රඟපානවාට අමතරව වෙනත් දක්ෂතාත් ඇති බොලිවුඩ් තරු

අපේ රටට අල්ලපු රට නිසාමද කොහෙද බොලිවුඩ් සිනමාවට අපේ රටේ ජනතාවගේ වැඩි ප්‍රසාදයක් හිමිවෙලා තියෙනවා. අතීතයේ ඉඳලම හින්දි චිත්‍රපට වල ගීත පවා සිංහල පදමාලා වලට හරවල ගයනා කරපු අවස්ථා බොහොමයි. ඒ වගේම සමහර හින්දි චිත්‍රපට පිස්සන්ට හින්දි භාෂාවත් හොඳින් තේරුම් ගන්න හැකියාව ලැබිල තියෙනවා මේ චිත්‍රපට නැරඹීම නිසාම. විශේෂයෙන් ඉන්දියානු ජාතිකයින් බහුතරයකට මොකක් හෝ සෞන්දර්යාත්මක හැකියාවක් උපතින්ම හිමි වෙලා තියෙනවා. ඉන්දියාවේ සින්දුවක් ලස්සනට කියාගන්න බැරි කෙනෙක් ඉන්නෙ කලාතුරකින්. ඉතින් බොලිවුඩ් සිනමා තරු කියන්නෙත් සාපේක්ෂව දක්ෂතාව පැත්තෙන් ඉදිරියෙන් ඉන්න නළු නිළියන් පිරිසක්. ඒ අයටත් රඟපෑමට අමතරව වෙනත් දක්ෂතා සහ හැකියාවන් පිහිටලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ බොලිවුඩ් නළු නිළියන්ට රඟපෑමට අමතරව තියෙන වෙනත් දක්ෂතා සහ හැකියාවන් ගැනයි.

 

1. සයිෆ් අලි ඛාන්

සයිෆ් අලි ඛාන් බොලිවුඩයේ ඉන්න ඉතාම දක්ෂ නළුවෙක්. කල් හෝ නා හෝ, හම් තුම්, ලව් ආජ් කල් වගේ චිත්‍රපට ගණනාවකට දායකත්වය ලබාදීපු සායිෆ් කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය චරිතයක්. රංගනයට අමතරව ඔහු විශේෂ දක්ෂතාවයක් දක්වනවා ගිටාර් වාදනය සමබන්ධව. ඔහු සංගීත කණ්ඩායම් කිහිපයකටත් සම්බන්ධ වෙලා ඉඳල තියෙනවා. දැනට ඔහු Parikrama කියන ජනප්‍රිය සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පියා විදිහට කටයුතු කරනවා. ඔහු තව දුරටත් ගිටාර් වාදනය සහ වෙනත් සංගීත භාණ්ඩ අධ්‍යයනය කිරීම සඳහා යොමු වන බවත් මෑතක ප්‍රකාශ කරලා තිබුණා.

 

2. ෂාහිද් කපූර්

ෂාහිද් කපූර් වෘත්තියෙන් නළුවෙක් සහ නර්තන ශිල්පියෙක් විදිහට විතරනේ අපි දැනගෙන හිටියේ. නමුත් මේ වෙද්දී ඔහු රඟපෑමට අමතරව ඩීජේ වාදන ශිල්පියෙක් විදිහටත් අපිට අඳුනගන්න පුළුවන්කම ලැබිල තියෙනවා. ඔහු තමන්ගේ හිතවතුන් අතර පමණක් හෙළි කරලා තිබුණු මේ හැකියාව තවත් දියුණු කරගෙන වෘත්තීය ඩීජේ වාදකයෙක් විදිහට කටයුතු කරන්න පටන් අරන් තියෙනවා කියල තමයි ආරංචි වෙන්නෙ. ඒ වගේම කාලෙකට කලින් ශාරුක් ඛාන් ගේ ගෙදර තිබුණු පාර්ටි එකකත් ඩීජේ විදිහට කටයුතු කරලා තියෙන්නෙ ෂාහිද් කපූර් කියලයි ආරංචි වෙන්නෙ.

 

3. අමීර් ඛාන්

අමීර් ඛාන් කියන්නෙත් බොලිවුඩයේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක් කියන කාරණාව අවිවාදිතයි. ඒ තරම් ඔහුගේ රංගන හැකියාවන් තාත්විකයි. විශේෂයෙන් පීකේ, ගජිනි, දන්ගල්, 3 ඉඩියට්ස් වගේ මෑතක තිරගත වුණු චිත්‍රපට වල පවා ඔහුගේ රංගන හැකියාව හොඳින්ම ප්‍රදර්ශනය වුණා. ඒ හැකියාව වගේම ඔහුට චෙස් ක්‍රීඩාව සඳහාත් විශේෂ හැකියාවක් තියෙන බව ආරංචි වෙනවා. ඔහු වයස අවුරුදු හයේ විතර පටන් චෙස් ක්‍රීඩා කළා කියල තමයි ප්‍රකාශ කරලා තියෙන්නෙ. ඔහු චිත්‍රපට පසුතල වල පවා විනෝදාංශයක් විදිහට චෙස් ක්‍රීඩාවේ නිරත වෙනවලු.

 

4. ශිල්පා ශෙට්ටි

ශිල්පා ශෙට්ටි කිව්වම ගොඩක් අයට මතක් වෙන්නෙ ඉන්දීය IPL තරගාවලිය. 2009 දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය ඇය ලබාගෙන තිබුණා. ඒ වගේම අද වෙද්දී ඇයගේ වත්කම් ඉන්දියානු රුපියල් කෝටි 134ක් වන බවට ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කර තිබුණා. ඉතින් මේ තරම් ධනයක් උපයන්න ඇයට හැකියාව ලැබිල තියෙනේ රඟපෑමට අමතර දක්ෂ ව්‍යවසායිකාවක් ලෙස ලබා ගත්තු සාර්ථකත්වය කියල තමයි පේන්න තියෙන්නෙ, විශේෂයෙන් ඇයගේ සැමියාත් දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ඉතා සාර්ථකව ඔවුන් දෙදෙනා පවත්වාගෙන යනවා.

 

5. විද්‍යා බාලන්

විද්‍යා බාලන් කියන්නෙත් ඇති දක්ෂ රංගන ශිලිපිනියක්. ඊට අමතරව ඇය ඉතා දක්ෂයි අනෙක් නළු නිළියන්ගේ හඬ අනුකරණය කරන්න. ඒ වගේම ඇය දක්ෂ කවිකාරියක්. මෑතක ඇය විසින් රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපටයක් වන ශකුන්තලා දේවි වෙනුවෙන් ඇය ලියූ කවි පන්තියක් වෙබ් අඩවි වල පළ වී තිබුණා.

 

6. ආක්ෂේ කුමාර්

 

ආක්ෂේ කුමාර් කියන්නෙ කොමඩි ෆිල්ම් වල වගේම සම්භාව්‍ය ෆිල්ම් වලත් ඉතාම දක්ෂ විදිහට රඟපාන්න හැකියාව තියෙන රංගන ශිල්පියෙක්. ඒ වගේම මාෂල් ආර්ට්ස් සටන් ශිල්පියෙක්. ඒ වගේම කරාටේ කළුපටි ශුරයෙක්. ඒ සියළු දේ ඔහුගේ චිත්‍රපට වල සටන් ජවනිකා සඳහා උපකාරී වෙනවා කියල තමයි ආක්ෂේ ප්‍රකාශ කරල තියෙන්නේ. ඊටත් අමතරව ආක්ෂේ හොඳ ජායාරූප ශිල්පියෙක්. ඔහු විවේකයක් ලැබුණ ඕනෑම මොහොතක ජායාරූපකරණයට යොමු වෙනවලු. ඒ වගේම ආක්ෂේ කියන්නෙ හොඳ සූපවේදියෙක්ලු.

 

 

7. සල්මාන් ඛාන්

සල්මාන් ඛාන් කියන්නෙ ඉන්දියාවේ ඉන්න විශේෂ රංගන ශිල්පියෙක්. ඔහු ගොඩක් පුණ්‍ය කටයුතු වලට තමන්ගේ ධනය යොදවන ඉතාම හොඳ පුද්ගලයෙක්. ඉතින් රංගනයට තියෙන හැකියාව වගේම ඔහුට තවත් විශේෂ හැකියාවක් තියෙනවා. ඒ තමයි චිත්‍ර ඇඳීමේ හැකියාව. ඒ විදිහට ඔහු අඳින චිත්‍ර වලින් ලැබෙන ආදායමත් ඔහු පුණ්‍ය කටයුතු සඳහා තමයි යොදවන්නේ කියල තමයි ආරංචි වෙන්නෙ.

 

අපි ඔය සඳහන් කරපු හැම රංගන ශිල්පියෙක් ම ශිල්පිනියක් ම ඉතා දක්ෂ නළු නිළියන්. ඔවුන් ඒ කටයුත්ත පමණක් නිරත වෙලා ඉන්නෙ නැහැ. ඔවුන් තමන්ට තියෙන හැකියාවන් වලින් ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම හැකියාවන් දියුණු කරගන්න උත්සහ කරනවා. ඒ හැම දෙයකින්ම ඔවුන්ගේ අගය තව තවත් ඉහළ යනවා. ඒ නිසා පුද්ගලයෝ විදිහට හැම දෙනාම තමන්ට තියෙන හැකියාවන් වලින් සහ දක්ෂතා වලින් නියම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඕනේ. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *