අහසෙ දෙවියෝ නෑ බ්රෝ කියල කියනකොට නිරාගමික ඈයො කොහෙවත් දෙවියො නෑ කියල කියනවා. අපිනං ඔවුව දන්නෙ නෑ. නිකමටවත් දිවිය ලෝකෙ ගිහිල්ල ආපු උත්තමයෙක් හිටියොත් අපිට නඩු දාන්න පුළුවන් නිසා අපි දෙවියෝ නෑ කියල කියන්නෙ නෑ. ඉන්නව කියල කියන්න තරමෙ මහා ලොකු සාක්ෂියකුත් නැති නිසා අපි මේ කියන්නෙ දෙවියොන්ට කියල කරවගන්න වැඩ වෙන විදිවලින් කරවගන්න අපිට පුළුවන් මෙලොව තියෙන දේවල් ගැනයි. සමහර දෙවිවරු සහ දෙවිවරුන්ගේ අනුබද්ධිත නියෝජිතයොත් මේ දේවල්වලින් සේවාව ලබාගන්න නිසා අපිට මේ දේවල් දෙවියන්ටත් වඩා උතුම් කියලා දැනෙන්න පුළුවන්. හැබැයි එහෙම හිතන්නෙපා. දෙවියො තමයි ෂෝක්ම. හැබැයි ඔයාලත් දෙවියො ගාවට යන්න කලින් මේ දේවල්වලින් ප්රයෝජන අරගෙන ඉන්න.
1. මොකද වුනේ?
දේවාලවල කැටේට සබ්බුව සෙට් වුනාම දෙවියො වඩිනවා කපු මහත්තයාගෙ සුන්දර හීනයට. ඒ හීනෙට දෙවියො වැඩලා කියනව කපුවට මෙහෙම. “එම්බා කපුව, දිනෙන් දිනම අඩු වන පුද පඬුරු මගේ ගෞරවයේ අඩුවක් නිසා නොව අහල පහළ සිටින කුඩ්ඩන්ගේ ක්රියාවක් බව මගේ දේව අනුහසට සැළ වෙයි. වහාම පිං කැටයෙන් ඔබ විසින් මාටියා ගැසූ මුදලින් රුපියල් තිස්දහසක් රැගෙන හන්දියේ චාමර සීසීටීවී වෙත ගොස් දේවාලය වටා සීසීටීවී පද්ධතියක් අටවපිය!” ඩෝං ගාලා කපු මහත්තයා ඇඳ පොලු කඩාගෙන ඇහැරෙන්නෙ. ඉතිං පිංවතුනි, ඔයාලත් මොනවහරි දිගටම නැතිවෙනවානං, ආරක්ෂාව ගැන සැකයක් තියෙනවානං දෙවියොන්ගෙන් අහන්න යන්න කලින් සීසීටීවී හයි කරගන්න.
2. අසාධාරණයක් වුණොත්
අපේ රටේ උන්දැලා මොකක් හරි වැරැද්දක් සිද්ධ වුනොත් නඩු දාන්නෙ නැතුව දෙයියො ගාවට යනව සාධාරණයක් කරලා දෙන්න කියාගෙන. මනුස්සයො දෙවියොන්ට නැති වෙන්න වැදිලා තියෙන්නෙ කපුවො නිසා. උන් දේව වරම අතට අරන් සල්ලි මාටියා ගහනවා, පොඩි කෙල්ලොන්ව දූෂණය කරනවා. ඒ අල්ල පනල්ලෙ අපිට සිද්ධ වෙච්ච අසාධාරණකං දෙවියොන්ට කියන්න ගියොත් කන්න වෙන්නෙ පයින්. අන්න ඒ නිසා මොළේ කල්පනා කරලා හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා අසාධාරණයට විරුද්ධව නඩුවක් දාන්න. ප්රසිද්ධ වෙන්න පුළුවන් නඩුවක් නං අපේ උදුල් කොල්ලට කතා කළොත් ෆ්රී කරලා දෙයි.
3. සුව වෙන්න උවමනායි!
ඔයාලත් සුව වෙන්න බලාගෙන ගියාද දෙයියො ගාවට? ලොකු ස්ටේජ් උඩ කෝට් දාගෙන නැගලා දෙයියො අද එනවා හෙට එනවා කියල විකුණන ඩයල්ස්වලට මාට්ටු වුනාද? සුදු බැනියම ඇඳලා රතු රෙද්ද ඔතාගත්තු කපුවන්ට කඩේ ගියාද? ඊට කලින් තියෙන තුවාලෙ අරගෙන දොස්තර කෙනෙක් ගාවට යන්න මහත්තයො. හැබැයි එකක්. දොස්තර මහත්තරු හති දාගෙන, බඩවල් කපාගෙන, ලේ ගාගෙන, සැරව පෙරාගෙන ඔපරේෂන් කළාට පස්සෙ සනීප වෙලා ඉවර වෙලා තෑන්ක් ගෝඩ් කියන්නවත්, අපේ කපු මහත්තයා බැඳපු නූලේ බලේ කියල කියන්නවත් එපා. ප්ලීස්!
4. ආරස්සාවට
සල්ලි ටිකක් වැඩිපුර තියෙනකොට හිතට එනවනෙ බයක්. ඉතිං වැඩිපුර තියෙන සල්ලි ටික රැකගන්න යනව දෙවියො ගාවට. ගිහින් හම්බෙනවා ලෝකල් ඒජන්ට් වෙච්ච කපුවව. හම්බෙලා කියනව ප්රශ්නෙ. ඉතිං කපුවා දැනගන්නවා මූට සල්ලි හෑවු කියල. ඉතිං අර හොරු ගනියි කියල බයේ හිටපු සල්ලිවලින් කපුවා ගන්නව රෝල්ස් රොයිස්. අරගෙන දෙනව කුප්පි ටිකක් ගෙයි වටේ වළලන්න කියල. ඒ ටික වැළලුවට පස්සෙ වෙනදට වඩා හොරු පනිනව. බලද්දි කපුවා ඉතුරු ටික සුද්ධ කරවන්න උගේම උන් දාලා හොරකං කොරවනවා. අන්න ඒනිසා කපුවො ගාවට යන්න කලින් හොඳ ලොක් එකක් දාගන්න. දැන් ස්මාට් ලොක්ස් වුනත් තියෙනවනෙ හිටං! නැත්තං සිකියුරිටි සර්විස් එකකට වැඩේ භාරදෙන්න. එහෙමත් නැත්තං ලයිසන් තුවක්කුවක් ගන්න. එහෙමත් නැත්තං වැඩිපුර සල්ලි ටික අල්මාරියෙ පුරවගන්න රත්තරං බඩුවලට වියදං නොකර ආයෝජනය කරන්න.
5. ඔත්තු බැලිල්ල
දැන් දැන් ඔත්තු බලාගන්න යන්නෙත් දෙවියො ගාවට. යකෝ දැන් හෙට පෙට්ටියට යන්න ඉන්න මනුස්සයත් ඉන්නව ෆේස්බුක්. අනිත් එක කන කඩේ ඉඳන් උදේ නැගිටිද්දි ගෑනි කියපු කුණු බැනුම් ටිකත් දානව ෆේස්බුක්. ඉතිං මොන මගුලටද ඔත්තු බලන්න දෙයියෙක්. හදාගනිංකො ෆේක් එකවුන්ට් එකක්. දැන් කෙල්ලො කොල්ලොන්ගෙ සම්පූර්ණ පැටිකිරියම හොයාගන්නෙ දෙයියොන්ගෙන් අහලයැ. ෆේස්බුක් බැරිනං ඔත්තු හොයන සීක්රට් සර්විස් එකකට දෙන්නකො වැඩේ.
6. පළිගන්නව ඕකගෙන් මම
දැන් අපේ දේශපාලකයො විරුද්ධ පිළේ ඈයොන්ගෙන් අසාධාරණයක් වුනාම කරන්නෙ මොකද්ද? පොල් ගහන එක. මොකද අනිත් පැත්තෙ ඉන්නෙත් යාලුවොනෙ. ඉතිං නරකක් නපුරක් වෙන්න බෑ. පොල් ගැහුවම මොකුත් වෙන්නෑ කියල උන් දන්න නිසාම ගිහින් ගහනව පොල්. යකෝ දහදාහටත් කන්ට්රෑක්ට් අදින පාතාලෙ මල්ලිලා ඉන්දැද්දි මොන බම්බුවටද ඒයි සම්බෝලයක් හදාගෙන කරෝල කෑල්ලක් බැදගෙන දෙසාබන්න තියෙන පොල් ගෙඩිය ගල්වල ගහන්නෙ. පිස්සු විකාර සාන්ත මුංට!
7. වාසනාව දොර ඇරලා
උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් මුස්පේන්තුයි වගේ. ඊයෙ සල්ලි තිබ්බෙත් නෑ. අදත් නෑ. හෙටත් නැතිවෙයි. ඉතිං යනව උඩ දාගෙන දෙයියො ගාවට. ගිහින් තියෙන ටිකත් දෙනව දෙයියොන්ට. මොනවද මනුස්සයො ඔය තේරුමක් නැති වැඩ. දෙවියොන්ට තුන්පාරකට දෙදාහෙ පටි තුනක් දෙන එකේ ගනිංකො හයදාහක ටිකට්. ලක්ෂයක්වත් සෙට් වෙයි. එහෙමත් නෑ කියන්නෙ ඉතිං උඹේ කරුමෙ දුරු කරන්න දෙවියොන්ටවත් බෑ කියන එක තමයි මහත්තයො!
Leave a Reply