දැන් ඔය අපිට අවශ්‍ය දත්ත අපි කම්පියුටර් එකේ නම් හාඩ් එකේ සේව් කරනවනේ. හැබැයි ඊට අමතරව දත්ත තැන්පත් කරල තියන්න බාහිර උපාංගත් අපි පාවිච්චි කරනවා. මුල්ම කාලේ අපි ෆ්ලොපි ඩිස්ක් පාවිච්චි කළා. ඊට පස්සේ සීඩී, ඩීවීඩී වල අවශ්‍ය දත්ත රයිට් කරලා සේව් කරන්නත් පටන් ගත්තා. ඔය කාලෙදී ආවා පෙන් ඩ්‍රයිව්. එතකොට පෙන් ඩ්‍රයිව් එකක වුණත් ඩේටා දාලා තැනින් තැන ගෙනියන්න පුලුවන්. ඒත් ඔය ක්‍රම වලින් අපිට ලැබුණු ධාරිතාවය, කම්පියුටරේ හාඩ් එකට සාපේක්ෂව සීමිතයි. හැබැයි මුල් කාලේ ඔය මොකුත් නැතුව අපිට ඩේටා එහෙ මෙහේ ගෙනියන්න ඕන වුණහම කම්පියුටරේ හාඩ් එක ගලවලා අරගෙන ගිහින් තවත් කම්පියුටරේකට ස්ලේව් කරලා ගහපු අතීතෙකුත් අපිට තියෙනවා.
හැබැයි කාලය ගතවෙනකොට ආවා කම්පියුටර් එකේ හාඩ් එකේ තරම් හෝ ඊටත් වැඩියෙන් ප්‍රමාණයක් ඩේටා සේව් කරන්න පුලුවන් බාහිර දෘඩ තැටි, එහෙම නැතිනම් එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව්ස්. දැන් වෙනකොට ටෙරාබයිට් 1 ක නැතිනම් 2 ක එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් කියන්නේ ගොඩක් වෙලාවට පෙන් ඩ්‍රයිව් එකක් වගේම සාමාන්‍ය දෙයක්. ඒ ඇරෙන්න ඉතින් ටෙරාබයිට් 4, ටෙරාබයිට් 8, ටෙරාබයිට් 16, ටෙරාබයිට් 20 වගේ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව්ස් එහෙමත් දැන් ගන්න තියෙනවා. දැන් කවුරුත් සීඩී/ඩීවීඩී පාවිච්චි කරන්නෙ නැති තරම්නේ. ඒ නිසා ගොඩක් දෙනෙක් පෙන් ඩ්‍රයිව් නැතිනම් එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් වලට හුරුවෙලා තියෙනවා. මේවා පාවිච්චි කරන්නේ ඩේටා සේව් කරලා තියන්න සහ තැනින් තැනට අරගෙන යන්න.
හැබැයි මීට අමතරව එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකකින් ගන්න පුලුවන් ප්‍රයෝජනත් නැද්ද? තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ ප්‍රයෝජන ලැයිස්තුවක්!
01. තමන්ගේම ක්ලවුඩ් ස්ටොරේජ් එකක්
සාමාන්‍යයෙන් ක්ලවුඩ් ස්ටෝරේජ් වලට අපි ගොඩක් දෙනෙක් දැන් හුරු වෙලා ඉන්නවනේ. ක්ලවුඩ් ස්ටෝරේජ් එකක තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි, ලෝකේ ඕනෙම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන තැනක ඉඳලා ඒකට සම්බන්ධ වෙලා, අපිට අවශ්‍ය දත්ත ලබාගන්න, එහෙම නැතිනම් අපිට අවශ්‍ය ක්ලවුඩ් ඇප් එකකින් අපේ වැඩ කරගන්න තියෙන පහසුව. ගූග්ල් ඩ්‍රයිව් නැතිනම් වන් ඩ්‍රයිව් කියන්නේ ඔය ක්ලවුඩ් ස්ටෝරේජ් වලට උදාහරණ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔය නොමිලේ දෙන ක්ලවුඩ් ඩ්‍රයිව් ගොඩක් ඒවා දැන් කාලෙට ගැලපෙන විදියේ ධාරිතාවයක නෑ. ගොඩක් ඒවලින් උපරිම ලැබෙන්නෙත් ගිගාබයිට් 100 ක්, ගිගාබයිට් 200 ක් විතර තමයි. ඊට එහා ගන්න නම් සල්ලි දෙන්න වෙනවා.
