කට්ටිය ගමේ ගියාම ෂේප් වෙන්න කියන බොරු

පහුගිය කාලෙත් කට්ටිය ගම්වල යන්න ඇතිනෙ. ඒ මදිවට ගමේ ගිහින් දන්න කියන කට්ටියවත් කාලෙකින් හම්බෙන්න ඇතිනෙ. ඔන්න ඔහොම මුණගැහෙන කට්ටිය ගැනයි අපි අද මේ කතාව කියන්නෙ. ඇත්තටම මේ විදියටම හම්බෙන අය අපෙන් කොයිතරම් නම් බොරු දේවල් අහනවද? ඒ අහන දේවල්වලට අපි කොයිතරම් නම් බොරු දේවල් කියනවද? මේ කියන්න යන්නෙ ඒ විදියට අහපු බොරුවලට අපේ අය දෙන බොරු උත්තර ගැනයි. සමහරුන්ට මෙහෙම දේවල් මතක් වෙද්දි ගමේ යන්න හිතෙන්නෙත් නෑ වෙන්න පුළුවන්. ඒත් මේ බොරු ටික හුරු වෙලා ගියොත් වැඩි ප්‍රශ්නයක් නැතුව ගමේ ගිහින් ජාමෙ බේ‍රගෙන එන්න පුළුවන්.

 

1. ඔෆිස් එකෙන් එන කෝල්

ගොඩක් අය දුකින් වුනත් අපිත් එක්ක මේ දේට එකඟ වේවි. ඒ තමයි මොකෙන් මොන නිවාඩුව තිබුනත් ඔෆිස් එකෙන් කෝල් එකක් එනවමයි කියන එක. එවුව ඉතිං සක්කරයටවත් නවත්තන්න බෑ. ඉතිං ඔය විදියට කෝල් ආවම කතා කරන තැන නොතැන බලලා අපිට ඒ කෝල් ආන්සර් කරන්න වෙනවනෙ. ඔන්න ඔය කෝල් ඉවර වුනාම දන්න අඳුරන ගමේ පොරවල් අහන දෙයක් තමයි “දැන් ඉතිං ලොක්කෙක් නේද?” කියන එක. ඒවගේ වෙලාවක ඔවු කියල පම්පෝරියක් ගැහුවොත් පුතෝ ගමේ වෙසක් තොරණටත් ‍දෙදහක් පුදලයි එන්න වෙන්නෙ. එනිසා ඒ වෙලාවට “නෑ ඉතිං ලොක්ක නැති නිසා මට කරන්න වෙන්නෙ, ඉහළ නිළධාරියො සැපට නිදි, අපි නිවාඩුවට ගමේ ආවත් නැහෙන්න ඕන ඉතිං” වගේ ටෝකක් දෙන්න.

 

2. ෂහ් අයිෆෝන්

මෙවුවත් ඉතිං අපි නොහිතන කරුම. ඔන්න කෝල් එකක් ඇවිල්ල ෆෝන් එක එළියට ගත්තොත් “අහ් ඇපල් ෆෝන් එකක් නේද? ගණං ඇති” කියනව. හදිස්සි වැඩක් කරන්න වෙලා බෑග් එකෙන් ලැප එළියට ගත්තොත් “මගෙ අම්මේ ලක්ෂ එකහමාරක්වත් වෙන්නැති නේද පුතේ” කියල අහනව. ඊටපස්සෙ කාර් එක ගැන විස්තර අහනව. මිනිස්සු ගාව තියෙන බඩු මිනිස්සු පාවිච්චි කරාට හැම මිනිහම ඕවා ගැන පම්පෝරි ගහන්න කැමති නැහැනෙ. ඊටපස්සෙ වෙන්නෙ ඉතිං “නෑ ඔය මං ගෙවන්න ගත්තෙ, එහෙමත් නැත්තං ඉතිං “ඕක මට ඔෆිස් එකෙන් දුන්නෙ. අස්වෙද්දි ආයෙ දෙන්න වෙනව” වගේ ටෝකක් දාන එක තමයි. නැත්තං අපේ ඇපල් අපිටම පැපොල් වගේ පේන්න ගන්නවන‍ෙ.

 

3. මහත් වෙලා

කට්ටිය ඔය මහත් වෙලා ටෝක දාන්නෙ ඇත්තටම මහත නිසා නෙමෙයි. දැන් ඉතිං බොලාට හෙන සැප නේද කියන ඉදිරි වචනය එළියට ගන්න බලාගෙනයි. ඒ නිසා මහත් වෙලා කියල කිවුව ගමන්ම හික් ගාලා හිනාවක් දාන්න. ඊටපස්සෙ සැප නේද කියල ඇහුවම, “මොන සැපක්ද ඉතිං දවස තිස්සෙ පුටුවක වාඩි වෙලා ඉන්නව මහ රෑ වෙනකං, බස් එකේ යන ටික විතරයි හිටගෙන යන්නෙ, අනික කන්නෙත් පිටි ගුලි නෙ” කියල ෂේප් වෙන්න. ඕවට “ඔවු සැප තමයි” කිවුවොත් අන්තිමට කතාව ඉවර වෙන්නෙ කසාදෙකුත් ඇදල අරගෙනයි.

 

4. ජොබක්

දුවෙක් ඉන්න බුවාලා හොඳ ජොබක් කරන එකෙක් හම්බෙනකං බලාගෙන ඉන්නෙ උගෙ කරේ දුවව එල්ලන්න. පුතෙක් ඉන්න බුවාලා ජොබක් කරං හොඳින් ඉන්න බුවෙක් දකිනකං බලාගෙන ඉන්නෙ පොරට කියල ජොබක් හොයල දෙන්න. ඉතිං කොහෙන් ගියත් ගැලවීමක් නෑ. අන්න ඒ නිසා “දැන් ඉතිං ඔය ළමයගෙ ජොබ් එක හොඳ ඇති නේද?” වගේ වචනයක් දාපු ගමන්ම, “මොන පිස්සුද මාමෙ කොම්පැනි වැටෙන්න යන්නෙ, ගන්න දෙයක් නෑ, හතුරෙක්ටවත් ‍සෙට් වෙන්න හොඳ නෑ මෙහෙම ජොබ්” වගේ ටෝකක් තමයි දෙන්න ඕන. නැත්තං කේස්.

 

5. දේශපාලන ටෝක්

ගමේ ගියාම සෙට් වෙන අනිත් වහන්තරාව තමයි දේශපාලන විචාරණේ කියන්නෙ. උන් සරම කැහැපොට ගහන් වාඩිවෙන්නෙම “මොකෝ පුතේ දැන් මේ රටේ දේශපාලනේ වෙන්නෙ?” කියල අහගෙන. එහෙම අහගෙන වාඩි වුනාට උන්ට ඕන නෑ ඇත්ත දැනගන්න. උන්ට ඕන උන් ආසා ටික දැනගන්න. ඒ නිසා ඒ ඒ අයට ඒ ඒ අය ආසා ටික කියල ඉක්මනට යවන්න. උදාහරණෙකට බයියෙක් සෙට් වුනොත්, “අපේ උන්ට පින නැහැනෙ මාමෙ… තව හිටයනං රට නගිනව ඩිං ඩිං ගාලා” කියන්න. ටොයියෙක් සෙට්වුනොත්, “කොහෙද ඉතිං විරුද්ධ පක්සෙ උන් අකුල් හෙලන නිසානෙ මේ හෙනේ” කියන්න. ජෙප්පෙක් සෙට් වුනොත්, “මේ දෙගොල්ල හරියන්නෑ කියල මේ රටට තේරුං ගන්න දැන් කාලෙ හරි මාමෙ” වගේ ටෝකක් දෙන්න.

 

6. අමාරුකං

ඔය අස්සෙ ඉන්නව තමුන්ගෙ අමාරුකං කියල සල්ලි කඩාගන්න එන බුවාලා. ඕකුන්ගෙ හෙන පානිය තියෙන්නෙ. “කාලෙකින් රහට කෑවෙ නෑ” වගේ රැඟිලිවලටත් එනව. එනිසා එයාලා දුක කියාගෙන එද්දිම ඔයත් දුක කියන්න පටන්ගන්න. “අපිටත් කෑම ටිකක් කන්න වෙන්නෙ මේ විදියට ගමේ ආවම තමයි. මහමගටයි, පොඩි උන්ටයි වියදං කරාම අපි කන්නෙත් පානුයි පරිප්පුයි විතරයි. ඔෆිස් එකේ පාටියක් දවසට විතරයි මස් කෑල්ලක් හරි කන්නෙ. දැන් ඒවත් නෑ” වගේ ටෝකක් නොදුන්නොත් මිසක් ගැලවෙනව බොරු පුතේ.

 

7. මොකුත් එහෙම?

තවත් බුවාලා ඇඹරි ඇඹරි ඇවිල්ල අහනව “මල්ලි එහෙං එනකොට මොකුත් බෝතලයක් හමෙ ගෙනාවෙ නැද්ද?” කියල. ඒ වෙලාවට ඉතිං බොන්නෙ නෑ වගේ බොරු කියන්නත් බෑ. ඇයි ඉතිං ෆේස්බුක් පුරවපු ෆොටෝ ගමේ උනුත් දකින‍වනෙ. ඒ නිසා “ගිය සතියෙ ඉඳන් බොන්න නෑ. ඩොකා එපා කිවුව. පුදුම අමාරුයි මටත් නැතුව ඉඳලා. කොහෙද ගෙදරින් අල්ලන්නවත් දෙන්නැහැනෙ. තත්ත්වෙ හොඳටම නරක් වෙලාලු අයියෙ.” කියල කියන්න. පිනට බොන්න එන උන් කියන්නෙ මේ ලෝකෙන් තුරං වෙන්න ඕනම ජාතියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *