වැඩිපුර ප්‍රතිජීවක ඔසු ලබාගැනීම නිසා උදාවන අවසනාවන්ත තත්ත්වය ගැන දැනුවත්ද?

ප්‍රතිජීවක ඔසු වැඩිපුර ලබාගැනීමෙන් ඇතිවෙන ඇන්ටිබයෝටික් රෙසිස්ටන්ස් (Antibiotic Resistance) කියන්නේ ඉදිරියට ලොව මුහුණපාන දරුණු ප්‍රශ්නයක්. දැනට තිබෙන සාමාන්‍ය ආසාදන රැසකට ඇන්ටිබයෝටික් වලින් විසඳුම් ලැබෙනවා. ඒත් වැඩිපුර ඇන්ටිබයෝටික් පාවිච්චි කළාම ඊළඟට හැදෙන ලෙඩ වලට දෙන්න තවත් ඇන්ටිබයෝටික් නැති වෙනවා. ඒ වගේම ඒ ඒ ඇන්ටිබයොටික් වලට ඔරොත්තු දෙන නව ක්ෂුද්‍ර ජීවීන් ඇති වෙනවා.

 

 

1. බැක්ටීරියාවන් වෙනස් වීම

ඇන්ටිබයොටික් ගත්තාම මුල් කාලයේ හොඳට වැඩ කරනවා. ඒත් දිගටම හැම වෙලාවෙම එකම ඇන්ටිබයොටික් ගත්තාම ඒ අදාළ වෙන බැක්ටීරියාවන් එයට හුරු වෙනවා. එවැනි හුරු වීමේ ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ ඖෂධ වලින් නැසෙන්නේ එක්තරා කොටසක් පමණයි. ඉන් පසු ඉතිරි වෙන පිරිස නැවත නැවත බිහිවෙලා තවත් ඊළඟට ඒ ඔසු වලට ඔරොත්තු දෙන අලුත් බැක්ටීරියාවන් බිහි වෙනවා.

 

 

2. ඖෂධ මාෆියාව

තුන්වන ලෝකයේ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධති නිසි අයුරින් නැති රටවල වෛද්‍යවරුන්ට ඖෂධ ජාවාරම්කාර විශාල සමාගම් විසින් සියුම් ලෙස බලපෑම් කරනවා. ඔවුන් වෛද්‍යවරුන්ට සළකන්න ඔවුන්ට ඔසු හඳුන්වා දෙන්නට වෙනමම කණ්ඩායමක්ද පාවිච්චි කරනවා. ඒ හරහා සුළු ලෙඩකට ප්‍රතිකාර ගන්න ගියත් පෙති කරල් ගොඩක් ලබාදී ඉක්මනින් ලෙඩ හොඳ කරන වටපිටාවක් ඇතිකරන්නට මහන්සි ගන්නවා. ඒ තුළ වැඩි වැඩියෙන් ඖෂධම ලබාදෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා. මෙනිසා දුප්පත් රටවල ජනතාව ඇන්ටිබයොටික් යනු ඕනිම ලෙඩකට බෙහෙත් ගන්න ගිය විට ලැබෙන පෙති කරල් විශේෂයක් බවට විශ්වාස කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා.

 

 

3. වන්ශොට්වරු ජනප්‍රිය වීම

සාමාන්‍ය ඉස්පිරිතාලයක කිසියම් වෙනමම විශේෂිත සායනයකට යන විට ඒ සඳහා සතියකට, මාසයකට වරක් දිනයක් ලැබෙනවා. ඒ දිනයට ගිහින් ඒ වරට අදාළ රෝග ලක්ෂණ සහ සුව වීමේ ගුණය අනුව නව ඔසු නියම කරනවා. එහෙත් චැනල් සෙන්ටර් සහ එවැනි එක්වරක් විශාල මිලක් ගෙවා රෝගියා පරීක්ෂා කරන ස්ථානයකට ගිය විට රෝගියාත් එකවර විශාල ප්‍රතිකාර රැසක් බලාපොරොත්තු වෙනවා. සායන මෙන් නැවත නැවත යළි යළිත් ඒමක් නොමැති බැවින් වැඩිපුර ඔසු රැසක් රෝගියාට එවැනි තැන් හරහා ලැබෙනවා.

 

 

4. කුඩා ලෙඩට වැඩිපුර බෙහෙත්

දියුණු රටවල බෙහෙත් ගන්නට ගියාම බෙහෙත් ගොඩක් ලැබෙන්නේ නැහැ. මුලින් ඔවුන් අපේ තිබෙන ස්වාභාවික ප්‍රතිශක්තියට ලෙඩේ සනීප කරන්න පුළුවන්ද කියලා බලනවා. ඉන් පසු අපහසුම වුණොත් ඖෂධ යොමු කරනවා. ඒත් අපේ තත්ත්වය ඊට වඩා වෙනස්. කුඩා හෙම්බිරිස්සාවක් උණ තත්ත්වයකට යද්දිම අපි බෙහෙත් අහුරු ගිලින්නට පටන් ගන්නවා. ඉන් පසු දිගින් දිගටම බෙහෙත් ගැනීම නිසා ටිකෙන් ටික ලොකු ප්‍රතිජීවක කරා යොමු වෙන්නට සිදු වෙනවා.

 

 

5. තුණ්ඩු බලා අපිම බෙහෙත ලියාගැනීම

සාමාන්‍යයෙන් එක් බෙහෙත් තුණ්ඩුවකට බෙහෙත් ගත යුතු වන්නේ එක වරයි. එසේ නොවන නිදන්ගත රෝග වලට නම් දිගු කලක් එකම බෙහෙත් ගන්නට නියම කරනවා. එහෙත් ලංකාවේ ඇතැම් පිරිස් වරක් හෙම්බිරිස්සාව කැස්සට බෙහෙත් ගත් විට දුන් තුණ්ඩුව පවුලේ වෙනත් අයෙකු ලෙඩ වුණාමත් නැවත පාවිච්චි කරනවා. ඒ වගේම ඖෂධ නිසි ආකාරයට පාවිච්චි නොකර ඒ ඒ රෝග ලක්ෂණ අනුව තමුන්ම තීරණය කරලා ඖෂධ ලබාගන්නට පෙළඹෙනවා. එය එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ හරහා නිතර නිතර පෙති කරල් ගිලදැමීම නිසා ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් තත්ත්වය ඇතිවෙන්නට හැකියාව තියෙනවා.

 

 

6. වෛද්‍ය උපදෙස් අනුව ඔසු භාවිතා නොකිරීම

සතියකට දෙන බෙහෙත් දවස් දෙකක් තුනක් බීලා රෝග ලක්ෂණ හොඳ නම් ඒවා අතෑරලා දාන්න අපි පෙළඹිලා ඉන්නවා. ටිකක් දරුණු තත්ත්වයකට වුණත් ටික දිනක් බේත් අරගෙන ටිකක් ෆිට් එක ආවහම අපි නැවතත් බෙහෙත් ගැන වැඩිපුර අවධානයක් දෙන්නෙ නැහැ. එහෙත් එලෙස බෙහෙත් හිතුමනාපේ එකවර නැවැත්වීම හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම බෙහෙත් නියමිත මාත්‍රාවට, අදාළ කාලසටහනට අනුව ගැනීමත් වැදගත්. ප්‍රතිජීවක ඔසු වල කාලසීමාව වෙනස් වීම නිසා, බෙහෙත් අක්‍රමවත්ව ගැනීමෙන් බැක්ටීරියාවන් නැවත ඇතිවෙලා, බෙහෙත්වලට ඔරොත්තු දෙන බැක්ටීරියාවන් ඇතිවෙන්න තියෙන අවදානම වැඩි වෙනවා.

 

 

7. විසඳුමක් නැද්ද?

ඉහත ගැටළු අතරින් ඖෂධ සමාගම් මාෆියාව වැනි විශාල ලෙඩ නම් අපිට පාලනය කරන්නට බැහැ. එහෙත් හැම සුළු ලෙඩකටම විශාල පෙති ගාණක් එකවර බීලා සුවකරගන්න ඉන්න අපේ අදහස වෙනස් වුණොත් අපිටත් ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් ඇතිවීමේ අවදානමෙන් ගැලවෙන්නට පුළුවන් වෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published.