බ්‍රිතාන්‍ය රජ පවුලේ දික්කසාද

 දෙවැනි එළිසබත් මහ රැජනගේ විවාහය විවිධ හැලහැප්පීම් මැද වුණත් දශක ගණනාවක් තිස්සේ ස්ථිරසාරව පැවතුණේ මුළු මහත් ලෝකයටම ආදර්ශයක් වෙමින්. මේ නිසා විවිධ අවස්ථාවල දෙවැනි එළිසබත් මහ රැජින සහ ඇගේ සැමියා වන පිලිප් කුමරු අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විශාල වශයෙන් අවධානය යොමු වුණා. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය රජ පවුලේ අනිත් සාමාජිකයන්ගේ විවාහ දෙස බලද්දී එම විවාහ බිඳ වැටීම කණගාටුවට කරුණක්. උදාහරණයක් විදිහට රැජිනගේ සහ පිලිප් කුමරුගේ දරුවන් හතර දෙනාගෙන්  තිදෙනකුගේම විවාහ අවසානයේදී දික්කසාද වීම් වලින් කෙලවර වුණා. මේ නිසා අපි හිතුවා බ්‍රිතාන්‍ය රජ පවුලේ බිඳවැටුණ විවාහ පිළිබඳව තොරතුරු ඔබ වෙතට මේ විදිහට ගෙන එන්න.

 

1. මාග්‍රට් කුමරිය

දෙවෙනි එළිසබෙත් රැජිනගේ එකම සහෝදරිය වන මාග්‍රට් කුමරිය සිය පියාගේ මිය යෑමෙන් අනතුරුව දැඩි කම්පනයට පත්ව තිබුණා. එම කාලය තුළ පියාගේ සහායකයෙකු ලෙස කටයුතු කළ පීටර් ටවුන්ඩ්සෙන්ඩ් නම් රාජකීය ගුවන් හමුදා සෙබළා සමග ඇය පෙමින් වෙළුණා. කෙසේ නමුත් වන විට ඔහු දික්කසාද වී සිටි පුද්ගලයෙකු නිසා එවකට පැවති බ්‍රිතාන්‍ය රජ පවුලේ සම්ප්‍රදාය අනුව ඇගේ විවාහයට බාධා මතු වුණා. අවසානයේදී එම පෙම් සබඳතාවයට තිත තැබුණු අතර ඇය පසුව සුප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන  ඇන්තනී ආම්ස්ට්‍රෝන්ග් ජෝන් සමඟ විවාහ වුණා. එම විවාහය අර්බුද‍යට පත් වූ අතර දෙදෙනාම වෙනත් සබඳතා පවත්වාගෙන ගියා. අවසානයේ දී එම විවාහය දික්කසාදයෙන් කෙළවර වුණා.

 

2. චාල්ස් කුමරු

චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය විවාහ වන විට මුළු ලෝකයම එය සැලකුවේ සුරංගනා කතාවක එන විවාහයක් ලෙසයි. දෙදෙනා අතර තිබූ වයස් පරතරය කිසිසේත්ම ඔවුන් දෙදෙනාගේ විවාහයට ගැටළුවක් වනු ඇතැයි කිසිවෙක් සිතුවේ නැහැ. බොහෝ දෙනා විශ්වාස කළේ චාල්ස් කුමරුගේ පරිණත බව නිසා එම විවාහය සාර්ථක වනු ඇති බවයි. අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ පරස්පරතා නිසා ඔවුන් දුරස් වූ අතර චාල්ස්ගේ පෙම්වතිය වූ කැමිලා පාකර්ගේ නම මේ ගැටුම්වලට ඇදී ආවේ නිරායාසයෙන්මයි. අවසානයේදී ඔවුන් දෙදෙනාද දික්කසාදය තෝරාගත් අතර ඉන් වසර කීපයකට පසුව මුළු ලොවම කම්පා කරමින් ඩයනා කුමරිය පැරිසියේදී සිදුවූ හදිසි අනතුරකින් ජීවිතයෙන් සමුගත්තා. පසුව චාල්ස් කුමරු කැමිලා සමඟ විවාහ වුණා.

 

3. ඈන් කුමරිය

 දෙවැනි එළිසබෙත් රැජිනගේ දරුවන් අතරින් පළමු වරට විවාහ වූ තැනැත්තිය වන්නේ ඈන් කුමරියයි. රාජකීය  අශ්වාරෝහක හමුදාවේ සෙබළකු වන කපිතාන් මාක් පිලිප්ස් සමග ඇය පෙම් සබඳතාවය ගොඩනඟා ගත්තේ ඔවුන්  දෙදෙනාගේ තිබූ සමානතා නිසයි. ඔවුන් දෙදෙනාම අසුපිට යෑමේ ක්‍රීඩාවලට දැඩි ලෙස ඇලුම් කරා. විවාහයෙන් පසුව ඔවුන් දෙදෙනා අතර තිබූ වෙනස්කම් දැඩි ලෙස ඉස්මතු වීමට පටන් ගත් අතර අවසානයේ ඔවුන් දික්කසාදය තෝරා ගත්තා. ඉන්පසුව ඈන් කුමරිය සිය මවගේ සහායක ලෙස කටයුතු කළ  සෙබළකු වන තිමොති ලෝරන්ස් සමඟ විවාහ වුණා.

 

4. ඇන්ඩෘ කුමරු

රජ පවුලේ සෙල්ලක්කාරයා ලෙස සැලකුණු ඇන්ඩෘ කුමරු දෙවැනි එළිසබෙත් රැජිනගේ ප්‍රියතම දරුවා බව ප්‍රසිද්ධ රහසක්. අතිශයින් කඩවසම් පුද්ගලයෙකු වූ ඔහු බොහෝ කාන්තාවන්ගේ නෙත් සිත් වසඟ කළා. කෙසේ නමුත් ඔහු වසඟ වූයේ සාරා ෆර්ගියුසන් නම් තරුණිය හටයි. මුල් කාලයේදී ඔවුන් දෙදෙනාගේ විවාහය අතිශයින් සුභදායී ලෙස ගෙවුණු අතර කෙමෙන් කෙමෙන් ඔවුන් දෙදෙනා අතර ගැටුම් ඇති වුණා. අවසානයේදී ඔවුන් දෙදෙනාද  වෙන් වීමට තීරණය කළා. කෙසේ නමුත් මේ වන විට ඔවුන් දෙදෙනා යළිත් එකිනෙකා හට සමීප සිටිනවා.

 

5. පීටර් පිලිප්ස්

ඈන් කුමරියගේ වැඩිමහල් පුත්‍රයා වන  පීටර් පිලිප්ස් එළිසබෙත් රැජිනගේ ප්‍රථම මුණුබුරා වනවා. සිය දෙමව්පියන් මෙන්ම ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු කළ ඔහු මෝටර් රථ ධාවනයට සහ රග්බි ක්‍රීඩාවට ප්‍රිය කළාඕටම් කෙලී නම් තරුණිය සමග විවාහවූ ඔහු දියණියන් දෙදෙනකුගේ පියකු බවට පත්වූ අතර 2020 වසරේ දී සියළු දෙනාම පුදුමයට පත් කරමින් තමන් දෙදෙනා 2019 වසරේ දී දික්කසාද වූ බව ඔවුන් මාධ්‍යට හෙළි කරනු ලැබුවා.

 

6. ඩේවිඩ්ආම්ස්ට්‍රෝන්ග් ජෝන්

මාග්‍රට් කුමරියගේ වැඩිමහල් පුත්‍රයා වන ඩේවිඩ් ආම්ස්ට්‍රෝන්ග් ජෝන්ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. ඔහු කලක් ගෘහ භාණ්ඩ නිර්මාණය කිරීමේ සමාගමක් පවත්වාගෙන ගිය අතර එය බංකොලොත් වීමෙන් පසුව ආපනශාලා සමූහයක් ආරම්භ කරනු ලැබුවා. ඔහු සෙරීනා ස්ටැන්හෝප් නම් අයර්ලන්ත සම්භවයක් සහිත ප්‍රභූ පවුලක තරුණියක සමඟ විවාහ වූ අතර එම විවාහය 2020 වසරේදී නිමාවට පත්වුණා… 

 

7. ඩැවියානා වින්ඩ්සර් 

දෙවැනි එළිසබෙත් රැජිනගේ ඥාති සහෝදරයෙකු වන ග්ලෝසෙස්ටර්හි ආදිපාදවරයාගේ දියණිය වන ඩැවියානා වින්ඩ්සර්ගේ විවාහය රජ පවුල පමණක් නොව මාධ්‍ය ලෝකයත් දැඩිව කැළඹීමට සමත් වුණා.  ඇය විවාහ වීමට තීරණය කළේ නවසීලන්තයේ ස්වදේශික සම්භවයක් සහිත මාඕරී ජාතිකයෙකු වන ගැරී ලූවිස් සමඟ වීම නිසයි. විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකු ලැබුණු අතර පසුව ඔවුන් දික්කසාද වීමට තීරණය කළා.

 

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මෙය ෂෙයාර් කරන්නටද අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *