ලොව පැරණිම ගස් 7 ගැන දන්නවද?

ගහක් හරහට කපනකොට වයිරන් වයිරන් වගේ ලස්සන රටා තියෙනවා පේනවා. ලංකාව වගේ සෘතු භේදය අඩු රටවල මේ ගස් වල වයිරන් අඩුයි. ඒත් හොඳට සෘතු වෙන්වන පැහැදිලි දේශගුණික  වෙනසක් තියෙන රටවලදි ගස්වල මේ රටාවන් හොඳට පේනවා. මේ රටාවන් අනුව ගස් වල වයස කියන්න පුළුවන්. ඒ අනුවත් වෙනත් කරුණු ඔස්සේත් විද්‍යාව හදාරන අය ලෝකේ පැරණි ගස් මොනවාද කියලා හොයල තියෙනවා. සමහර විට මේ ගස් වලටත් වඩා පැරණි ගස් ලෝකේ තියෙන්න පුළුවන්. ඒත් මිනිස්සු දැනට හොයාගෙන තියෙන පැරණිම ගස් 7 තමයි මේ තියෙන්නේ.

 

7. Llangernyw Yew

එංගලන්තයේ වේල්සයේ තිබෙන මේ ගහ අවුරුදු හාරදහකට වඩා පරණයි. මේ ගහේ මැද කොටස දිරා ගිහින් නිසා හරියටම ගහේ වයස කියන්න අමාරුයි. දිරාගියාට පස්සේ මේ ගහේ කොටස් වටින් පිටින් නැවත රෝපණය වෙලා ලියලලා දාල ඇවිල්ල තියෙනවා. වේල්සයේ මිත්‍යා කතාවන් එක්කත් සම්බන්ධ මේ ගස තියෙන්නේ පල්ලියකට අයිති භූමියක. මේ ගැන වසර දාහකට එහා කාලයක සිට ලිඛිත වාර්තාත් පල්ලිය සතුව තියෙනවා. එලිසබත් රැජිනගේ රන් ජුබිලිය යෙදුණු 2002 වර්ෂයේ දී එතෙක් ජීවත් වුණු පැරණිම ගස් අතර මේ ගහත් හරසරට ලක් වුනා.

 

6. Methuselah

අවුරුදු 4789ක් පරණයි කියලා ස්ථිරවම සනාථ වෙලා තියෙන මේ ගහ 2012 වර්ෂය වෙනකල් ලෝකේ තියෙන පැරණිම ගහ විදිහට සැලකුවා. කැලිෆෝනියාවේ ඉන්යෝ කන්ට්‍රි වල සුදු කන්දේ තමයි මේ ගහ පිහිටලා තියෙන්නේ. ඒම කිව්වට මේ පැරණි ගහ හරියටම මොකද්ද කියලා විද්‍යාඥයින් ලොවට එලිදරව් කරලා නැහැ. මොකද එහෙම එළි කළොත් ඒක ගහට කරදරයක් වෙන්නට පුළුවන් නිසා. මේ ගහේ වයස එක්ක බැලුවාම ඊජිප්තු කාරයෝ පිරමිඩ් හදාපු ක්‍රිස්තු පූර්ව යුගයේදී පවා මේ ගහ පැලයක් වගේ ඇමරිකාවේ තියෙන්නට ඇති. 2003 දී විද්‍යාත්මක කටයුතු සඳහා මේ ගස කැණීම් කරන්න ජෙරාඩ් මිලාර්ච් ට අවසර ලැබුනා.

 

5. Prometheus

1964දි සොයාගත් මේ ගහ අවුරුදු 4850-4900ක් අතර කාලයක් පැරණිය කියලා විශ්වාස කරනවා. අමරිකාවේ නෙවාඩා හි වීලර් පාක් හි පැරණි ගස් අතර තමයි මේ පයින් ගස පිහිටලා තිබුණේ. මේ ගහ දැන් නම් ජීවතුන් අතර නැහැ. 1964 දී මෙම ගහ ගැන පරීක්ෂණ කරන්න ඩොනල්ඩ් ආර්. කුරේ කියන කෙනෙක්ට අවසර ලැබෙනවා. ඔහු කිසිම වගවිභාගයක් නැතුව ගහ මුල්ම හරියකින් කපලා තමයි ගහෙ වයස හොයන්න ගිහින් තියෙන්නේ. මේ පළාතේ ආදි කාලේ තිබුන අයහපත් කාලගුණ තත්ත්වයන් අනුව ගසේ රැළි ආදිය හරියට නොපෙනන නිසා මේ ගහ අවුරුදු 4900කටත් වඩා පරණ වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයින් මත පළ කරලා තියෙනවා. මේ ගහේ ඒ කපාපු පදාසයක් ඒ පාක් එකේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒක බලලා අවශ්‍ය කෙනෙක්ට ගහේ ඇතුලේ රැළි අනුව වයස බලාගන්න අදත් අවස්ථාව තියෙනවා.

 

4. Unnamed Great Basin Bristlecone Pine

තනි ගහක් විදිහට ගත්තාම පැරණිතම ගහක් විදිහට දැන් ලෝකේ සැලකෙන තනි ගහක් තමයි මේ. මේ ගහ අවුරුදු 5072ක් පැරණියි කියලා තමයි විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. පර්යේෂකයෙක් මේ ගහේ පර්යේෂණ සඳහා කොටසක් 2010 වර්ෂයේදී ලබාගත්තත් ඔහු හදසියේම මිය පරලොව ගියා. ඔහු විසින් කියන ලද දත්තයක් මිස මේ ගසේ අවුරුදු සනාථ කරගන්න සත්‍ය සාම්පලයක් තවමත් විද්‍යාඥයින් සතුව නැහැ.

 

3. Old Tjikko

ස්වීඩනයේ ෆුලුෆ්ජාල්ලෙට් කියන කඳු මුදුනේ තියෙන මේ ගහ නමින් නෝවේ ස්පෘස් කියලා හැඳින්වෙනවා. අවුරුදු 9550කට වඩා මේ ගහ පැරණියි කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේම මේ ගහ තාමත් හොඳ තත්ත්වයෙන් ජීවමානව තියෙනවා. මේ ගහ අලුත් මුල් කඳ ලියලාදාලා අලුතින් හැදෙන මාදිලියේ ගහක්. මේ ගහේ මුල් පද්ධතියේ කොටස් නම් අවුරුදු දහදාහකටත් වඩා පරණයි කියලා හොයාගෙන තියෙනවා. මේ පළාතට මුල් කාලයේ සංක්‍රමණය වුණු මානවයින් විසින් ගෙන ආ ගහක් කියලා සැලකෙනවා. මේ ගහේ පර්යේෂණ කටයුතු වලින්, ස්වීඩනයේ මේ ගහ මුලින්ම පැළ වුන කාලයේ ස්වීඩනය මීට වඩා උණසුම් රටක් වෙන්නට ඇතිය කියලාත් මත පළ වෙලා තියෙනවා.

 

2. Jurupa Oak

ජුරුපා ඕක් නැතිනම් පාර්මර් ඕක් කියලා හඳුන්වන මේ ගහ නැවත නැවත ඇතිවෙමින් ලියලමින් අවුරුදු 13,000ක් තිස්සේ මිහිපිට තියෙනවා. අමරිකාවේ කැලිෆෝනියාවේ ජැරුපා කඳු වල තමයි මේ ගහ තියෙනනේ. දැනටමත් ජීවමාන මේ ගස පිටින් බැලූ විට පඳුරු පඳුරු ආකාරයෙන් තමයි පේන්නට තියෙන්නේ. මේ ගහ මුල් වලින් කිලෝමීටර 2.5ක් පැතිරිලා තියෙනවා ඒ වගේම විවිධාකාර අනු කොටස් 70කට වඩා මේ ගසට අයිතියි. උසින් නම් සාමාන්‍ය පඳුරක් වගේ මීටරයක වගේ උසක් තමයි ගසට තියෙන්නේ. මේ ගහේ කාලෙකදි මල් පිපිලා හැඩට තිබුනත් මේක ප්‍රචාරනය වන්නේ නැවත ඇතිවෙන මුල් සහ අංකුර වලින්.

 

1. Pando

අවුරුදු අසූ දාහක්. පෘථිවියේ සමහර පළාත්වල මිනිසුන් පවා සංක්‍රමණය නොවු අතීත කාලයක් තමයි අවුරුදු අසූ දාහකට පෙර පෘථිවියේ තිබුනේ. මේ පෞරාණික පැන්ඩෝ ගස් තියෙන්නේ ඇමරිකාවේ උටා වල ෆිෂ්ලේක් ජාතික වනෝද්‍යානයේ. මේ පැන්ඩෝ ගස් ටික ලෝකේ පැරණිම ගස් වෙනවා සේම දැනට ජීවයෙන් තියෙන ලෝකේ පැරණිම ජීවියාද වෙනවා. මේ ගස් වලත් භූගත මුල් පද්ධතියක් සහ එයින් ඇතිකරන අංකුර වලින් තමයි ගස සකස් වෙන්නේ. ගස් පද්ධතියක් විදිහට ලෝකේ මුල්ම තැනට ආපු මේ පැන්ඩෝ මහා පඳුරු පද්ධතිය දැන් ව්‍යාප්තිය අඩු වෙලා කියලා විද්වතුන් කියනවා. ඒ පළාත් මානව ක්‍රියාකාරකම් සහ සතුන් නිසා ගසේ ප්‍රචාරන කටයුතු වල මන්දගාමී බවක් පෙන්වන බවක් තමයි ඔවුන් කියන්නේ.

 

සතා සීපාවා වගේම එක් එක් යුගේදී ගහකොළත් වේගෙන් වෙනස් වුනා. ඒත් සමහර ගස් අවුරුදු දාස් ගාණක් ගියත් ඔවුන්ගේ මූලය තියාගෙන ඒ විදිහටම අලුතින් අතුපතර විහිදිලා පෙර විදිහටම ඉන්නවා. කාලයත් එක්ක නොවෙනස් වුණු ඒ ගස් විවිධාකාර සතුන්ට පරම්පරා දහස් ගාණක් තිස්සේ ආහාර සහ සෙවණ සපයන්නට ඇති.