සාමාන්‍යයෙන් කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි හිටියත් නොහිටියත්, තමන්ට කසාදයක් කරගන්න කල වයස හරි කියලා තේරුම් ගන්න පුලුවන් මීටරයක් අපි ඕනැම කෙනෙක්ගේ ජීවිත වල තියෙනවා. ඒ තමයි නැන්දගේ, මාමගේ, අහල පහල උන්දැලගේ කන්දොස්කිරියාව. “බඳින්නෙ නැද්ද බඳින්නෙ නැද්ද” කියලා සද්දෙකින් තමයි මේ මීටරේ වැඩ කරන්නේ. ඔය වෙලාවට හිතෙනවා තමයි ඒ කිව්ව මීටර් ටික අල්ලලා මාළුන්ට කන්න දාන්න. හැබැයි ඉතින් කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එක්ක ආදර නදිය සොයා ගිහින්, පෙම් ගඟුලේ දිය බුං ගහන අයියලා අක්කලාට තමන්ගේම මීටරයක් තියෙන්න ඕන දෙන්නත් එක්ක කෙදිනකද කූඩු හදන්නේ කියලා තේරෙන්න. ආන්න ඒ ඔටෝ මීටරේ හරියට වැඩ නැති අයට මැනුවල් එකෙන් පෙළවහට කාලේ හරි කියලා දැනගන්න කරුණු කීපයක් තමයි මේ කියන්න යන්නේ!
1. මදි මදි වගේ!

Source – slawawalczak.com
දැන් ඔය දීර්ඝකාලීනව පැවතෙන ආදර සම්බන්ධතාවයක් ඇතුළේදී ආයෙ අමුතුවෙන් දෙන්නට දෙන්නා හොයාගන්න දෙයක් නෑ. ප්‍රායෝගිකව බලනකොට දෙන්නට දෙන්නා ගැන නොදන්න දෙයක්වත්, නොදැක්ක දෙයක්වත් නැති ගාණට දෙන්නාගේ සම්බන්ධය තර වෙනවා. හැබැයි ඒ වෙනකොට මේ හැමදාම වීක් එන්ඩ් එකේ පිචර් එකක් බලන්න යන එකෙත්, ගෝල්ෆේස් එකේ ඉස්සො වඩේ කන්න යන එකෙත්, ඉඳලා හිටලා ජිංකි ජිකා එකකට යන එකෙත් ලොකු ගතියක් නැති වෙනවා. හැබැයි දෙන්නට දෙන්නා නැතුවත් බෑ. ආන්න ඒ කාලේ වෙනකොට දෙන්නත් එක්ක එක කූඩුවකට වෙන්න කාලේ හරි කියන එක තේරුම් ගන්න ඕනා. එතකොට ඔය රස වුනත් හැමදාම කන බර්ගර් එක ගාණට වැටිලා තියෙන දෙන්නගේ සම්බන්ධේත් අලුත් වෙනවා.
2. එයා නැතුව ඉන්ඩ බෑ!

Source – pinterest.com
ඇත්තටම මේක තමයි පළමුවෙනි හේතුව වෙන්න ඕන. දැන් ඇයි කවුරුහරි දෙන්නෙක් කසාද බඳින්නේ? ආදරේ නිසා කියලා ඔන්න එක හඬින් උත්තර ලැබෙයි. හැබැයි ආදරේ නිසා විතරමද? නෑ පිංවතුනි. ඔතෙනට එනවා සමාජ තත්ත්වයන් පවත්වා ගැනීම, කසාදයක් බඳින්න ඕන වීම, එක එක ඇජෙන්ඩා වගේ දේවල්. හැබැයි දෙන්නෙක් ලව් කරනකොට එක මොහොතකදී දැනෙනවා මේ යෝදි, එහෙම නැතිනම් මේ මැටි පූසා නැතුව ජීවත් වෙන්න හරි අමාරුයි කියලා. ඒ වෙන කිසිම ඇජෙන්ඩා එකක් හින්දා නෙවෙයි. පිස්සු හැදිලා උගුරේ හිරවෙන ප්‍රමාණෙට තියෙන ආදරේ හින්දා කියලා. ආන්න එහෙම හිතෙන අවස්ථාවක් එනවා නම් දෙන්නට කසාදයක් බඳින්න කාලේ හරි.
හැබැයි එකක්. ලව් එක පටන් ගත්තු මාස දෙක තුනේත් ඔය වගේ අදහස් එනවා. හැබැයි ඒක අර ගැඹුරු ආදරේ නිසා එන අදහසක් නෙවෙයි. තනිකරම අලුත පටන් ගත්තු ලව් එකේ තියෙන ඇඩ්රිනලීන් මෙව්වා එක නිසා. ආන්න ඒ නිසා අපි කියන “නැතුව බෑ” හැඟීම දැනෙන්න ආදරේ හින්දා නින්ද යන්නෙ නැති, බැලූ බැලූ අත රෝස මල් පේන මුල් කාලේ පහුවෙන්න ඕන.
3. දෙන්නත් එක්ක අනාගතේ

Source – stylecaster.com
දැන් ආදරේ පටන් අරගෙන රස වෑහෙන කාලේදීත් දෙන්නා තනියෙන් තුරුල් වෙලා ඉන්නකොට අනාගතේ ගැන කතා කරනවනේ. හැබැයි ඉතින් ඒ අනාගත ප්ලෑන් ගොඩක් වෙලාවට “අපි කන්දක් මුදුනේ පැලක් හදාගෙන මේම මේම තුරුල් වෙලා ඉමු රත්තරං”, ” අපි ඔයාගෙ නාහෙයි, මගේ මොළෙයි තියෙන චූටි පැටියෙක් හදමු වස්තුව”, “අපි ඈත පළාතකට ගිහින් පුංචි තේ කඩයක් දාගෙන ඉමු මැණිකේ” ටයිප් එකේ පැණි වැක්කෙරෙන අනාගත සැලසුම්. මළාට ප්‍රායෝගික නෑ.
හැබැයි කාලයක් තිස්සේ ලව් කරලා කරලා, අර රස කතා කාලේ පැන්නට පස්සේ එක කාලයක් එනවා, දෙන්නා සීරියස් පිට අනාගතේ ගැන හිතන. ඒ වගේම ඒ අනාගතේ දෙන්නට දෙන්නා ඉන්න. මේ වගේ අනාගත සැලසුම් වල තියෙන්නේ “ඔයාගේ නමට ලෝන් එකක් ගහලා ගෙයක් හදමු, මම ගෙවන්නං, අපි දෙන්නට එතකොට බැඳලා කෙලින්ම අලුත් ගෙට යන්න පුලුවන්”, “ඔයා ඩිග්‍රිය ඉවර වුණු හැටියේ අපි රට යමු, දැන්ම ඒකට ඕන කරන දේවල් ලෑස්ති කරගමු” ටයිප් එකේ බොහොම ප්‍රායෝගික, ඇත්ත ලෝකෙට අයිති දේවල්. ආන්න ඒ වගේ ටෝක්ස් දෙන්නා අතරේ ඇති වෙනවා කියන්නේම දෙන්නත් එක්ක එකළසක් වෙනවා කියන අදහස ඇවිල්ලා කියන එකනේ.
4. ආදරෙයි පැලෙන්න!

Source – pinterest.ca
දැන් ඔය ආදරේ කරන්න පටන් ගත්තු කාලේ දවසකට එකසිය අට පාරක් මන්තරේ වගේ කියනවනේ “ආදරෙයි” කියලා. ඒ කියලත් මදි. හැබැයි ඒ කාලේදී ඕක කොච්චර කිවුවත් දෙන්නගේම හිතේ තමන්ගේ ආදර සම්බන්ධය ගැන අනාරක්ෂිත හැඟීම් තියෙනවා. ඒ කියන්නේ “එයා මාව දාලා යයිද” වගේ දේවල් පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට හිතට එනවා. කොල්ලට කෝල් කරන්න අමතක වෙලා නින්ද ගිහින් තිබුණොත් පහුවෙනිදා වෙද්දි කෙල්ල කඳුලු බීලම බඩ පුරවගෙන. හැබැයි කාලයක් තිස්සේ දෙන්නත් එක්ක ලව් එක ඇදගෙන යනකොට හෙමිහිට හෙමිහිට මේ අනාරක්ෂිත හැඟීම් නැතිවෙලා යනවා. තමන්ව මේකි නැතිනම් මේකා දාලා යන්නෙ නෑය කියන විශ්වාසය පහළ වෙනවා. තාමත් ආදරෙයි කියන එක කිවුවත්, දැන් ඒක වචනයෙන් කියනවට වඩා ක්‍රියාවෙන්, බැල්මෙන් දැනෙන දෙයක් බවට පත්වෙනවා. ආන්න ඒ තත්ත්වේ නම් ඉන්නේ, දැන්ම තියාම නැකැත් දවස් ගැන හොයාබැලුවට කමක් නෑ.
5. ඕනෑ වුණු වෙලාවට ඇවිත් ඇති

Source – readunwritten.com
සාමාන්‍යයෙන් ඔය කපල් එකක් අතරේ කෂිලි බිෂිලි ඇදෙන සීන් එකක් තමයි එක්කෝ කොල්ලට ඇනිවර්සරි එක අමතක වෙන එක. එහෙමත් නැතිනම් කොල්ලාට කෝල් එකක් දෙනවා කියලා කෙල්ලට ඒක අමතක වෙන එක. හැබැයි එහෙම වෙන්නේ අර මුල් කාලේ පිස්සුවෙන් ආදරේ තියෙන කොට තමයි. එතකොට ආදරේ පරිණත වෙනකොට ඇනිවසරිය අමතක වුනාට, කෝල් එකක් දෙනවා කිව්ව වෙලාවට දෙන්න බැරි වුනාට අවුලක් නැද්ද? වරද්ද ගන්න එපා, ආදරේ කොච්චර පරණ වුනත් එහෙම සීන් එකක් නිසා දෙදරණ දඟර සුළං ඇතිවෙනවා. හැබැයි ඒවා ඇදි ඇදී යන සීන් වෙන්නෙ නෑ. ඊට වඩා වැදගත් දේවල් දෙන්නටම තියෙනවා. උදාහරණයක් විදියට කෙල්ලට හිත් තැවුලක් වුණු වෙලාවක කොල්ලා නිදි මරාගෙන කෙල්ලගේ හිත හදන එක, කොල්ලගේ එසයිමන්ට් එකක් කෙල්ල පණ නැහීගෙන ඉවර කරන එක, කෙල්ලගේ කාර් එක කැඩුණු වෙලාවට කොල්ලා ඒකට දුවලා පැනලා වැඩේ ගොඩ දාලා දෙන එක වගේ හැබෑ අවශ්‍යතා වලදී දෙන්නට දෙන්නා ඉන්නවා කියන හැඟීම වඩා වැදගත් වෙනවා. ආන්න එහෙම තත්ත්වෙක ඉන්නවා කියන්නේ දෙන්නා විවාහ ජීවිතේට එළඹෙන්න කාලේ හරි කියන එක.
6. ඇත්ත සතාව ඕකේ!

Source – higherperspectives.com
දැන් කොල්ලෙක් කෙල්ලෙක් ගැන හිතක් පහළ කරගෙන, කෙල්ලගේ පස්සෙන් ගාටලා වැඩේ ගොඩදා ගත්තට පස්සේ කොල්ලට හිතෙන්නේම මේ කෙල්ල සුරංගනා ලෝකෙන් මූ වෙනුවෙන්ම එව්ව සුරංගනාවියක් කියලනේ. ඒ කියන්නේ කෙල්ල කන්නෙත් ලස්සනට. නිදාගෙන නැගිටින්නේත් සුරංගනාවියක් වගේ ලස්සනට. කොයි වෙලේත් කොණ්ඩේ කැරලි කැරලි. ආන්න එහෙම තමයි හිතෙන්නේ. ඕකේ අනික් පැත්තත් එහෙමයි. කෙල්ල හිතන්නේ කොල්ලා ගෙදර ඉන්නෙත් ඩෙනිම ගහලා, සපත්තු දාලා, ඇක්ස් ස්ප්‍රේ ගහලා කියලා තමයි. හැබැයි ඉතින් අපි හැමෝම දන්නවනේ ඇත්තම ඇත්ත මොකක්ද කියලා. කෙල්ලත් කොල්ලත් දෙන්නම මනුස්සයෝ. උදේට කබ කඩ කඩ නැගිටින, කොණ්ඩෙ කඩාගෙන යස්සනී වගේ ඉන්න, ෂෝටක් ගහගෙන දාඩිය නාගෙන වැඩ කරන ඇත්ත මිනිස්සු. අන්න ඒක තමයි ඇත්ත කියලා තේරුම් ගියපු කාලෙට, ඒ ඇත්ත මනුස්සයා තමන්ගේ වීම කිසිම ගැටළුවක් නෑ කියලා දැනුණු කාලෙට දෙන්නටම විවාහේ ගැන හිතන්න කාලේ හරි.
ඕනම මනුස්සයෙක්ගේ වාත පුරුදු තියෙනවනේ. අන්න ඒ වාත පුරුදු අනං මනං ඔක්කොම තියෙන සම්පූර්ණ පැකේජ් එකත් එක්කම උන්දැව බාර ගන්න පුලුවන් කියලා හිතුණු දවසට ආයෙ මොකටද පස් මහ බැලුම් බල බලා ඉන්නේ. දෙන්නත් එක්ක එක්තැන් වෙන එකයි තියෙන්නේ.
එහෙමනං දෙන්නගේම විවාහ ජීවිතේ සුළිසුළං, කුණාටු, පායන කාල, වැසි කාල එක්ක සතුටෙන්, ෆුල් ලව් එකෙන් ගත වෙන සුබ විවාහයක් වේවා!
Cover Image Source – time.com
Leave a Reply