විලෝපිකයින්ගෙන් බේරෙන්න වෙස් පෙරළගන්නා සතුන්

ස්වභාවික වරණය ඩාවින්ගේ පරිණාමවාදයේ එන ප්‍රබල සිද්ධියකි. ඒ අනුව අවට පරිසරයට අදාළව ඉක්මනින්ම හැඩගැහුණු ජීවින් මෙලොව ඉතුරු විය. උදාහරණයක් ලෙස ගත්තොත් යම් විකෘතියකින් ඒ ඒ පරිසරයට අනුකූලව වර්ණය වෙනස් වන ලෙස හැඩගැහුනු ජීවියෙකුට සැඟවී සිටින්නට පුළුවන් විය. එසේම ආහාර ද සොයාගන්නට ලේසි විය. ඉන් පසුව ඒ හැඩගැහුණු විකෘති ජීවියාගේ බෝවීම වැඩි විය. එලෙස පරිසරයට අනුව වෙනස්කම් පාන ජීවීන් රැසකි. එයින් විශේෂ කිහිපයක් ගැන අපි සොයා බලමු.

 

 

1. පතා මැඩියා (Flat Fish)

පතා මැඩියා යනු යනු තවත් එක ගෙම්බෙක් හෝ මැඩියකු නොවේ. ඌ දර්ශනීය මාලුවෙකි. ෆ්ලැට් ෆිෂ් හෙවත් පැතලි මාලු කාණ්ඩයට අයත් පතා මැඩියා තමුන් ඉන්න පළාතට අනුව වර්ණය වෙනස් කරගැනීමේ හපනෙකි. පතා මැඩියෝ වර්ග විශාල ගණනකි. එයින් එක් වර්ගයක පතා මැඩියෝ ජලයේ පතුලේ වාසය කරති. උන් ජල පත්ලේ ඇති රටාවන්ට අනුව සිය සිරුරේ හැඩහුරුකම වෙනස් කරගනිති. පතා මැඩියන් ජලය තුළ සිටින විට උන්ගේ දෑස් ඇත්තේ උඩටය. ජල තලයෙන් කිසියම් අනතුරක් වෙත්නම් ඒ හරහා ඌට ලේසියෙන් අඳුනාගන්නට හැකියාව ලැබේ.

 

2. කොළයා

කොළයා සිංහරාජයේදීද හමුවෙන ලංකාවේ ද දකින්නට ලැබෙන සතෙකි. කොලයා කෘමියෙකි. ඌ පෙනුමෙන් කොළයකට සමානය. කොළයා ආහාරයට ගන්නේද ශාඛ පත්‍ර වේ. ඇතැම් පළාත්වල මේ කොළයාට පේර කොළයා යැයිද ව්‍යවහාර වේ. මේ කොළයාගේ පේර කොළයක් ලෙස දිස් වන්නේ එක් පැත්තක් පමණක් නොවේ. ඌ අනෙක් පස හැරෙව්වද ඒ පැත්තද තනිකරම කොළයක් හැඩයට දිස්වේ.

 

3. බෝදිලිමා

බෝදිලිමා ලංකාවේ වනාන්තර වල සිටින අසිරිමත් කුඩා සතෙකි. විශාල කටුස්සකු මෙන් දිස්වන බෝදිලිමා ටිකක් කම්මැලි සතෙකි. සිටින තැන අනුව සිරුරේ පැහැය වෙනස් කරගැනීමට බෝදිලිමා දක්ෂය. එයින් බෝදිලිමාට සැඟවීමට පහසුය. එසේම මේ බෝදිලිමා වැනි සතුන් පාට වෙනස් කරගැනීමේ තවත් රහසක් තිබේ. බෝදිලිමා වැනි සතුන්ට පහද දෙන විලෝපිකයින් සතුව ආහාරයට සුදුසු සතුන්ගේ වර්ණ හැඩරුව ගැන යම් මතකයන් ඇත. හිටිවනම බෝදිලිමා පාට වෙනස් කළ විට ඒ විලෝපිකයාට ‘මූ කන්න හොඳ සතෙක්ද නැද්ද?’ යන සැකය ද ඇතිවේ. සතුන් විලෝපිකයින්ගෙන් ගැලවීමට යොදන එක් උපායක් ලෙස ඒ වර්ණය වෙනස් කරගැනීම දැක්විය හැකිය.

 

4. අගුලුවා (Cat Fish)

අගුලුවා යැයි කියන විට තරමක් ආගන්තුක වුවද කැට් ෆිෂ් නමින් ජනප්‍රිය අපේ මාලු ටැංකිවල ද සිටින මත්ස්‍යයෙකි මේ. මේ කැට් ෆිෂ් අපේ මාලු ටැංකිවල සිටියද කැට් ෆිෂ්ගේ ඇතැම් නෑයින් මිනිසුන් තරම් විශාලයට වැඩේ. මේ කැට් ෆිෂ්ලා ද ඔවුන් සිටින ජලයේ ස්වභාවයට අනුව පාට වෙනස් කරගන්නා බව සොයාගෙන තිබේ. කළුපාට තටාකයකට කැට් ෆිෂ් දැමුවොත් ඌ තනිකර කලුපාට වී පාට තද කර ගනී. සුදුපාට අවර්ණ පසුබිමක ටැංකියකට කැට්ෆිෂ් දැමුවොත් ඔවුන්ගේ සිරුර තුළ දිවෙන රුධිර නාලිකා පවා බලාගත හැකි මට්ටමට විනිවිද පේන ලෙස පැහැය වෙනස් කරගන්නා බව විද්‍යාඥයින් සොයාගෙන තිබේ.

