ජීවිතේ දිගින් දිගටම අසාර්ථක වෙලා, ඉන් පස්සේ අතිසාර්ථක වුණු මිනිස්සු!

People who were unsuccessful before the grand success

මේ ලෝකෙට ඇයි ස්ටීවන් කින්ග් ලා, අයින්ස්ටයින්ලා, කර්නල් සෑන්ඩර්ස්ලා වගේ යම් යම් දේවලින් ලෝකේ ප්‍රසිද්ධම මිනිස්සු තොග ගාණෙන් හම්බුනොවෙන්නේ? හේතු කීපයක්. එකක් තමයි ටැලන්ට් එක නැතිනම් විශිෂ්ටත්වය හැමෝම මිටින් ගෙන උපදින්නෙ නෑ. සමහරු උපතින්ම විශිෂ්ට හැකියාවන්ගෙන් යුක්තයි. තවත් සමහරු කාලයාගේ ඇවෑමෙන්, පුහුණුව තුළින් විශිෂ්ටත්වය ලඟා කරගන්නවා. හැබැයි ඔය මොන විදියට විශිෂ්ටත්වය තිබුණත්, ඒකෙන් විතරක් ලෝකපූජිත වෙන්න, අතිසාර්ථක වෙන්න බෑ. ඒකට තව දෙයක් තියෙන්න ඕන. ඒ තමයි නොපසුබස්නා වීර්යය. දැන් අපි ඕනම කෙනෙක් කොයි තරම් විශිෂ්ට වුණත්, නැති වුණත්, අපි දෙයක් කරන්න පටන් ගත්තහම එක ෂොට් එකෙන් සාර්ථක වෙයි කියලා කියන්න කොහොමටවත් බෑ. එතකොට ගොඩක් දෙනෙක් එතනින් එහාට උත්සාහ කරන්නේ නෑ. එක පාරක්, දෙපාරක්, තුන්පාරක් අසාර්ථක වුණහම, වැඩේ අල්ලලා දාලා වෙන ලේසි දෙයක් කරගෙන ෂේප් එකේ ජීවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි අනූනව පාරක් අසාර්ථක වුණාට පස්සෙත්, පස්ස ගහන්නෙ නැතුව සියවෙනි පාරටත් ට්‍රයි කරන්න වීර්යය තියෙන, ගට්ස් තියෙන, උත්සාහය තියෙන මනුස්සයෙක් ඉන්නවා නම්, අන්න එයා තමයි සාර්ථක වෙන්නෙත්, ලෝක පූජිත වෙන්නෙත්.

මේ අපි කියන්න යන්නේ, අන්න ඒ විදියට නැවත නැවතත් ජීවිතේ අසාර්ථක වෙලා, අන්තිමට සාර්ථක වුණු, එහෙම සාර්ථක වෙලා ලෝක ප්‍රසිද්ධ වුණු කීපදෙනෙක් ගැන.

01. ඇල්බට් අයින්ස්ටයින්

People who were unsuccessful before the grand success

ලෝකේ එතෙක් මෙතෙක් ජීවත් වුණු විශිෂ්ටතම ප්‍රාඥයෙක් විදියට සැලකෙන ඇල්බට් අයින්ස්ටයින්, අසාර්ථක මිනිහෙක් විදියට සැලකුනා කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? වයස අවුරුදු 4 වෙනකල් අයින්ස්ටයින් කතා කරන්න පටන් අරගෙන නැහැ. එතකොට, වයස අවුරුදු 16 දී අයින්ස්ටයින් ස්විස් ෆෙඩරල් පොලිටෙක්නික් විද්‍යාලයට ඇතුළත් වෙන්න තිබුණු පරීක්ෂණයෙන් අසමත් වෙනවා. පස්සේ කොහොමහරි අයින්ස්ටයින් උපාධිය ගත්තත්, ඒක බොහොම අමාරුවෙන් ගන්නේ. මොකද, අයින්ස්ටයින් බොහොම අසීරුවෙන් තමන් තෝරගත්ත පාඨමාලාව කරගෙන යන්නේ. සෑහෙන්න අමාරුවකින් කරගෙන යන අයිස්ටයින්, උපාධිය සම්පූර්ණ කරන්න කලින් ඉවත් වෙන්නත් ඔන්න මෙන්න යනවා. ඒ වෙනකොට අයින්ස්ටයින්ගේ පියා මියයනවා. පියා ජීවිත කාලෙම සැලකුවේ තමන්ගේ පුතා අයින්ස්ටයින් කියන්නේ ලෝක අසාර්ථකත්වයක් විදියට. මේකත් අයින්ස්ටයින්ට සෑහෙන්න මානසික බලපෑමක් කරනවා. කොහොම හරි උපාධිය අරගෙන, අයින්ස්ටයින් ඉන්ෂුවරන්ස් විකුණන කෙනෙක් විදියට ගෙයින් ගෙන යන ජොබ් එකක් හොයාගන්නවා. ඊට අවුරුදු දෙකකට පස්සේ පේටන්ට් ඔෆිස් එකේ ඇසිස්ටන්ට් කෙනෙක් විදියට ජොබ් එකක් ලැබෙනවා.

පස්සෙ කාලෙක සාපේක්ෂතාවාදය ඇතුළුව, කාලය සහ අවකාශය සම්බන්ධයෙන් යුග ප්‍රකට සිද්ධාන්ත ඉදිරිපත් කළෙත්, මේ විදියට අසාර්ථකත්වයක් විදියට සැලකුණු ඇල්බට් අයින්ස්ටයින්ම තමයි.

02. ජේ.කේ.රෝලින්ග්

People who were unsuccessful before the grand success

අසාර්ථක වීම් රාශියකට පස්සේ කාලෙක සාර්ථක වුණු ජනප්‍රියම චරිත වලින් එකක් කියලා ජේ.කේ.රොලින්ග්ස්ව හඳුන්වනවා නම්, ඒකේ කිසිම වැරැද්දක් නෑ. ඇත්තටම දැන් වෙනකොට මේ ලෝකේ වඩාත් තරුණ සහ මැදි වයස් පරම්පරා වල, ජේ.කේ.රෝලින්ග් කියන නම අහලා නැති අය ඉන්න පුලුවන් ඉතාම ස්වල්පයයි. ඒ අය වුණත්, අනිවාර්යයෙන්ම රෝලින්ග්ස්ගේ හිට් එක වෙන හැරී පොටර් ගැන අහලා තියෙනවා. මේ වෙනකොට රෝලින්ග්ගේ වටිනාකම ඩොලර් බිලියනයක් විතර. ඒ වගේම, ඩොලර් බිලියනයක වටිනාකම් සීමාව පැනපු එකම ලේඛිකාව විදියටත් රෝලින්ග්ව හඳුන්වනවා.

හැබැයි එහෙම වුණාට, රෝලින්ග්ගේ පටන් ගැන්ම සාර්ථක නෑ. වයස 17 දී ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළු වෙන්න ගියත් ඇයව ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඈ එක්ස්ටර් සරසවියට ඇතුළු වෙන්නේ. කොහොම හරි ඊට පස්සේ ජිවිතේ අවාසනාවන්ත සිදුවීම්, වැරදි විවාහයක්, ගෘහස්ථ හිංසනය වගේ දේවල් රාශියක් එක්ක, 1993 වෙනකොට රෝලින්ග් යනවා තමන්ගේ සහෝදරී එක්ක ජීවත් වෙන්න. ඒ වෙනකොට ඇයගේ විවාහයේ ඉඳලා වෘත්තිය දක්වා හැමදෙයකින්ම ඈ අසාර්ථකයි කියලා තමයි ඇය අවට හිටපු අයත් සැලකුවේ. ඒ වෙනකොට ඇය විශාදයෙන් පෙළෙමින් හිටියා විතරක් නෙවෙයි, දිවි තොර කරගන්න අවදානමකත් හිටියලු.

කොහොම හරි, ඊට අවුරුදු දෙකකට පස්සේ ඈ හැරී පොටර් පළවෙනි අත්පිටපත ඉවර කරනවා. ඒ වෙනකොට ඒ අදහස ඇවිත්, ලියන්න පටන් අරගෙන අවුරුදු පහක්. එතනින් පස්සේ ඇය ඒ පොත ප්‍රකාශයට පත් කරන්න ඒජන්ට් කෙනෙක් හෙව්වත්, අවුරුද්දක් තිස්සේ ඒකත් අසාර්ථක වෙනවා. ලෝකේ ප්‍රධාන ප්‍රකාශන සමාගම් දොළහක්ම ඒ අත්පිටපත ප්‍රතික්ෂේප කරනවා. හැබැයි අන්තිමට, රෝලින්ග්ට පොඩි ප්‍රකාශන සමාගමකින් මේ පොත ප්‍රකාශ කරනවා කියලා පවුම් 1500 ක ඇඩ්වාන්ස් එකක් ලැබෙනවා. හැරී පොටර් අදහස ඇවිත් අවුරුදු 7 කට පස්සේ, රෝලින්ග්ට 32 දී පළවෙනි හැරී පොටර් පොත ප්‍රකාශයට පත් වෙනවා. එතනින් එහාට රෝලින්ග් කොහොම බිලියනපතිනියක් වුණාද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ!

03. ස්ටීවන් කින්ග්

People who were unsuccessful before the grand success

මේ වෙනකොට ලෝකේ එතෙක් මෙතෙක් හිටපු සාර්ථකම සහ ජනප්‍රියම ලේඛකයන් අතරින් ඉහළම තැනක් ගන්නවා ස්ටීවන් කින්ග්. එයාගේ පොත් මිලියන 350 කට වඩා ප්‍රමාණයක් මේ වෙනකොට විකිණිලා තියෙනවා. හැබැයි ඇත්තටම, ස්ටීවන් කින්ග්ගේ තියෙන අමුතු ලේඛන ශෛලිය නිසාම, පටන් ගන්නකොට එයාවත් දරුණු විදියට ප්‍රතික්ෂේප වෙලා තිබුණු කෙනෙක්.

ස්ටීවන් කින්ග්ගේ ආශාව සහ සිහිනය වුණේ ලේඛකයෙක් වෙන එක. ඉතින් ස්ටීවන් කින්ග් ඒ සිහිනය වෙනුවෙන් පුංචි කාලේ ඉඳලම බොහොම වැරවෑයමින් වැඩ කළා. හැබැයි අවුරුදු 14 ඉඳලම ප්‍රතික්ෂේප වෙන ලියුම් කින්ග්ට ඇවිත් තියෙනවා. ඒ ලියුම් ප්‍රමාණය කොච්චරද කියනවා නම්, බිත්තියේ ගහපු ඇණේක රඳවපු ප්‍රතික්ෂේප වෙන ලියුම්, ප්‍රමාණයෙන් වැඩි වෙනකොට, ඒ බර දරන්න බැරුව ඇණේ ගැලවිලා වැටුණලු.

කොහොම හරි 23 වෙනකොට ගුරුවරයෙක් විදියට සහතිකයක් ලබාගත්තු කින්ග් ගුරු වෘත්තියට පිවිසෙන්න හැදුවත්, ඒකත් සාර්ථක වෙලා නෑ. ඉතින් ගුරු වෘත්තියත් පැත්තකින් තියලා ස්ටීවන් කින්ග් ලොන්ඩරි සර්විස් එකක වැඩ කරලා තියෙනවා. හැබැයි තමන්ට තියෙන අමතර කාලයේදී ලියන එකත් නවත්තන්නේ නැතුව. අන්තිමට ගුරු රැකියාවක් ලැබිලත්, කින්ග් තමන්ගේ ලිවීම නවත්තන්නේ නෑ. හැබැයි ඒ එකක්වත් ප්‍රකාශයට පත්වෙන්නෙත් නෑ. අන්තිමට, ප්ලේබෝයි මැගසින් එකට පවා තමන්ගේ කතාව යවලත්, ප්‍රකාශයට පත්වෙන්නෙ නැති තැන, කින්ග්ට හතිවැටෙනවා. තමන්ගේ කතාව කුණුකූඩෙට විසි කරනවා. ඒත් කින්ග්ගේ බිරිඳ ආයෙමත් ඒක අහුලලා, කින්ග්ව දිරිමත් කරනවා. ඉතින් ස්ටීවන් කින්ග් ඒක පොතක් බවට පත් කරනවා. ඒත් තාමත් ප්‍රතික්ෂේප වීම් අවසන් නෑ. කින්ග්ගේ පොත ප්‍රකාශකයෝ 30 දෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. අන්තිමට, එක ප්‍රකාශකයෙක් ඒක පබ්ලිෂ් කරනවා. ඒකට ලැබුණු ඩොලර් 2500 ක ඇඩ්වාන්ස් එකෙන් පටන් ගත්තු ගමන, අද වෙනකොට ස්ටීවන් කින්ග් මිලියන 600ක් විතර වටින ලේඛකයෙක්.

04. කර්නල් හාර්ලන්ඩ් සෑන්ඩර්ස්

People who were unsuccessful before the grand success

කර්නල් හාර්ලන්ඩ් සෑන්ඩර්ස් කියන්නේ කවුද කියලා ගොඩක් අය දන්නෙ නැතුව ඇති. හැබැයි KFC කිව්වොත් අද වෙනකොට නොදන්න කෙනෙක් නැහැනේ. මේ කර්නල් තමයි ඇත්තටම KFC චිකන් වල සහ KFC ජාලයේ නිර්මාතෘවරයා. එහෙම කිව්වට ඇත්තටම මුලින් කර්නල් සෑන්ඩර්ස් ප්‍රසිද්ධ වුණේ එයාගේ අසාර්ථක වීම් නිසා තමයි. තමන්ට අවුරුදු 5 දීම පියා මියයෑමත් එක්ක, හාර්ලන්ඩ් සෑන්ඩර්ස්ට උරුම වෙන්නේ කටුක ළමා කාලයක්. ඇත්තටම සෑන්ඩර්ස් උයන්න පුරුදු වෙන්නේ, අම්මා රස්සා කරන්න දවස් ගණන් පිට ගිහින් ඉන්නකොට, තමන්ගේ නංගිලා මල්ලිලා බලාගන්න, ඒ අයට උයලා කන්න දෙන්න වුණායින් තමයි. වයස අවුරුදු 10 වෙනකොටම සෑන්ඩර්ස් දුප්පත්කම නිසා ගොවිපොළක අත්උදව්කාරයෙක් වෙනවා.

තමන්ගේ ජීවිත කාලය පුරාම අභාග්‍යයන්ට මුහුණ දෙන සෑන්ඩර්ස් එක එක රස්සා කරනවා. හැබැයි එකක් වත් ඉස්සරහට යන්නෙ නෑ. අන්තිමට වයස අවුරුදු 40 දී විතර් සෑන්ඩර්ස්, චිකන් කෑම විකුණන රෙස්ටුරන්ට් එකක් පටන් ගන්නවා. හැබැයි මාස හතරක් යනකොට ඒක ගිනිගෙන විනාශ වෙනවා. කොහොම හරි, කර්නල් අවුරුදු 50 වෙනකොට තමයි රහස් වට්ටෝරුවට අනුව හදපු KFC චිකන් හරියට එළියට දාන්නේ. එතනින් එහාටත් අභාග්‍යය සහ අසාර්ථකත්වය නවතින්නෙ නෑ. යුද්ධේ එනවා 1942 දී. කර්නල් තමන්ගේ බිස්නස් එකත් විකුණලා දික්කසාදත් වෙනවා. අන්තිමට කර්නල් සෑන්ඩර්ස්ට වයස අවුරුදු 65 වෙනකොට එයාගේ නමට තියෙන්නේ ඩොලර් 105 යි. එයාගේ චිකන් රෙසිපි එක අවන්හල් 1,009 කින් ප්‍රතික්ෂේප වෙනවා. හැබැයි උත්සාහය අතහරින්නෙ නැතුව දිගටම යන සෑන්ඩර්ස්ගේ රෙසිපිය එක අවන්හලකින් භාරගන්නවා. ඊට පස්සේ රට පුරාම KFC චිකන් විකිණෙන්න පටන් ගන්නවා. ජීවිතේම අසාර්ථක වුණු කර්නල් හාර්ලන්ඩ් සෑන්ඩර්ස් සාර්ථකත්වය කරා අඩිය තියනවා.

05. වෝල්ට් ඩිස්නි

People who were unsuccessful before the grand success

වෝල්ට් ඩිස්නි කියන නම අහලා නැති කෙනෙක් වුණත්, මිකී මවුස් ගැන, එහෙම නැතිනම් ඩිස්නිලෑන්ඩ් ගැන දන්නවා. ඇත්තටම මේ නිර්මාණ වලින් ලෝක ප්‍රසිද්ධ වුණු වෝල්ට් ඩිස්නි ඇත්තට අවුරුදු 22 දී පත්තරේ වැඩ කරනකොට, එඩිටර් ඩිස්නිව රස්සාවෙන් අයින් කරලා. ඒකට හේතුව විදියට කියලා තියෙන්නේ “පරිකල්පනයක් නැති කම සහ හොඳ අදහස නැති කම නිසා” කියලා. ඊට පස්සේ Laugh-O-Gram කියලා එයාගෙ පළවෙනි ඇනිමේෂන් ස්ටුඩියෝ එක පටන් ගත්තා. හැබැයි ඊට පස්සේ ඒ ස්ටුඩියෝ එක බංකොලොත් වුණා. ඊට පස්සේ වෝල්ට් ඩිස්නි ලොස් ඇන්ජලීස් වලට යන්නේ සාක්කුවේ ඩොලර් හතළිහක් විතරක් තියාගෙන. ඒ වෙනකොට ඇත්තටම හොලිවුඩ් වල ඇනිමේෂන් ස්ටුඩියෝස් තිබුණෙ නෑ. කොහොමහරි එතනින් පස්සේ හමයි මිකී මවුස් චරිතය බිහිවුණේ. ඊට පස්සේ වෝල්ට් ඩිස්නි මිය යනකොටත් වෝල්ට් ඩිස්නි සමාගම ලෝකේ ප්‍රමුඛතම සජීවීකරණ, චිත්‍රපට නිර්මාණය කරන සමාගමක් සහ සන්නාමයක් බවට පත් වෙලා තිබුණේ. ගණන් කරන්න බැරි තරම් සම්මාන දිනලා තිබුණා. සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 95.79 ක් වෙලා තිබුණා. ඉතින් ඒ සාර්ථකත්වයට වෝල්ට් ඩිස්නි ආවේ, අසාර්ථක වීම් ගොන්නක් මැදින් තමයි.

06. ජැක් ලන්ඩන්

People who were unsuccessful before the grand success

පොත් කියවන අය නම් ජැක් ලන්ඩන් ගැන හොඳින්ම දන්නවා. සමහරු ජැක් ලන්ඩන් ගැන අහලා නොතිබුණත්, අනිවාර්යයෙන්ම ලන්ඩන්ගේ “කෝල් ඔෆ් ද වයිල්ඩ්” සහ “වයිට් ෆෑන්ග්” පොත් ගැන නම් අහලා ඇති. උපතේ ඉඳලම අසීරු ළමා කාලයක් ගත කරපු ජැක් ලන්ඩන්, පස්සේ තීරණය කරනවා ලේඛකයෙක් විදියට ඉස්සරහට යන්න. හැබැයි, ලන්ඩන්ට ජීවත් වෙන්න විවිධ රැකියා කරන්න සිද්ධ වෙනවා. ජැක් ලන්ඩන් ඇත්තටම වීදුරු පිසදමන්නෙක්, රාත්‍රී මුරකරුවෙක්, මුහුදු බෙල්ලෝ අල්ලන මුහුදු මංකොල්ලකාරයෙක්, කම්හල් සේවකයෙක්, නාවික තොටුපොළ වල බඩු පටවන්නෙක් වගේ විවිධ රස්සාවන් කළා. හැබැයි ලන්ඩන් තමන්ගේ ලේඛන හැකියාව දියුණු කරගන්න අධිෂ්ඨානයක හිටියා. ඒකට මාර්ගය විදියට ලන්ඩන් තෝරාගත්තේ අභ්‍යාසය. ලන්ඩන් දවසකට වචන දාහක් ලියනවාමයි කියන අධිෂ්ඨානයෙන් කටයුතු කළා. ඒ වගේම, රෑ එළි වෙනකල් වැඩ කරන්න වුණත්, ලන්ඩන් ඒ අභ්‍යාසය බිඳදැම්මෙත් නෑ.

හැබැයි එහෙම වුණාට, ඇත්තටම ජැක් ලන්ඩන් ලියපුවා ප්‍රතික්ෂේප වුණා. පත්තර වලට සඟරා වලට ලිව්වත්, කවුරුවත් ඒවා ප්‍රකාශයට පත් කරන්න කැමති වුණේ නෑ. හැබැයි මේ නිරන්තර ප්‍රතික්ෂේප වීම්, හරියටම කිව්වොත් පණහකට අධික ප්‍රතික්ෂේප කිරීම් වලින් ලන්ඩන් වෙහෙසට පත් වෙලා ඉන්න අතරවාරයේදී තමයි පළවෙනියට එයාගේ කථාවක් ප්‍රකාශයට පත් වෙන්නේ. ඊට පස්සේ ඉතින් අවුරුදු 27 වෙනකොට ලන්ඩන්ගේ හැමෝම දන්න “කෝල් ඔෆ් ද වයිල්ඩ්” පොතත් ප්‍රකාශයට පත් වෙනවා.

07. සිල්වෙස්ටර් ස්ටැලෝන්

People who were unsuccessful before the grand success

ස්ටැලෝන් කියන නළුවා ගැන නොදන්න කෙනෙක් ඉන්න විදියක් නැහැනේ. රම්බෝ, රොකී වගේ චිත්‍රපටි වල ස්ටැලෝන් කරපු චරිත සදා අමරණීයයි. හැබැයි සිල්වෙස්ටර් ස්ටැලෝන් ඒ වෙනකල් ආපු ගමන නම් ඒ තරම් රෝස මල් අතුරපු පාරක නෙවෙයි.

ස්ටැලෝන්ට නළුවෙක් වෙන්න සිහිනයක් තිබ්බා. 70 දශකයේදී ස්ටැලෝන් නිව්යෝර්ක් වලට එන්නේ ඒ ආශාව ඉෂ්ට කරගන්න. හැබැයි කවුරුවත් ස්ටැලෝන්ට චරිතයක් දෙන්න කැමති වුණේ නෑ. ඒකට හේතු විදියට කිව්වේ, ස්ටැලෝන් ඇවිදින්නේ අමුතු විදියට, කතා කරන්නෙත් අමුතු විදියට, ඒ මදිවට ස්ටැලෝන්ට රඟපාන්නත් බෑ කියන එක තමයි. මේ වෙනකොට ස්ටැලෝන් ආර්ථිකයෙන් බිංදුවටම වැටිලා හිටියේ. වෙන එකක් තියා, තමන්ගේ ලයිට් බිල ගෙවාගන්න විදියක් නැති නිසා, ස්ටැලෝන්ට සිද්ධ වෙනවා ඩොලර් 25 කට තමන්ගේ සුරතල් බල්ලව විකුණන්න. ඒ වෙනකොට ටැලන්ට් ඒජන්ට්ලාගෙන් 1500 වතාවකට වැඩියෙන් ස්ටැලෝන්ව ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. හැබැයි ස්ටැලෝන් නවතින්නෙත් නෑ. හැමදාමත් ගිහින්, ඒජන්ට්ලගේ ඔෆිස් වල ඉඳගෙන ඉඳලා, තමන්ගේ වාරෙ ආවහම ඒ අය ඉස්සරහට ගිහින්, ආයෙ ආයෙත් ප්‍රතික්ෂේප වෙලා ගෙදර එනවා. අන්තිමට ස්ටැලෝන් වැටෙන්න තියෙන අන්තිම අඩියටම වැටෙනවා. ආර්ථිකේ බිංදුවටම හිඳිලා, තමන්ට ඉන්න හිටින්න තැනක් පවා නැතිවෙනවා. සති තුනක් තිස්සේ ස්ටැලෝන් නිදාගන්නේ බස් හෝල්ට් එකක. අන්තිමට, ස්ටැලෝන් රොකී ස්ක්‍රිප්ට් එක ලියනවා. ඒක හිට් වෙනවා. ඒකට ඩොලර් 325,000 ක ඔෆර් එකක් ලැබෙනවා. හැබැයි එක කොන්දේසියක් උඩ. ස්ටැලෝන් මේකේ රඟපාන්න බෑ. ඒ නිසා ඒ ගාණ ස්ටැලෝන් ප්‍රතික්ෂේප කරනවා. අන්තිමට ඩොලර් 35,000 ක සහ ෆිල්ම් එකේ ආදායමෙන් ප්‍රතිශතේක ඔෆර් එකකට ස්ටැලෝන් රොකී විකුණනවා. රොකී ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ස්ටැලෝන් විසින්ම කරන්න ඕන කියන එක තමයි ස්ටැලෝන්ගේ කොන්දේසිය වෙන්නේ. අන්තිමට ෆිල්ම් එක බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 200 ක් වාර්තා කරනවා. එතනින් එහාට ස්ටැලෝන් ආපු ගමන ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *