සතියෙ දවස්වල ඔෆිස් එකට යන්න හැරුනාම වෙනිං දවසක කොල්ලෙක් ගෙදරින්, විශේෂයෙන්ම කාමරයෙන් එළියට බස්සගන්න එක හරිම අමාරු වැඩක්. හැබැයි එහෙමත් වෙලාවක කලාතුරකින් හරි එළියට බහින්නෙ අතිශය වැදගත් අවස්ථාවක් යෙදුනොත් විතරයි. මේ විදියට වැදගත් අවස්ථාවක් සෙට් වෙලා එළියට බැස්සත් බහින්නෙ ඒ තරං හිතේ සතුටකින් නෙමෙයි නිසාද මන්දා මෙහෙම එළියට බහිද්දි කොල්ලෙකුට හිතාගන්න බැරි විදියෙ අකරතැබ්බ වෙනවා. මේ කියන්න යන්නෙ ඒ ගැන.
1. ෆෝන්

Image Source – pcworld.com
කම්මැලිකමේ නිදිමතේ ඇඳෙන් බැහැලා ගමන යන්න සූදානං වෙලා ෆෝන්, පර්ස් සාක්කුවෙ දාගෙන එළියට බැස්සට මොකද ටිකක් දුර යද්දි කෝල් එකක් එනව කෙල්ලගෙන්. මේ වගේ එළියට බහින වෙලාවක කෙල්ලව තරහ කරගෙනත් බැරි හින්දා චුට්ටක් දුර මල කඩාගෙන යද්දිම වැටෙනවා බැටරි ලෝ කියල. ඉතිං හිතන්නකො මහත්තයො හිත පත්වෙන අසරණකම. දැන් ඉතිං පැය හතරක් පහක් එළියෙ ඉන්නෙ කොහොමද ෆෝන් එක නැතුව. කොල්ලො ටික සෙට් වෙන ප්ලේස් එක වෙනස් කරයිද දන්නෙ නෑ? ෆෝන් ඕෆ් නිසා කෙල්ල සැක හිතයිද දන්නෙ නෑ? ඔක්කොටම වඩා පරක්කු වෙද්දි අම්මා කලබල වෙයිද දන්නෙත් නෑ? එයිට මෙයිට හපං ටැක්සියක් කතා කරගන්න, බැංකුවෙ එකවුන්ට් එකේ බැලන්ස් එක බලාගන්න බැරි වෙන එක සිද්ධ වුනොත් එහෙම.
2. තෙමිලා

Image Source – pcworld.com
අද කෙල්ලව හම්බෙන්න යද්දි ටිකක් වැදගත් තාලෙට යන්න වෙනවා. මොකද එයාගෙ නංගිත් අද එනවා අපිත් එක්ක ලන්ච් අවුට් එකට. ඒ හින්දම තියෙන එකම සපත්තු කුට්ටමට මැච් වෙන්න ඇඳුම් ටිකත් සෙට් කරගත්තා. ඩෙනිම ඉල්ලගත්තා නලියගෙන්. සපත්තුවෙ කලර් එකටම බෙල්ට් එක තියෙන වොච් එක රුකාගෙන්. ෂර්ට් එක තාත්තගෙ. සපත්තු දෙක මගේ. ගානට ඔක්කොම බැලන්ස් කරලා, සුවඳ ගහලා ඇඳලා කරලා මේස් දෙක දාලා සපත්තු දෙක හොයද්දි ඒ දෙක තෙමිලා එකසිය ගානට. කවුද මෙවුව එළියෙන් තිබ්බෙ? කියන එකටත් වැරදිකාරයා තමුන්ම නිසා කටවහං ඉන්න වෙනව බ්‍රෝ.
3. මවු වලි

Image Source – scarymommy.com
කොල්ලොයි අම්මලයි වලි දාගන්නෙ හේතුවක් නැතුව. කලිසම තිබ්බ තැන නෑ, පරිප්පුවෙ ලුණු නෑ, කාමරේ අස්කරලා නෑ, තෝ ඉක්මනට කසාදයක් බඳින්නෙ නෑ, කවදාවත් කුඩයක් අරන් එළියට බහින්නෙ නෑ, කොච්චර එපා කිවුවත් නොබී ඉන්නෙ නෑ වැනි හේතු රැසකට අම්මයි පුතයි රණ්ඩු වෙනවා. හැබැයි ඔය රණ්ඩු ඉක්මනට ඉවර වෙනවා. දැන් ඕකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ අම්මා ඔය වගේ වලියක් ගෙයින් එලියට බහින්න හදද්දි පටන්ගත්තම තමයි. වෙන කාත් එක්කවත් රණ්ඩු වුනා වගේ නෙමෙයිනෙ අම්මා එක්ක රණ්ඩු වුනාම. හිතේ සතුටෙන් ගමනක්වත් යන්න බෑ. එහෙමයි කියල සටන පාවා දෙන්නත් බෑ. අම්මගෙ මූණෙ හිනාවක් නැතුව එළියට බහින්නත් බෑ.
4. මාරු යකා

Image Source – srilankamirror.com
මිනිස්සු හැමදාම සතුටු වෙන්නෙ තමුන්ට වැඩි වැඩියෙන් ලොකු ලොකු සල්ලි කොළ ලැබෙද්දි වුනාට මිනිස්සු වැඩිපුරම දුක්වෙන්නෙ තමුන්ගෙ අතේ පොඩි සල්ලි නැති වුනාම. බස්වල රුපියල් පහේවා කොන්දා මහත්තයා මාටියා ගැහුවම, දිරවන්නෙ නැති ත්‍රීවීලර් බුවාලට පවා මාරු නැති නිසා වැඩිපුර රුපියල් පනහක් දෙන්න වුනාම, කිරි බෝතලේට විතරක් මාරු සල්ලි දෙන්න නැති නිසා රෝල් දෙකකුත් කන්න වුනාම මේ කේන්තිය ඩබල් වෙලා දැනෙනවා. අන්න ඒ විදියට වීරයා වගේ එළියට බැහැලා පාරට ඇවිත් පර්ස් එක ඇරියම පන්දාහෙ කොළයක් විතරක් දිලිසුනාම හිතට කිසිම සතුටක් එන්නෙ නෑ බ්‍රෝ.
5. බොරු

Image Source – youtube.com
කොල්ලො සෙට් එකත් එක්ක සෙට් වෙන්න යද්දි බොරුවක් කියන්න වෙන්නෙ එක්කෙනෙකුට විතරයි. ගෑණු ළමයා තමයි ඒ. අම්මටනං ඇත්ත කියලනෙ එළියට බහින්නෙ. තාත්තනං කියන්නත් කලින් තත්ත්වෙ දන්නව. හැබැයි කෙල්ලට බොරුවක් කියන්න වෙනව. ඇයි එයා කැමති නෑ බොනවට. ඒ මදිවට එයා කැමති නෑ ඔය කියන යාලුවො සෙට් එකත් එක්ක බොනවට. ඒ මදිවට එයා කැමති නෑ එලියට පනින දවසෙ එයාව මුණ නොගැහෙනවට. ඔය බොරු කන්ද නිසාම එයාට බොරුවක් කියන්න වෙනවා. දැන් ඕක කිවුව වගේ නෙමෙයි. කියල ඉවර වෙලා කොයි වෙලේ මාට්ටු වෙයිද කියලා හිතද්දි හිතට මාර අවුල්. අන්න ඒ නිසා එළියට බහින වෙලාවට කෙල්ලගෙන් කෝල් එන්නෙ නැති තරමට හොඳයි.
6. මොනවහරි කරමුද?

Image Source – medicaldaily.com
ඔන්න ඉතිං සෙනසුරාදා දවසෙ කල්ප කාලාන්තරයක් පෙරුම් පුරලා කෙල්ල එක්ක එළියට බහින්නයි හදන්නෙ. ලේසි නෑ හැබැයි. මොකෝ ඉතිං කෙල්ල මේ දවස දිනාගත්තෙ සති ගාණක් යුද්ධ කරලා. ඉතිං බැරි මරගාතෙ හරි නොගියොත් ආදරේට කණකොකා හඬනවා. ඒ වුනාට හිත කියන්නෙම ඇඳ බදාගෙන නිදියපං කියල. ඔන්න එලියට බහිද්දිම එනව කෝල් එකක්. ෆෝන් එක අතට ගන්නෙම මේ කෙල්ල තමයි කියල හිතාගෙන වුනාට කෝල් එක ගන්නෙ කොල්ලෙක්. අරගෙන පොර අහන්නෙ කොල්ලෙක් තවත් කොල්ලෙක්ගෙන් අහන කඩයිම් ප්‍රශ්නය. “අද මොකෝ කරන්නෙ?” ඕක ඇහුවට පස්සෙ කොහොමද මහත්තයො එක හිතින් තමුන්ගෙ කෙල්ල එක්ක යන්නෙ?
7. ඉන

Image Source – pinterest.com
කොල්ලොන්ගෙ ඉනවලුත් පුදුමාකාරයි. ඔන්න කලිසම අඳින කොට කිසිම බුරුලක් නෑ. නියම ගාන. ඉතිං බෙල්ට් එකක් ඕන කියල හිතෙන්නෙවත් නෑ. හැබැයි පාරට බැහැලා අඩි දෙකක් ඇවිදිද්දි කලිසම බහිනව දනිහ ගාවට. ඊටපස්සෙ ඒක එක අතකින් උස්ස උස්ස තමයි ගමන යන්නෙ. ඒ මදිවට පර්ස් එක ගන්න, ෆෝන් එක ගන්න වගේ දේකට සාක්කුවට අත දැම්මොත් අතත් එක්කම කලිසම බහිනවා බිම. පුදුම දුකක්. ආයෙ හැරිල ගෙදර ගිහින් බෙල්ට් දාගෙන එනවා ඇරෙන්න වෙනිං කරන්න දේකුත් නෑ.
Cover Image Source – theidleman.com/ mensquarterlymagazine.com
Leave a Reply