 

 

5. ස්ලොත් (Sloth)

සිව්පා ලෝකයේ මන්දගාමීම සතා ස්ලොත්ය. උගේ ස්ලෝ ගතිය නිසාම ඒ ස්ලොත් යන නම පටබැඳී තියෙනවා. ස්ලොත්ගේ ස්ලෝ බව සූටෝපියා කියන කාටුන් එකෙත් පේනවා. මේ ස්ලොත් කියන සතාත් සැඟවෙන්නට කැමා ඇඳුමක් වැනිවූ ලෝම සහිතව ඉන්නවා. කොළ පැහැයත් අලු පැහැයත් අතර වර්ණයක් ගන්නා ස්ලොත් ගේ දිගු ලෝම ඌට උස ගස් මුදුන් වල හැංගෙන්නට උදව් කරනවා. දිගු නිය ඇති ස්ලොත් උස ගස් වල අතු වල පහලට එල්ලී ගමන් කරනවා. ස්ලොත් සතුන් ස්ලෝ වුවත් ඉන්න පරිසරයේ විදියට හැංගිලා ඉන්න පුළුවන් නිසා ස්ලොත් ලා අවුරුදු දාස් ගාණක් තිස්සේ කැලේ වෙනත් දරුණු සතුන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්න ඇති.

 

6. ලිතොප්ස් (Lithops)

ලිතොප්ස් යනු පතොක් ජාතියකි. පතොක් කුලයේ ශාක තද නියංසාය පවතින පළාත්වලද ලේසියෙන් වැවේ. ගල් ගොඩැලි සහිත බිම්වල මෙන්ම වැලි කතරේද පතොක් ජාති මැනවින් වැඩේ. ලිතොප්ස් වල හැඩය කාන්තාරයේ තියෙන ගල් බොරලු වැනි හැඩයකි. ඒ නිසා ලිතොප්ස් ශාකය සියලු දේ බුදින ශාක භක්ෂකයින්ගෙන් ආරක්ෂා වෙයි . ලිතොප්ස් ශාකයේ ඇති විසිතුරු ස්වභාවය නිසා ලොවපුරා ජනතාව පෝච්චි වල සිටුවා එය මල් පැළයක් ලෙසද ගෙට අරගෙන තිබේ.

 

 

7. ගෙඹිකට බස්සා (Ceylon Frogmouth)

ලංකාවේ සහ ඉන්දියාවේ වෙස්ටන් ඝාට්ස් හි මෙම ගෙඹිකට බස්සා ජීවත් වේ. මූ සෙන්ටීමටර් විස්සක් විසිපහක් දිග පක්ෂියෙකි. උගේ ඇස් පිහිටා ඇති විදිහ නිසා ගොඩක් විශාල පරාසයක් ඌට පෙනේ. ගෙඹිකට බස්සාගේ වර්ණය අපේ වනාන්තර වල තියෙන අතු රිකිලි වල පාටම වේ. එම නිසා ඌ ලේසියෙන් හඳුනාගන්නට අපහසුය. ඌ පක්ෂියෙකු වුවත් වැඩිපුර පියා සලන කලබලකාරයෙකු නොවේ. එකම ගසේ එකම තැන ඌ මාස ගාණක් එක සේ කල් ගෙවීමට කැමතිය. මූ කොතරම් ඒ ගස් වල පොත්තට සමීපද කිවහොත් හරියටම ඌව හඳුනා නොගතහොත් එය ගසකම මියගිය අත්තක් යැයි අපේ ඇස් රැවටේ.

 

සත්ව සහ ශාක ලෝකයේ විස්කම් රැසකි. එයින් අපිට පහසුවෙන් හඳුනාගන්නට හැකි මෙන්ම ලේසියෙන් දැකගන්නට නොහැකි වෙනස්කම්ද ගොඩක් තිබේ. මේ ආකාරයට දුර්ලභ සතුන් ගස් වැල් කැලේදී දැකගන්නට නම් ඒ සඳහා ඇස කණ ආදී ඉන්ද්‍රිය ටිකක් පුරුදු කරගත යුතුය. දැන් දියුණු මිනිසුන් වී කැලයෙන් ඈත් වී සිටින අපිට එවැන් ජීවීන් ගැන රුපවාහිනියෙන් දකිනු විනා වනාන්තරයට වී සතුන් ගැන ගවේෂණයට කාල වේලාවක් නැත. එහෙත් කැලයකට ගොඩ වදින්නට ඉඩ කඩක් ලැබේනම් හැමදාම දන්න ගස් කොළන් සතා සීපාවා මෙන්ම ටිකක් අමාරුවෙන් බලාගන්න ඕනා සතුන්ද දැකගන්නට හැකිනම් එය වටිනා අත්දැකීමකි. අපිට මෙන්ම දරුවන්ටද ඒ සතුන් හඳුන්වා දීම ඔවුන්ගේ ඇස්ද අසිරිමත් ජීවීන් කෙරේ සංවේදී වීමට හේතු වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *