුර බකට්ටුවක් ඔලුවේ ඉඳන් හලාගන්න එකයි. ෂවර් එකට ඔලුව අල්ලනකොටත් දෙයියෝ සිහි වෙන එකේ අයිස් වතුර සෙට් වුණාම කොහොමද සැප! මේකට ලෝකය පුරා ජනප්‍රිය ක්‍රීඩකයන්, රංගන ශිල්පීන් වගේම දේශපාලන නායකයොත් එකතු වුණා. බකට්ටුව හලාගන්න කලින් කාට හරි චැලේන්ජ් කරන්න පුළුවන්.
3. Mannequin Challenge
මැනෙකින් චැලේන්ජ් කියන්නේ 2016 අවුරුද්දේ ට්‍රෙන්ඩ් වුණ, ඒත් තාමත් ඉඳලා හිටලා දකින්න ලැබෙන අභියෝගයක්. මැනෙකින් කියන්නේ ඩමියකට. ඉතින් ඇත්තටම මෙතැනදී වෙන්නේ සින්දුවක් පසුබිමින් ඇහෙන අතරේ ඩමියක් වගේ ඉන්නයි. වැඩේ තියෙන්නේ ඒක ලස්සනට වීඩියෝ කරන එක සහ පුංචිම හරි චලනයක් දෙන්නේ නැතුව ඉන්න පුළුවන් ද කියන එක මතයි. ගොඩක් මැනෙකින් වීඩියෝස්වල පසුබිම් සංගීතය වුණේ “Black Beatles”. හැබැයි පස්සේ තමන්ට කැමති ගීතයක් කට්ටිය භාවිත කරා.
4. Cinnamon Challenge
සිනමන් චැලේන්ජ් එක දෙයියන්ගේ නාමෙට අපේ රටේ ඒ තරම් ජනප්‍රිය වුණ එකක් නෙවෙයි. මොකද මේක අතිශය භයානක නිසා. මෙතනදී වෙන්නේ හැන්දක් පිරෙන්න කුරුඳු කුඩු කන වීඩියෝවක් පටිගත කරලා මුදා හරින එකයි. උගුර ආශ්‍රිතව සෑහෙන අපහසුතා ඇති වෙන්න තියෙන අවදානම වැඩි වුණත්, අභියෝගයක් භාරගන්න තියන උණට ගොඩක් තරුණ තරුණියෝ මේක කරන්න පෙළඹුණා. අන්තිමේදී උගුර නැතුව තමයි චැලේන්ජ් එක ඉවර වුණේ.
5. PadMan Challenge
මේක අසල්වැසි රටෙන් මතු වුණ ඉතාම සංවේදී කාරණයක් සම්බන්ධයෙන් පටන් ගත්ත අභියෝගයක්. කාන්තාවන්ට මාසිකව සිදුවෙන ඔසප් වීම ඉන්දියාව සහ අඩු වැඩි වශයෙන් අපේ රටෙත් කුණුහරුපයක්, එහෙමත් නැත්තම් හිනා වෙන්න කාරණයක් ගාණට සැලකෙනවා. ඒක සම්පුර්ණයෙන්ම ස්වාභාවික දෙයක් බවත්, ලැජ්ජා වෙන්න දෙයක් නෙවෙයි කියලත් ලෝකයට කියන අවශ්‍යතාවෙන් මේකේ ආරම්භය ඇති වුණේ ඉන්දියාවේ නළු නිළියන් අතරයි. මෙතනදී සනීපාරක්ෂක තුවායක් සමග ගත්ත ඡායාරූපයක් සමාජ ජාලවලට මුදා හැරීමයි සිද්ධ කරන්නේ. මේ අවුරුද්දේ තිරගත වුන Pad Man චිත්‍රපටය තමයි මෙහි මූලය.
6. Hot Pepper Challenge
මේකත් කුරුඳු කෑවා වගේ තමයි. සැර මිරිස් කරලක් අරගෙන කන්නයි තියෙන්නේ. කන්න කලින් පියවර කීපයක් තියනවා. කන්න කලින් තමන්ව, තමන්ට අභියෝගය භාර දුන්න අයව, තමන් අභියෝග කරන්න හිතන් ඉන්න අයව වගේම කන මිරිස් කරල ගැනත් කියලා ඉන්න ඕනි. සමහරු ආරක්ෂක පියවරක් විදියට ශීතකළ කිරි නැත්නම් මොනා හරි පැණි රහ දෙයක් ළඟ තියාගන්නවා. සමහර අයට උගුරේ ආසාදන තත්ත්ව පවා ඇති වෙලා තියනවා. ලංකාවේ අමු මිරිස් චැලේන්ජ් කියලා තිබ්බෙත් මේක තමයි.
7. Kiki Challenge
මේ දවස්වල ලෝකේ පුරාම වසංගතයක් වගේ පැතිරෙන චැලේන්ජ් එක තමයි මේ. ඩ්‍රේක් කියන ගායන ශිල්පියාගේ “In My Feelings” කියන ගීතයට කරන නැටුමක්. හැබැයි මේකට වාහනයක් අවශ්‍ය කරනවා. ඒකෙන් එළියට පැනලා තමයි නටන්නේ. නටනවා කියලා කාවඩි වගේ නෙවෙයි, බොහොම ශාන්තව කරන්න ඕනි වැඩක්. මේකෙන් සතුටක් ගන්නවා වගේම සෑහෙන අනතුරුත් වෙලා තියනවා.
Cover Image Source – timcalkins.com
Leave a Reply