02. ඔටෝමැටික් බැක්අප්
අපේ කම්පියුටර් එකක තියෙන දත්ත වල වටිනාකම අපිට හරියටම වැටහෙන්නේ ඒවා නැතිව ගියපු දවසට කියන එක බොරුවක් නෙවෙයිනේ. ඔය හාඩ් එකකට එහෙම කෙළ වෙලා අත්‍යවශ්‍ය ලිපිගොනු එහෙම නැතිවෙලා ගියපු අය දන්නවා ඒවා ආයෙ රිකවර් කරන්න විඳින්න වෙන දුක. ආන්න ඒ නිසා තමයි දැන් ඔය ගොඩක් ඇප්ස් එක්ක, ඔපරේටින් සිස්ටම් එක්ක බැක්අප් ඔප්ෂන් එක එන්නේ. හැබැයි ප්‍රශ්නේ මේකයි. අපිට ඕවා බැක්අප් කරන්නත් මතක් වෙන්න ඕනනේ. ඒකටත් විසඳුමක් තියෙනවා. ඔටෝමැටික් බැක්අප්. ඔටෝමැටික් බැක්අප් විකල්පය සක්‍රිය කරලා තිබ්බහම, අපි දෙන කාලයකට සැරයක් ස්වයංක්‍රීයව අදාළ ඇප් එකේ හරි ඕඑස් එකේ හරි ඩේටා බැක්අප් වෙනවා. ඔන්න ඔය බැක්අප් වීමටත් ඉඩක් ඕනනේ. ඒ ඉඩ ලබාගන්න පුලුවන් අපිට එක්ස්ටර්නල් හාඩ් එකකින්.
03. එන්ක්‍රිප්ටඩ් මෙමරි
දැන් අපිට ආරක්ෂා කරගන්න ඕන සංවේදී ඩොකියුමන්ට් නැතිනම් ඒ වගේ ලොකු ඉඩක් ගන්නෙ නැති ෆයිල්ස් තියෙනවා නම්, ලේසියෙන්ම පෙන් ඩ්‍රයිව් එකකට දාලා, ඒක එන්ක්‍රිප්ට් කරගන්න පුලුවන්. හැබැයි සමහර වෙලාවට, අපිට වෙනත් කෙනෙක්ට ප්‍රවේශ වෙන්න බැරි විදියට ආරක්ෂා කරන්න අවශ්‍ය වෙන්නේ ටිකක් ලොකු ෆයිල්ස් වෙන්න පුලුවන්. අපි කියමු සමහර විට ඔය ගිගාබයිට් බර ගාණක ඉඩක් යන ලොකු ඩිසයින් ෆයිල්ස් කියලා. ඒවා පෙන් ඩ්‍රයිව් එකක සේව් කරලා තියන එක ප්‍රායෝගික නෑ. හැබැයි ඇත්තටම අපිට අපේ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එක වුණත් එන්ක්‍රිප්ටඩ් ඩ්‍රයිව් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ වෙනත් කෙනෙක්ට ප්‍රවේශ වෙන්න බැරි විදියට පාස්වර්ඩ් දාලා ප්‍රොටෙක්ට් කරන්න පුලුවන්. ඒක ඔපරේටින් සිස්ටම් එකෙන්ම කරන්නත් පුලුවන්. වෙන ඇප් එකක් හරහා කරන්නත් පුලුවන්. හැබැයි දැන් එන අලුත් පන්නයේ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් වල ඔය එන්ක්‍රිප්ෂන් පහසුකම තියෙනවා. ආරක්ෂාවත් වැඩියි.
04. ස්ක්‍රැච් ඩිස්ක් එකක්
දැන් අපි විවිධ මෘදුකාංග හෝ පරිගණක සේවා පාවිච්චි කරනකොට ටෙම්පරරි ෆයිල්ස් නිර්මාණය වෙනවනේ. නිකමට ඔය ඔපරේටින් සිස්ටම් එකේ ටෙම්පරරි ෆයිල්ස් තියෙන ටෙම්ප් ෆෝල්ඩර් එකකට එහෙම ගිහිල්ලා බැලුවොත් පුදුම හිතෙයි කොයි තරම් ටෙම්පරරි ෆයිල්ස් අපි කම්පියුටර් එකේ වැඩකරනකොට නිර්මාණය වෙනවද කියලා. ගොඩක් ඒවා අපිට ඒ තරම් දැනෙන්නෙ නෑ, ඔය කිලෝබයිට් එකක දෙකක ෆයිල්ස් නිසා. හැබැයි හිතන්න ඔය වීඩියෝ එඩිටින් වලදී හෝ වෙනත් ඒ වගේ විශාල දත්ත ධාරිතාවක් තියෙන ෆයිල්ස් නිර්මාණය වෙන වැඩක් ගැන. ඒවලදී නිර්මාණය වෙන ටෙම්පරරි ෆයිල් එකත් ගොඩක් වෙලාවට සෑහෙන්න ලොකුයි. ඉතින් එව්වත් ප්‍රධාන හාඩ් ඩිස්ක් එකේම තියෙනවා කියන්නේ පට ගාලා ඔපරේටින් සිස්ටම් එකට ඕන ඉඩ නැතිවෙලා කම්පියුටර් එක ස්ලෝ වෙනවා කියන එක. ආන්න ඒ නිසා, ඔය ටෙම්පරරි ෆයිල්ස් ස්ටෝර් වෙන්න වෙනම ඩිස්ක් ඩ්‍රයිව් එකක් දෙන්න පුලුවන්. ඒකට කියන්නේ ස්ක්‍රැච් ඩිස්ක් එකක් කියලා. දැන් අපිට එක්ස්ටර්නල් හාඩ් එක අපේ ස්ක්‍රැච් ඩිස්ක් එක කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, ෆොටෝෂොප් වල Preferences > Performance කියන පාත් එකේ ගියහම ස්ක්‍රැච් ඩිස්ක් එක විදියට එක්ස්ටර්නල් හාඩ් එක සිලෙක්ට් කරන්න පහසුකම තියෙනවා.
05. ගේමින් කොන්සෝල් මෙමරි එකක්
දැන් ඔය ගේමින්ග් කොන්සෝල් කියල අපි කියන්නේ. ඒ කිව්වේ Sony PlayStation 5, PlayStation 4, Microsoft Xbox Series X, Xbox Series S වගේ ඒවා. මේ ගේමින් කොන්සෝල් වලත් හාඩ් ඩ්‍රයිව් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට ගිගාබයිට් 500, ටෙරාබයිට් 1 වගේ ප්‍රමාණයන්ගෙන් තමයි මේ කොන්සෝල් නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි මේ ගේමින් කොන්සෝල් වල ප්ලේ කරන විදියේ ලොකු ගේම්ස් කීපෙකට වඩා එක වතාවකට මේ කැපෑසිටි එක ඇතුළේ ඉන්ස්ටෝල් කරන්න බෑ. එතකොට අපිට ඊට වඩා වැඩි කැපෑසිටි එකක් ඕන නම් මොකද කරන්නේ? සරලයි. එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් අපි මේ ගේමින් කොන්සෝල් එක්කට ගහනවා. එතකොට අවශ්‍ය නම් අමතර ගේම්ස් මේ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකේ ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. ඒකත් එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකකින් ගන්න පුලුවන් ප්‍රයෝජනයක්.
06. සෙකියුරිටි සිස්ටම් වලට
දැන් කාලේ අපි සෑහෙන්න ආරක්ෂාව ගැන හිතන්න ඕනනේ. ඒ නිසාම සමහරු ගෙදර ෆුල් සෙකියුරිටි සිස්ටම් හයි කරනවා. ඒ කියන්නේ ගෙදර කවර් වෙන්න සීසීටීවී දාලා එහෙම. දැන් ඔය සීසීටීවී කැමරා වල ෆුටේජ් රෙකෝඩ් වෙන්නත් හාඩ් ඩ්‍රයිව් තියෙනවා. අපි කියමු අපි හයි කරන්නේ සම්පූර්ණයෙන්ම වයි-ෆයි ඔස්සේ ක්‍රියාත්මක වෙන වෙබ් කැමරා පද්ධතියක් කියලා. මේ සිස්ටම් එකේදී හැමතැනින්ම අදින්න වෙන කේබල් වයර් නෑ. වෙබ් කැම් එකෙන් කෙලින්ම රැහැන් රහිත තාක්ෂණය ඔස්සේ ක්ලවුඩ් ධාරිතාවයකට අදාළ දර්ශන රෙකෝඩ් වෙනවා. හැබැයි මෙතනදී තියෙන ප්‍රශ්නයක් තමයි, නොමිලේ දෙන ක්ලවුඩ් ධාරිතාවයක් අසීමිත ඉඩක් අපිට ලබානොදෙන එක. ඒක අපි පළවෙනි පොයින්ට් එකේදිත් කිව්වනේ. ආන්න ඒකට කරන්න පුලුවන් දෙයක් තමයි, ටෙරාබයිට් කීපයක ධාරිතාව තියෙන වයි-ෆයි හැකියාවෙන් යුතු එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් ගන්න එක. ඔව්, දැන් වෙනකොට ඉන්-බිල්ට් වයි-ෆයි තියෙන වගේම, වයි-ෆයි සපෝට් කරන එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් තියෙනවා. අන්න එතකොට නිරන්තරයෙන්ම පරණ ඩේටා ඩිලිට් කර කර ඉන්න වද වෙන්නෙ නැතුව, කෙලින්ම වෙබ් කැම් එකෙන් එන දසුන් එක්ස්ටර්නල් හාඩ් එකේ වයර්ලස් විදියට රෙකෝඩ් වෙන්න පද්ධතිය සකසන්න පුලුවන්. මෙතනදී ඇත්තටම ඩේටා රෙකෝඩ් වෙන්නේ ඕෆ්ලයින් නිසා, තව කෙනෙක්ට ඒ ඩේටා ගන්න තියෙන හැකියාවත් අඩු වෙනවා. වඩාත් ආරක්ෂිතයි.
07. ස්මාට් ටීවී එකකට
අපිට ටීවී එකට එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් කනෙක්ට් කරලා ෆිල්ම්ස් එහෙම බලන්න පුලුවන්ද? අපොයි පුලුවන්. ඒකට ස්මාට් ටීවී එකක් අවශ්‍ය වෙන්නෙත් නෑ. නිකම්ම USB පෝට් එකක් තියෙන වර්තමාන ස්මාට් නොවන ටීවී එකකට වුණත් එක්ස්ටර්නල් හාඩ් එක ගහලා, ඒකේ තියෙන ෆිල්ම්ස් බලන්න එහෙම පුලුවන්. ඒක හරියට පෙන්ඩ්‍රයිව් එකක් ටීවී එකට ගහනවා වගේම තමයි. එතකොට ස්මාට් ටීවී එකකින් කෙලින්ම අපිට නෙට්ෆ්ලික්ස් හරි ඇමසන් ප්‍රයිම් හරි වගේ ස්ට්‍රීමින් සේවාවකින් ඕන නම් කෙලින්ම ෆිල්ම්ස් බලනවා වගේම, ඉන්ටර්නෙට් නැති වෙලාවට වුණත් බලන්න ෆිල්ම්ස්, ටීවී සීරීස් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. හැබැයි ස්මාට් ටීවී වල එහෙම ලොකු ස්ටොරේජ් එකක් නැහැනේ. ඕන නම් ගිගාබයිට් 8 ක් වගේ තියෙයි. අලුත්ම ටීවී වල ඊට වඩා ටිකක් වැඩි වෙයි. ඕකෙන් සිස්ටම් එකටත් ඉඩක් ගියහම, මූවීස්, ටීවී සීරීස් වැඩි ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ස්මාට් ටීවී එකක ඉඩක් නෑ. හැබැයි අපි ස්මාට් ටීවී එකට එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් කනෙක්ට් කරලා නම් තියෙන්නේ ඔය ප්‍රශ්නේ මතුවෙන්නෙ නෑ. ස්මාට් ටීවී එකක මතක ධාරිතාව වැඩි කරගන්න පාවිච්චි කරන්න පුලුවන් ක්‍රමයක් තමයි එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක්!
දැන් ඔය කරුණු කාරණා එක්ක බලනකොට එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්න එක වාසියි වගේ නේද? එහෙමනම්, අපි මීට කලින් ලියලා තියෙනවා, එක්ස්ටර්නල් හාර්ඩ් එකක් ගන්න කලින් හිතලා බලන්න ඕන දේවල් පිළිබඳව. ඒකත් කියවලම එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්න යන්න!
Leave a Reply