අද අපි කතා කරන්න යන්නේ මෑත කාලයේ ලංකාවේ සසුනඹර බබළවපු සුවිශේෂී ස්වාමීන්වහන්සේ නමක් පිළිබඳව. උන්වහන්සේ තමයි මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේගෙන් පසුව අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක පදවිය දරපු දවුල්දෙණ ඤාණිස්සර මහනායක හාමුදුරුවෝ.
1. පින්බර උපත
දවුල්දෙණ මහනායක හාමුදුරුවෝ උපත ලබන්නේ දරුවන් එකළොස් දෙනෙක් ඉන්න පවුලක නමවැන්නා විදිහට. ආලෝක මුදියන්සේලාගේ කව්රාළ සහ ගජනායක මුදියන්සේලාගේ කිරි මැණිකේ කියන පින්වත් දෙමව්පියන්ට දාව ඌව පළාතට අයත් දවුල්දෙණ නම් ගමේ 1915 දෙසැම්බර් 31 වෙනි දින මෙලොව උපත ලබන උන්වහන්සේගේ ගිහි නම ආලෝක මුදියන්සේලාගේ සිරිබද්ධන.
මැදවෙල මහ විද්‍යාලයෙන් සිප් සතර හදාරන සිරිබද්ධනට කුඩා කාලයේදීම මහණ වෙන්න දැඩි ආශාවක් ඇතිවෙනවා.
මේ ගැන අහපු දෙමව්පියෝ දෛවඥයෙක් කැඳවලා සිරිබද්ධනගේ කේන්ද්‍රය පරීක්ෂා කරනවා.ඒ අනුව ඔවුන් තීරණය කරනවා දරුවාගේ කැමැත්තට ඉඩ දෙන්න.
2. පැවිදි දිවියට එළඹීම සහ අධ්‍යාපනය
සපුගොල්ල තපෝධනාරාම මහ විහාරයේ වැඩ වාසය කරපු ඌමැලේ සිරිපියරතන සහ ඌමැලේ පඤ්ඤානන්ද නාහිමිවරුන්ගේ ආචාර්යෝපාධ්‍යත්වයෙන් සිරිබද්ධන මහණ දිවියට එළඹෙන්නේ දවුල්දෙණ ඤාණිස්සර නම් ශාසනික නාමය එතැන් පටන් භාවිතයට ගනිමින්.
මූලික අධ්‍යාපනය තපෝධනාරාමයෙන් ලබාගන්න ඤාණිස්සර කුඩා නමගේ දක්ෂතාවය ගැන අවධානය යොමු කරන ගුරු ස්වාමීන්වහන්සේ, දායක සභාවට දැනුම් දීමෙන් අනතුරුව මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ ඉගෙන ගැනීම සඳහා කුඩා හිමියන්ව යොමු කරනවා. වැලිවිටියේ සෝරත, පලන්නරුවේ විමලධම්ම, කුකුළුනාපේ දේවරක්ඛිත වැනි විශිෂ්ට හිමිවරුන් යටතේ දවුල්දෙණ හිමියන් අධ්‍යාපනය ලබනවා. පිරිවෙන් අවසාන විභාගයේදී එවකට පිරිවෙනේ ඉගෙන ගත්ත සෑම ශිෂ්‍යයෙකුගෙම හීනයක් වුණු ශ්‍යාමරාජ ත්‍යාගය දිනාගැනීමට දවුල්දෙණ හිමියන් සමත් වන අතර රාජකීය පණ්ඩිත විභාගයත් උසස් අයුරින් සමත් වෙනවා
3. ශාසනික සේවය
දෙස් විදෙස් ධර්ම ප්‍රචාරයේ නිරතවන උන්වහන්සේගේ ගුණ නුවණ කෙරෙහි පැහැදුණු පිරිසක් නුගේගොඩ පාගොඩ ප්‍රදේශයේ ඉඩම් කැබැල්ලක් උන්වහන්සේට පූජා කරනවා. අද පාගොඩ ශ්‍රී විද්‍ය විජයාරාමය නිර්මාණය වෙලා තියෙන්නෙ මේ බිම් කැබැල්ල තුළ. තමන් ඉගෙනුම ලබපු විද්‍යෝදය පිරිවෙන සිහිකිරීමට සහ එතෙක් තමන් වහන්සේ වැඩ වාසය කරපු ශ්‍රී විජයවර්ධනාරාමය සිහි කිරීම සඳහා උන්වහන්සේ මෙම නම භාවිතා කිරීමට තීරණය කරලා තියෙනවා.
පසුව උන්වහන්සේට තවත් ඉඩමක් පූජා කෙරෙන අතර එම ස්ථානයේ උන්වහන්සේගේ ශිෂ්‍යයෙකු වන ඕලන්දයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ‘ශ්‍රී ඥානේශ්වර භාවනා විවේකාශ්‍රමය’ නමින් මනහර ආරාමයක් නිර්මාණය කරනවා. ඒ වගේම වයෝවෘද්ධ තත්ත්වයේ පසුවන භික්ෂූන් වහන්සේලාට සෙවණ සැලසීම සඳහා මහනායක හිමියන් තමන් වහන්සේගේ පෞද්ගලික වියදමින් දවුල්දෙණ ශ්‍රී ඥානේශ්වර භික්ෂු ගිලන් හල ඉදි කරනවා.
4. ග්‍රන්ථකරණය
උන්වහන්සේ ග්‍රන්ථකරණයට එළඹුණේ උගත්කමින් පරිපූර්ණව සිටි අවධියේදී. පළමු කෘතිය නිකුත් කරද්දි උන්වහන්සේට වයස අවුරුදු හැට අටක්. ‘මාරාංගනා විජයම්’ නමැති සංස්කෘත කාව්‍යය උන්වහන්සේගේ පළමු ග්‍රන්ථයයි. අනතුරුව ලියවුණු ‘වෛරාග්‍ය චින්තා’ ත්‍රිලක්ෂණය විස්තර කෙරෙන සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයක්. යශෝධරා චරිතම්, මහා මහේන්ද්‍රක්ෂිණශ්‍රාවකාගමනම්, යතිදූතම් උන්වහන්සේ අතින් ලියවුණු තවත් සංස්කෘත කාව්‍ය ග්‍රන්ථ කීපයක්.
5. නැණ පහන් දැල්වීම
උන්වහන්සේගේ ගුරු සේවය ආරම්භ වෙන්නේ ඇටම්පිටිය විද්‍යාභූෂණ පිරිවෙනින්. ඉන්පසුව හුණුපිටිය ශ්‍රී ඥානේශ්වර පිරිවෙනට සම්බන්ධ වෙන උන්වහන්සේ පසුව එම පිරිවෙනේ පරිවේණාධිපති ධුරයත් දරනවා. ඉන් අනතුරුව මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ගුරුවරයෙකු ලෙස ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ දැනුම දියුණු කිරීමට කටයුතු කරන උන්වහන්සේ විද්‍යෝදය මහ පිරිවෙනේ ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරනවා. තායිවානයේ ලිංයෙං හා චුං හ්වා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයකුත් දරනවා.
6. මහා නායක පදවි ප්‍රාප්තිය
විවිධ හේතු මත අමරපුර නිකායේ කොටස් බිහිවුණු අතර ඒ අතරින් ඌව අමරපුර නිකාය ප්‍රධාන තැනක් ගත්තා. පසුව ඌව අමරපුර නිකායත් උඩරට අමරපුර නිකාය සහ උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාව වශයෙන් කොටස් දෙකකට බෙදී ගිය අතර, උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාව පිහිටුවාලීමට දවුල්දෙණ හිමියන්ගේ ගුරු ඌමැලේ ශ්‍රී ප්‍රඤ්ඤානන්ද හිමියන් ප්‍රමුඛත්වය ගනු ලැබුවා. සංඝ සභාවේ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස නිකායේ අභිවෘද්ධිය සඳහා කැපවුණු දවුල්දෙණ හිමියන් අනතුරුව අනුනායක පදවියටත් මහනායක පදවියටත් පිළිවෙළින් පත් කරගනු ලැබුවා.
මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමියන්ගේ අපවත්වීමෙන් පසුව අමරපුර සංඝ සභාවේ සියලුම නිකායවල ඒකච්ඡන්දයෙන් දවුල්දෙන ඤාණිස්සර හිමියන්ව උත්තරීතර මහා නායක මහනායක පදවියට පත්කර ගැනීමට එම සංඝ සභාව කටයුතු කළා.
7. අපවත් වීම
2017 අප්‍රේල් තුන් වැනි දා දවුල්දෙන මහ නාහිමියන් අපවත් වූ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා උන්වහන්සේ වැඩ විසූ නුගේගොඩ දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමි මාවතේ විද්‍යා විජයාරාමයේ තැන්පත් කර තිබුණා. අනතුරුව විශේෂ රන්සිවි ගෙයක් සහිත රථයක තැම්පත් කළ ශ්‍රී දේහය රිය පෙරහැරකින් ජනතා ගෞරව මධ්‍යයේ නිදහස් චතුරශ්‍රයට වැඩම කරවා එහිදී ආදාහනය කරනු ලැබුවේ රාජ්‍ය ගෞරව මධ්‍යයේයි.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply