පුළුන් වගේ සොෆ්ට් ස්පොන්ජ් කේක් රෙසිපි 5ක්

ස්පොන්ජ් කේක් නමින්ම ඉතින් ස්පොන්ජ් එකක් වගේ තමා. මේ වර්ගයට එකතු කරන්නෙ සීමිත අමුද්‍රව්‍ය ටිකක්. ස්පොන්ජ් කේක් වලට සාමාන්‍යයෙන් බටර් දාන්නෙ නෑ. ඒත් අලුත් අලුත් රෙසිපි හැදෙනකොට යොදාගන්න අමුද්‍රව්‍ය සමහරක් වෙනස් වෙනවා. ඒ නිසා බටර් එක් කරගන්න ස්පොන්ජ් කේක් රෙසිපිත් තියෙනවා. අද අපි කියලා දෙන්න යන්නෙ එක එක රසින් හදන්න පුළුවන් රසම රස ස්පොන්ජ් කේක් ටිකක් ගැනයි.

 

1. හාල් පිටි ස්පොන්ජ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හාල් පිටි 250 g
  2. සීනි 260g
  3. බිත්තර 8
  4. බේකින් පවුඩර් තේ හැඳි 1/2
  5. ලුණු කුඩු තේ හැඳි 1/2
  6. වැනිලා තේ හැඳි  2

 

  • බිත්තර හොඳින් ගසා ගන්න. බිත්තර වලට ලුණු කුඩු හා සීනි එක්කර සීනි හොඳින් දියවෙනකන් විස්ක් එකකින් ගසා ගන්න. (බීට් කරන්න එපා) 
  • හොඳින් උතුරවාගත් උණුවතුර භාජනයක් උඩින් බිත්තර මිශ්‍රණය දාපු බෝල් එක තියලා විනාඩි 10 -15ක් විතර එක දිගට  කැටි නොගැහෙන්න විදිහට විස්ක් කරන්න. එතකොට මේ මිශ්‍රණය හොඳට තද කහ පාටකට හුරුව යාන්තමින් උකු ගතියක් තියෙන මිශ්‍රණයක් වෙනවා. 
  • දැන් මේ බිත්තර මිශ්‍රණය හොඳින් බීට් කරන්න. එය උකු ක්‍රීම් එකක් මෙන් එනතුරු  බීට් කරන්න. එයට වැනිලා එකතු කරන්න. 
  • පිටි හා බේකින් පවුඩර් එකට හලා ගන්න. බිත්තර මිශ්‍රණයට පිටි එක්කර පරිස්සමින් පෙරලමින් වික්ස් කරන්න. බීට් කරන්න එපා. බීට් කළොත් මිශ්‍රණයේ ප්‍රමාණය අඩුවෙනවා.  මෙය ක්‍රීම් එකක් විදිහට එයි. මේ බැටර් එක තැටියකට දලා සෙල්සියස් 170° කට විනාඩි 25 -30 ක් බේක් කරගන්න. 

 

2. බිත්තර රහිත චොක්ලට් ස්පොන්ජ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි 350g
  2. සීනි 375g
  3. බේකින් සෝඩා 10g
  4. කොකෝවා පවුඩර් 40g
  5. ලුණු කුඩු තේ හැඳි 1
  6. එළවළු තෙල් 150ml
  7. වැනිලා තේ හැඳි 1
  8. ෆ්‍රෙෂ් මිල්ක් 450ml

 

  • අවන් එක සෙල්සියස් 175°ට ප්‍රීහීට් වෙන්න තියන්න. පාන්පිටි, සීනි, බේකින් සෝඩා, කොකෝවා පවුඩර් ලුණු කුඩු  ලොකු බෝල් එකකට දාගෙන හොඳින් මික්ස් කරන්න. 
  • ඊළඟට තෙල්, වැනිලා හා ෆ්‍රෙෂ් මිල්ක් වෙන බෝල් එකකට දා ගෙන හොඳින් විස්ක් කරන්න. ඒ මිශ්‍රණයටම පිටි මිශ්‍රණයත් එක් කරන්න. හොඳින් මිශ්‍ර කරන්න . 
  • සදා ගත් බැටර් එක ට්‍රේ එකට දාලා  විනාඩි 30 -35 ක් බේක් කරන්න. 

 

3. වැනිලා ස්පොන්ජ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බිත්තර සුදුමද 5
  2. බිත්තර කහමද 5
  3. ක්‍රීම් ඔෆ් ටාටාර් තේ හැඳි 1/2
  4. සීනි 100g
  5. පාන් පිටි 100g
  6. එළවළු තෙල් 50ml
  7. කිරි 60ml
  8. වැනිලා තේ හැඳි 1

 

  • අවන් එක සෙල්සියස් 180° ට ප්‍රීහීට් වෙන්න තියන්න. පාන් පිටි හලා ගන්න. තෙල් හා කිරි මිශ්‍ර  කරලා වෙනම භාජනයකට දාගෙන එය පැත්තකින් තියන්න. 
  • මුලින්ම බිත්තර සුදුමද භාජනයකට දාලා බීට් කරන්න. ටිකකින් ක්‍රීම් ඔෆ් ටාටාර් දාලා හයිස්පීඩ් බීට් කරන්න. සීනි වලින් භාගයක් මේකට දාලා හිම වගේ ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. 
  • වෙනම බෝල් එකක බිත්තර කහමද වලට ඉතිරි සීනි එකතු කරලා විස්ක් කරගෙන සුදුමද මිශ්‍රණයට එකතු කරලා ස්පැතූලා එකකින් එහා මෙහා පෙරලා ගන්න. 
  • දැන් පිටි ටික ටික එකතු කරමින් කළවම් කරගන්න. වැඩිය වේගෙන් කළවම් කරන්න එපා. කලින් මිශ්‍ර කර ගත් කිරි හා තෙල් මිශ්‍රණය එක්ක වැනිලා මේ කේක් මිශ්‍රණයට එක් කර පෙරලමින් මිශ්‍ර කරගන්න. කේක් මිශ්‍රණය තැටියකට දාලා විනාඩි 30 ක් බේක් කරගන්න. 

 

4. කොට්න් ස්පොන්ජ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ෆ්‍රෙෂ් මිල්ක් 80ml
  2. සුදු පොල්තෙල් 50ml
  3. තිරිඟු පිටි 80ml
  4. බිත්තර 5 (බිත්තර කහමද හා සුදුමද වෙන වෙනම ගන්න)
  5. බ්ලෙන්ඩ් කරගත් සීනි 70g
  6. වැනිලා තේ හැඳි  1

 

  • බෝල් එකකට සුදු පොල්තෙල්, ෆ්‍රෙෂ් මිල්ක් හා බිත්තර කහමද දාලා බීට් කරන්න. පිටි ටිකෙන් ටික එක් කරමින් බීට් කරගන්න. 
  • දැන් වෙනම භාජනයකට බිත්තර සුදුමද හා බ්ලෙන්ඩ් කර ගත් සීනි දාලා විනාඩි 10 ක් විතර හොඳින් බීට් කරන්න. මේ අතරතුර අවන් එක සෙල්සියස් 175° ට විනාඩි 10 ක් විතර ප්‍රීහීට් වෙන්න තියන්න. 
  • ඊළඟට බිත්තර කහමද මිශ්‍රණයට සුදුමද මිශ්‍රණය දාගන්න. ඒකටම වැනිලා ටිකත් දාන්න. ස්පැතූලා එකකින් මිශ්‍රණය හරවමින් කළවම් කරන්න. මේ බැටර් එක බේකින් ට්‍රේ එකට දාගන්න.  
  • වෙනම තැටියකට උණුවතුර ටිකක් දාල කේක් මිශ්‍රණය දාපු තැටිය ඒ මත තියලා විනාඩි 40 ක් බේක් වෙන්න තියන්න. 

 

5. වැනිලා කස්ටඩ් ස්පොන්ජ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බිත්තර 2
  2. සීනි කොප්ප ½
  3. එළවළු තෙල් කෝප්ප 1/2
  4. පාන්පිටි කෝප්ප 1
  5. කස්ටඩ් පවුඩර් මේස හැඳි 2
  6. බේකින් පවුඩර් තේ හැඳි 1
  7. බේකින් සෝඩා තේ හැඳි 1/2
  8. කිරි කෝප්ප 1/2
  9. වැනිලා තේ හැඳි 1
  10. කහ වර්ණක බින්දු කිහිපයක් (අනිවාර්යය නැහැ)

 

  • බ්ලෙන්ඩර් එකට බිත්තර, සීනි හා ඔයිල් දාලා ස්මුත් බැටර් එකක් එනකන් බ්ලෙන්ඩ් කරගන්න. 
  • පාන්පිටි, කස්ටඩ් පවුඩර්, බේකින් පවුඩර්, බේකින් සෝඩා එකට මිශ්‍ර කරලා හලාගන්න. කලින් බ්ලෙන්ඩ් කරගත් බැටර් එක වෙන පෑන් එකකට දාලා, හලා ගත් පිටි ටික එක් කරන්න. 
  • එයට කිරි ටිකෙන් ටික එක් කරමින් හොඳින් කළවම් කරන්න. එතකොට ස්මූත් බැටර් එකක් එයි. දැන් ඒකට වැනිලා එක් කරන්න. අවශ්‍ය නම් කහ වර්ණක බින්දු කිහිපයක් එක් කරගන්න. 
  • බැටර් එක හොඳින් මික්ස් කරන්න. දැන් බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දාලා සාදාගත් බැටර් එක එයට දාගන්න. ප්‍රීහීට් කරගත්ත අවන් එකක සෙල්සියස් 180°කට විනාඩි 25-35ක් විතර බේක් කරගන්න.
  • නැත්නම් පෑන් එකක් ගෙන එය පියන වසා විනාඩි 5ක් විතර මධ්‍යම ගින්නෙන් හීට් වෙන්න තියන්න. විනාඩි 5කට පස්සේ පෑන් එක ඇරලා බැටර් එක දාපු ට්‍රේ එක තියලා පියන වසා මද ගින්නෙන් විනාඩි 25 ක් -35 ක් විතර පිසගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *