ජාත්‍යන්තර බුකර් (International Booker) සම්මානය හිමි වුණු කතුවරුන්ගේ ඔබ කියවිය යුතුම පොත් හතක්

අපි මීට කලින් කතා කළා නොබෙල් ත්‍යාගය, බුකර් ත්‍යාගය සහ පුලිට්සර් සම්මානයන්ගෙන් පිදුම් ලබපු කෘතීන් වල සිංහල පරිවර්තනයන් ගැන. ඉතින් ඒවා මගහැරුණා නම් ඔයාට පුළුවන් පහත ලින්ක් වලින් එම ලිපි කියවන්න.

නොබෙල් සාම ත්‍යාගය ගැන ඔබ දැන සිටිය යුතුම කතා

අද අපි හිතුවේ International Booker සම්මානය ලබපු කෘති කීපයක් ගැන කතාකරන්න. හැබැයි පරිවර්තනයන් ගැන නම් නෙමෙයි, සම්මානයට පාත්‍ර වෙච්ච මුල් පොත් ගැනයි අද කතාව. 

01. Celestial Bodies

අපි මුලින්ම කතාකරන්න හිතුවේ “Celestial Bodies” කියන කෘතිය ගැන. 2019 වසරේ තමයි මේ කෘතිය බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ. මේ කෘතියේ විශේෂත්වය ගැන කිව්වොත් මේ කෘතිය රචනා කරන්නේ ඕමාන් ජාතික කතුවරියක් විසිනුයි. ඇය නමින් ජෝඛා අල්හාර්ති (Jokha Alharthi). අරාබි බසින් නිකුත් වුණු පොතක් මෙම සම්මානය ලබපු මුල්ම අවස්ථාව වගේම මේ වගේ කෘතියක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුණු පළමු අවස්ථාවත් මේකයි. ඒ වගේමයි මෙහි සිංහල පරිවර්තනයකුත් නිකුත් වෙලා තියනව. “ආකාශ වස්තු” නමින් එය පරිවර්තනය කොට තිබෙන්නේ ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද මහත්මිය විසිනුයි.

02. The Discomfort of Evening

මේ කෘතිය 2020 වසරේ International Booker (සම) සම්මානය දිනාගන්න සමත් වුණු විශිෂ්ට නෙදර්ලන්ත නවකතාවක්. මේ නවකතාවේ රචකයා වෙන්නේ මරිකෙ ලූකස් රෙයිනෆෙල්ඩ් (Marieke Lucas Rijneveld). මේ ඔහුගේ මුල්ම නවකතාව වීමත් එක්තරා විදියක විශේෂත්වයක්. මේ කෘතිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ මිචෙල් හචිසන් (Michele Hutchison) විසින්. මේ කෘතියට පාදක වෙන්නේ තමන්ගේ සොහොයුරා අහිමි වුණු ‘ජෑස්’ නම් ලන්දේසි ජාතික දැරියකගේ කතා පුවතක්. එය මේ කෘතියේ රචකයාගේ සැබෑ ජීවන අත්දැකීමකින් ආභාෂය ලැබූ කතාවක් බවත් කියවෙනවා. බොහොම සංවේදී නවකතාවක් විදියට හඳුන්වන්න පුළුවන්, අනිවාර්යයෙන් කියවිය යුතු කෘතියක්. 

03. The Vegetarian

හන් කන්ග් (Han Kang) කියන්නේ වර්තමානයේ දී ලෝකයේම අවධානය දිනාගත්ත දකුණු කොරියානු කතුවරියක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒකට මූලිකම හේතුව මේ “Vegetarian” කෘතියයි. ඒ වගේම ඇය රචනා කරපු “Human Acts”, “The White Book” කෘතීනුත් හරිම විශිෂ්ටයි. මේ Vegetarian කෘතියට පාදක වෙන කතා පුවතත් හරි අපූරු එකක්. එක්තරා විවාහක ගෘහ නිර්මාණ ශිල්පිණිය තමන් දකින හීන කීපයක් නිසා නිර්මාංශී වෙන්නට අදහස් කරනවා. එම තීරණයත් සමග ඇයගේ ජීවිතය වෙනස් වන්න පටන් ගන්නා හැටි තමයි මේ නවකතාවේ අන්තර්ගත වෙන්නේ. මෙයට 2016 වසරේදී බුකර් සම්මානය හිමි වුණා.

04. Flights

ඔල්ගා ටොකාර්චුක් (Olga Tokarczuk) කියන්නේ පෝලන්ත ජාතික කතුවරියක්. ඇයගේ “Drive Your Plow Over the Bones of the Dead” නම් නවකතාව “මරණයේ රළ නැගුම” නමින් සිංහල භාෂාවටත් මෑතකදී පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඒ වගේමයි ඇය 2018 වසරෙදි නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලබලා තියෙන අතිශයින්ම ජනප්‍රිය වුණු කතුවරියක්. ඇය විසින් රචනා කර ජෙනිෆර් ක්‍රොෆ්ට් (Jennifer Croft) විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරනු ලැබූ “Flights” නවකතාවටත් සාහිත්‍ය ලෝකයේම අවධානය යොමු වුණා වගේම එය 2018 වස​රේ බුකර් සම්මානයත් දිනා ගත්තා. නමක් නොමැති සංචාරක කාන්තාවක් විසින් කියනු ලබන කතා එකතුවක් හැටියට දිගහැරෙන මේ නවකතාව දාර්ශනික මුහුණුවරක්ද ගන්නවා. අනිවාර්යයෙන්ම වෙනස්ම අත්දැකීමක් ඔබට ළඟා කරවන්න සමත් කෘතියක් වේවි මෙයත්. 

05. At Night All Blood Is Black

පසුගිය 2021 වසරේ බුකර් සම්මානය හිමි කරගත්ත කෘතිය ගැන තමයි අපි ඊළඟට කතාකරන්න යන්නේ . මේ කෘතිය මුල් වරට ලියවෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. මෙය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ ඇනා මොස්කොවාකිස් (Anna Moschovakis) විසින්. ඉතින් ඩේවිඩ් ඩියොප් (David Diop) රචනා කරපු මේ කෘතියට පාදක වෙන්නේ පළමු ලෝක යුද්ධය සමයයි. ඒ යුද සමයේ තමන්ගේ හොඳම මිතුරෙක් අහිමි වුණු චරිතයක් වටා මේ කෘතියේ කතාව දිවයනවා. ඉතින් මේක ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතුම විශිෂ්ට කෘතියක් විදියට හඳුන්වන්න පුළුවන්. 

06. A Horse Walks into a Bar

මේක ඊශ්‍රා​යෙල් නවකතාවක්. 2017 වසරේ තමයි මේ කෘතිය බුකර් සම්මානයට හිමිකම් කියන්නේ. ප්‍රහසන වැඩසටහනකදී පැය කිහිපයක් තුළ සිදුවන සිදුවීම් පෙළක් වටායි මේ කතාව දිග හැරෙන්නේ. එහිදී එම වැඩසටහන ඉදිරිපත් කරන ප්‍රහසන ශිල්පියා සහ එම වැඩසටහන නරඹන්න ආරාධනා ලැබූ විනිසුරුවරයෙක්ගේ කතා අතර දෝලනය වෙමින් තමයි මේ නවකතාව ඉදිරියට ගලා යන්නේ. හරිම වෙනස් විදියේ ආකෘතියකින් යුතු කෘතියක්. අනිවාර්යයෙන්ම කියවන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. 

07. Ismail Kadare

ඉස්මයිල් කදාරේ (Ismail Kadare) කියන්නේ නවකතාවක නමක් නම් නෙමෙයි, ලේඛකයෙක්ගේ නමක්. අපි කතාකරන බුකර් සම්මානය ලබා දීපු මුල් කාලයේදී ඒක හිමි වුණේ තනි පොතක් සළකලා බලල නෙමෙයි, ලේඛකයෙක්ගේ ලේඛන ජීවිතයම සළකලා බලලයි. ඉතින් ඒ විදියට 2005 වසරේදී පිරිනමනු ලැබූ මුල්ම බුකර් සම්මානය හිමි කරගනු ලැබුවේ Ismail Kadare කියන ඇල්බේනියානු ජාතික කතුවරයා විසිනුයි. 

ඔහුගේ කෘති ගැන සඳහන් කරද්දි “The Palace of Dreams”, “The Dead Army General” සහ “Broken April” යන නවකතා ඔබ කියවිය යුතුම නවකතා හැටියට අපි ඔබට නිර්දේශ කරන්න කැමතියි. 

ඉතින් අද අපි කතා කරපු පොත්වලට අමතරව බුකර් සම්මානය දිනාගත් තව ගොඩක් විශිෂ්ට කෘතීන් තියෙනවා. අපි ආයේ දවසක ඒ පොත් ගැනත් කතාකරන්න හිතන් ඉන්නවා. ඉතින් එතකන් මේ තොරතුරු යාළුවෝ එක්ක බෙදාගන්නත්, මේ පොත් ගැන අදහස් අපිට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *