ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් කම්පියුටර්වල ඕ එස් දානවා කියන්නේ ගොඩ දෙනෙක්ට අලුත් දෙයක් නෙමෙයි. අපිටත් වින්ඩෝස් නම් 7 තිබුනා, 8 තිබුනා දැන් දහයත් ඇවිත් සෑහෙන කලක් වෙනවා. හැබැයි ඉතින් වින්ඩෝස් හොරට දාන එක වාතයක්. ලිනක්ස් කියන්නේ ගොඩක් වෙලාවට නිකම්ම ලැබෙන ඕ එස් එකක්. ලිනක්ස් වල මෙතෙක් කල් තිබුන උබන්ටු ඕ එස් එක දැන් ටිකක් පල්ලම් බැහැලා. ඒ වෙනුවට අලුත් ඩිස්ට්‍රෝ ඇවිල්ලා තියෙනවා.
1. මොකද්ද ලිනක්ස් ඩිස්ට්‍රෝ එකක් කියන්නේ?
ලිනක්ස් කියන්නේ වින්ඩෝස් වගේ ඒකීය දෙයක් නෙමෙයි. විවිධ අවශ්‍යතාවයන්ට හදාපු ලිනක්ස් සංස්කරණ ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ පොදුවේ ලිනක්ස් මූලික කරගෙන හදපු ලිනක්ස් ඕ එස් බර ගාණක් තියෙනවා. උබන්ටු, ෆෙඩෝරා, ලිනක්ස් මින්ට්, ඩේබියන් ආදී සිතාගන්නටත් බැරි තරම් ලිනක්ස් සංස්කරණ ප්‍රමාණයක් ලිනක්ස් වල තියෙනවා. ඉතින් ලිනක්ස් පාවිච්චි කරන උදවිය තමුන් ආස කරන සහ තමුන්ට වඩාත් ගැලපෙන ඩිස්ට්‍රෝ එක තෝරලා පාවිච්චි කරන්න පෙළඹිලා තියෙනවා.
2. උබුන්ටු මොකද ටිකක් ඩවුන් වුනේ?
ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් කියන්නේ අපි ගෙදර දොරේ පාවිච්චියට ගන්න පරිගණක මාදිලි. මේ ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් වලට පහුගිය දශකයේ ආපු ජනප්‍රියම ඕ එස් එක තමයි උබන්ටු. උබන්ටු වලට කැනොනිකල් සමාගමේ සහයෝගය ලැබීමත් එක්ක උබන්ටු ශක්තිමත් ස්ථායී මෙහෙයුම් පද්ධතියක් බවට පත් වුනා. උබන්ටු ඇතුළත් කළ ලැප්ටොප් ඩෙල්, ඒසර් වගේ නම් වලින් ලංකාවේ වෙළඳපොලටත් ආවා. උබුන්ටු මාස හයෙන් හයට අලුත් ඕ එස් එකක් ආවා. ඒත් මේ ළඟක ඉඳන් උබුන්ටු එයාලගේ ඕ එස් එකට දෙන සපෝට් එක ටිකක් අඩු කරගෙන යනවා. අලුතින් ආපු වර්ෂන් වල තියෙන වැරදි හදන්න ෆෝරම් එකට සහයෝගය දක්වන්න දැන් උබන්ටු වැඩිමනක් උත්සාහයක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ එක්කම උබුන්ටු වල රෙපොසිටරි සපෝට් වලත් කචල් තියෙනවාලු. ඒත් උබුන්ටුම පාවිච්චි කරන ලොකු පිරිසක් තවමත් ඉන්නවා.
3. ලිනක්ස් මින්ට් (Linux Mint)
ලිනක්ස් මින්ට් කියන්නේ ඩේබියන් සහ උබුන්ටු මූලික කරගෙන හදපු ඕ එස් එකක්. පරණ මාදිලියේ වින්ඩෝස් පරිගණකවල පෙනුම තියෙන මේට් කියන ඩෙස්ක්ටොප් පසුබිම තමයි ලිනක්ස් මින්ට් වල තියෙන්නේ. ලිනක්ස් මින්ට් උබුන්ටු පැකේජ වලට වගේම ඩේබියන් පැකේජ වලටත් සහයෝගය දක්වනවා . ඒ නිසා උබුන්ටු වලටත් වඩා වැඩි මෘදුකාංග සහ ප්ලගින් ලිනක්ස් මින්ට් පාවිච්චි කරන අයට ලබාගන්න පුළුවන්කම තියෙනවා.
4. ලිනක්ස් වල සොෆ්ට්වෙයා දැමීම
වින්ඩෝස් වල නම් එදා ඉඳලාම අපිට වී එල් සී ප්ලේයර් එක, ඔෆිස් පැකේජ් එක වාගේ ඇප්ලිකේශන් එකක් දාගන්න ඕනි වුනාම අපි කරන්නේ ගන්න ෆයිල් එක ඩබල් ක්ලික් කරන එක. ඒත් ලිනක්ස් ඊට වෙනස්. අපි ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් ෆෝන් එකට ඇප්ස්ටෝර් එකෙන් ඇප් එකක්, ප්ලගින් එකක් දාගන්නේ කොහොමද? ආන්න ඒ විදියට තමයි ගොඩක් ලිනක්ස් සංස්කරණ වල මෘදුකාංග, ඩ්‍රයිවර්ස් සහ ප්ලගින් දාගන්න තියෙන්නේ. ඒ ක්‍රමයේදී වඩාත් විශ්වසනීය මූලයකින් මෘදුකාංග සහ ප්ලගින් ආදිය ලබාගන්නා නිසා පරිගණක යන්ත්‍රය වඩාත් ආරක්ෂිත වෙනවා. ඉතින් එක එක ඩිස්ට්‍රෝ ගත්තාම මේ පැකේජ් ඇතුලත් රිපොසිටරි වෙනස් වෙනවා. උදාහරණයකට ෆෙඩෝරා වලදි පැකේජ් ලෙස ලබාගන්න හැකිවන්නේ ඕපන් සෝස් මෘදුකාංග විතරයි. ඒත් මින්ට් සහ උබුන්ටු වලදී මෘදුකාංග කේත විවෘත නැති පැකේජුත් රෙපොසිටරි එක හෙවත් ස්ටෝර් එකෙන් අපිට ඇතුලත් කරගන්න පුළුවන් කම තියෙනවා.
5. එම් එක්ස් ලිනක්ස් (MX Linux)
එම් එක්ස් ලිනක්ස් මේ කාලේ ගොඩක් ජනප්‍රිය ඕ ඇස් එකක් වෙලා තියෙනවා. ඩිස්ට්‍රෝ වොච් කියන වඩාත් ජනප්‍රියම ලිනක්ස් සංස්කරණ ගැන තොරතුරු දෙන වෙබ් අඩවියේ ලැයිස්තුවේ මුලටම ඇවිත් මාස ගාණක් තිස්සේ දැන් එම් එක්ස් ලිනක්ස් මුල් තැනම ඉන්නවා. එම් එක්ස් ලිනක්ස් ඩේබියන් මූලික කරගෙන තැනූ ඕ අලුත් ඕ ඇස් එකක්. 2016 තරම් මෑත කාලයේදී එම් එක්ස් ලිනක්ස් ආවත් ගොඩක් හාඩ්වෙයාර් වලට සපෝට් කරන එම් එක්ස් ලිනක්ස් ඉක්මනින්ම ලිනක්ස් ලෝලීන් අතර ජනප්‍රිය වුනා.
6. මන්ජරෝ ලිනක්ස් (Manjaro)
ලිනක්ස් ලෝකයේ මුත්තා වශයෙන් සැලකෙන ඩේබියන් වලින් තමයි උබුන්ටු එම් එක්ස්, ලිනක්ස් මින්ට් වගේ ඕ එස් හැදුනේ. ඒත් මේ අලුතින් ඇවිත් ජනප්‍රිය වුනු මන්ජාරෝ ලොක්කා ආච් බේස් (Arch Base) ඕ ඇස් එකක්. ආච් බේස් මේ මන්ජාරෝ පහුගිය කාලේ ඉතාම ඉක්මනින් ජනප්‍රිය වුනා. අලුතින්ම එන හාඩ්වෙයාර් වලට පවා ආච් කණ්ඩායම ඉක්මනින්ම සපෝට් කරන ප්ලගින් ආදිය ලබා දෙනවා. ඒ නිසා අලුත්ම කම්පියුටර් වලට වුනත් මන්ජාරෝ ස්ථාපනය කරගෙන හොඳටම වැඩ කරන්න පුළුවන් කියලා තමයි මන්ජාරෝ පාවිච්චි කරන අය කියන්නේ.
7. හන්තාන ලිනක්ස්
හන්තාන කියන්නේ ලංකාවේදි හදාපු ඕ එස් එකක්. ලිනක්ස් ලෝකයේ තවත් මුත්තෙක් වෙන රෙඩ් හැට් වලින් ෆෙඩෝරා කියන ඩෙස්ක්ටොප්වලටත් පාවිච්චි කරන්න පුළුවන් ලිනක්ස් ඩිස්ට්‍රො එක හැදුනා. ඒ ෆෙඩෝරා වලින් ලංකාවේ අපිට ගැලපෙන, පාසලේ වැඩට, හැකින් වැඩට සහ සිංහල ලියන කියන වැඩට සහයෝගය දක්වන්න පැකේජ් ටිකක් එකතු කරලා හන්තාන කියලා ලිනක්ස් වර්ෂන් එකක් හදලා තියෙනවා. මේ හන්තාන මෑතකදි ෆෙඩෝරා 30 ආශ්‍රයෙන් අලුත් සංස්කරණයක් නිකුත් කරලා තියෙනවා. මෑතකදී නිකුත් කළ හන්තාන සංස්කරණවල හැකින් වලට විශේෂයෙන් සහයෝගය දක්වන ඩිස්ට්‍රෝ එකක්ද ඇතුලත් වෙනවා.
8. එලිමෙන්ටරි ඕ එස් (elementary OS)
එලිමෙන්ටරි කියන්නේ උබන්ටු මූලික කරගෙන හැදූ ඩිස්ට්‍රෝ එකක්. එලිමන්ටරි වල පෙනුම ටිකක් ඇපල් පරිගණක වල ඩෙස්ක්ටොප් ආකාරයට සමානයි. වැඩ කිඩ එක්ක ලස්සනට ඕ එස් එකක් හොයන අයට එලිමෙන්ට්රි ඕ එස් එක ගැලපෙනවා. එලිමෙන්ට්‍රි ඕ එස් එකත් අනෙක් සැම ලිනක්ස් ඕ එස් එකක් වගේම නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්නත් හැකියාව තියෙනවා.
සර්වර් ආදියෙදි බහුලව ලිනක්ස් පාවිච්චි වුනත් ලොකු අවුලක් නැතුව ඩෙස්ක්ටොප්, ලැප්ටොප් වලත් ලිනක්ස් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. බහුලව තියෙන ගොඩක් ලිනක්ස් ඩිස්ට්‍රෝ වල හොඳ ස්ථායීතාවයක් තියෙනවා. ඒ වගේම වෛරස් මැල්වෙයා ආදියෙන් කරදර එන්න තියෙන හැකියාවත් ලිනක්ස් වලදි සාපේක්ෂව අඩුයි. ඉතින් නිකංම ගන්න තියෙන එකේ ලිනක්ස් අස්සයෙක්ව දාගෙන ටික දවසක් දත් ගැනලා බලමු නේද?
Leave a Reply