ලංකා ඉතිහාසය වෙනස් කළ ලෝක ඉතිහාසයේ සිදුවීම්

අපි මේ ආටිකල් එක  තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ දේශපාලනය සහ සමාජ පරිසරය වෙනස් කරන්න සෘජුව දායක වෙච්ච ලෝක භූ දේශපාලනයේ වෙනස් කම් ගැන. දැනුම බෙදන වෙබ් අඩවි හතු පිපෙනවා වගේ අන්තර්ජාලය තුළ දකින්න ලැබුණත් මේ මාතෘකාව යටතේ ආටිකල් එකක් ලියවෙන පළවෙනි අවස්ථාව මේක කියලයි අපි හිතන්නේ. අපේ මේ ආටිකල්වල තොරතුරු අරගෙන ඒ ගොල්ලන්ගෙ වගේ පබ්ලිෂ් කරන යාලුවන්ටත් ආටිකල්වල කන්ටෙන්ට් එහාට මෙහාට කරලා පබ්ලිෂ් කරන වෙබ් සයිට්වල යාළුවන්ටත් මේ වගේ අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න කියන ඉල්ලීමත් කරන්න කැමතියි. එහෙම නම් වැඩි දුර විස්තර කතා කරන්නැතුව අපි අපේ මාතෘකාවට බහිමු.

 

1. ඉන්දිරා ගාන්ධි ඝාතනය 

ඉන්දිරා ගාන්ධි මැතිනිය කියන්නේ ලංකාවේ මිතුරියක්. විශේෂයෙන්ම ඇය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට දැඩි හිතවත්කමක් දැක්වූවා. නමුත් ජේ.ආර් ජයවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂ රජය මගින් එවකට විපක්ෂයේ හිටපු ඉන්දිරා ගාන්ධිට සහ සිරිමාවෝ බණ්ඩාරනායකට කරපු මදිපුංචිකම් නිසා ඉන්දිරා යම්තාක් දුරකට දෙමළ බෙදුම්වාදීන්ට හිතෛෂී ස්ථාවරයක් පළ කරා. නමුත් ඇයව සීක් ජාතික ආරක්ෂක භටයන් පිරිසක් විසින් ඝාතනය කිරීමත් සමග ඉන්දියාවේ අගමැති ධූරයට පත් වුණු ඇගේ පුත්‍රයා වන රජීව් ගාන්ධි ලංකාවේ ගැටළුවට තමන්ගේ ක්‍රමයකට විසඳුමක් දෙන්න උත්සාහ කළා. එහි ප්‍රතිඵලය වුණේ ඉන්දු ලංකා ගිවිසුම. යම් විදිහකින් ඉන්දිරා ගාන්ධි මැතිනිය ඒ වන විට අගමැති ධුරයේ හිටිය නම් මේ ගිවිසුම කිසිදාක අත්සන් තැබෙයි කියලා අපිට හිතන්න අමාරුයි. මොකද ඇය කිසි දිනක ලංකාව සම්බන්ධ තීරණයක් සිරිමාවෝ බණ්ඩාරනායක සමඟ කතා කිරීමෙන් තොරව නොගත් නිසා.

 

2. 1950 කොරියානු යුද්ධය 

1950 වසරේදී  උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමණය කරනු ලැබුවා. දකුණු කොරියාවට එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල සහය හිමිවෙද්දී උතුරු කොරියාවට චීනයේ සහ සෝවියට් රුසියාවේ සහාය ලැබුණා. මේ යුද්ධයේදී චීන හමුදාවල මැදිහත්වීම පිළිබඳව විවේචනය කළ එක්සත් ජාතික ජාතීන්ගේ සංවිධානය තම සාමාජික රටවල් සමග ගනුදෙනු කිරීම චීනයට තහනම් කරනු ලැබුවා. මේ නිසා චීනයට තමන්ගේ කර්මාන්තශාලාවලට අවශ්‍ය රබර් ලබා ගැනීම දැඩි ගැටළුවක් බවට පත්වුණා. මේ වන විට සහල් ආනයනය, විදේශ විනිමය ආදී  ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටිය ශ්‍රී ලංකාවට ඒ තුළින් විශාල අවස්ථාවන් ලැබුණා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර රබර් සහල් ගිවිසුම අත්සන් තැබුණු අතර ඒ හරහා ශ්‍රී ලංකාවට විශාල වාසියක් උදා වුණා.

 

3. 1945 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 

1945 වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් වින්ස්ටන් චර්චිල් ජයගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළා. නමුත් මුළු ලෝකයම පුදුමයට පත් කරමින් එම  මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ක්ලේමන්ට් ඇට්ලි ප්‍රමුඛ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය. සමාජ ප්‍රතිසංස්කරණවලට වැඩි ඉඩකඩක් සිය න්‍යාය පත්‍රය තුළින් ලබාදුන් ක්ලේමන්ට් ඇට්ලි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන බ්‍රිතාන්‍ය යටත් විජිත වලට නිදහස ලබා දීමට කටයුතු කළා. නමුත් වින්ස්ටන් චර්චිල් තම මැතිවරණ මෙහයුම පුරාවටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය රැකගැනීම තමන්ගේ එකම අරමුණ බව පැවසුවා.

 

4.ප්‍රංශ විප්ලවය 

ප්‍රංශ විප්ලවය සමගම ප්‍රංශය වටා තිබූ විවිධ රටවලින් එරටට තර්ජනයක් එල්ල වුණා. මේ නිසා ප්‍රංශය සියලුම රටවල් සමඟ යුද වැදීමට තීරණය කරා. ඒ අනුව ප්‍රංශ හමුදා විසින් ඕලන්දය ආක්‍රමණය කළ අතර මේ නිසා ඕලන්දයේ පාලකයාව සිටි ඔරේන්ජ්හි විලියම් කුමරුට එංගලන්තයට පලා යාමට සිදුවුණා. එංගලන්තෙ කියූ මාලිගයේ නවාතැන් ගත් ඔහු විසින් ඕලන්ද යටත් විජිත වල ආණ්ඩුකාරවරු වෙත ලිපියක් යවමින් ප්‍රංශයේ ආධිපත්‍ය පිළිනොගන්නා ලෙසත් ඒ වෙනුවට බ්‍රිතාන්‍ය හමුදාවලට තම ප්‍රදේශ භාරදී යටත් වන ලෙසත් දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව ඉන්දීය පෙරදිග වෙළෙඳ සමාගම සහ බ්‍රිතාන්‍ය හමුදාව ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශ වල බලය තහවුරු කර ගැනීම සිදු වුණා.

 

5. ඒමියන්ස්හි ගිවිසුම

1802 වසරේදී ප්‍රංශය සහ අනෙකුත් රටවල් සමඟ ඇතිවුණු මේ ගිවිසුම මගින් එතෙක් කලක් ප්‍රංශය සමග පැවති විරෝධතා අවසන් කිරීමට තීරණය වුණා. ඒ වන විට බ්‍රිතාන්‍ය හමුදා යටතේ පැවති ඇතැම් යටත්විජිත නැවතත් එම යටත් විජිත වල මුල් උරුමකරුවන්ට පැවරීම සිද්ධ වුණා. නමුත් එහිදී ශ්‍රීලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ තවදුරටත් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස පැවතිය යුතු බවට තීරණයක් ගැනුණා. මින් වසර දහතුනකට පසුව මුළු ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීමත් සිදු වුණ.

 

6. පෘතුගාලය සහ ස්පාඤ්ඤ එක්සත් වීම 

සෙබස්තියන් නම් රජු දරුවන් නොමැතිව මිය ගිය නිසා පෘතුගාලයේ උරුමකරු පිළිබඳව ගැටළුවක් ඇති වුනා. අවසානයේ දී ස්පාඤ්ඤයේ රජු විසින් පෘතුගාලය්යේ කිරුළත් තමන් සතු කර ගත්තා. මේ නිසා බොහෝ දේ පෘතුගාලයට අහිමි වී ගිය අතර එතෙක් ස්පාඤ්ඤයට සතුරු කම් කරමින් සිටි රටවල් පෘතුගාලය වෙතටද සතුරුකම් කරන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ස්පාඤ්ඤය සමඟ බද්ධ වෛරයෙන් පෙළෙමින් සිටි ඕලන්ද ජාතිකයන් පෘතුගාල යටත් විජිතවලට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසීන් අතින් ගිලිහී ඕලන්දයන්ගේ පාලනයට නතු වුණා.

 

7. තෙවැනි ධර්ම සංගායනාව 

ලංකාවේ ඉතිහාසය කෙරෙහි වැඩිම සහ දීර්ඝකාලීන බලපෑම ඇති කරන්න සමත් වෙච්ච විදේශ රටක සිද්ධ වුණු සිද්දිය තමයි මේ. අශෝක රජතුමා විසින් සිදුකරපු තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහටයි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා ලංකාවේ ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කරන්නේ. ඒ අනුව ලංකාවේ රාජ්‍ය ආගම බුද්ධාගම බවට පත් වෙනවා .මේ විදිහට අවුරුදු දෙදහසකට ආසන්න කාලයක් ලංකාවේ ජීවනාලිය බවට බුද්ධාගම පත් වෙන්නේ අපි කියපු තුන්වෙනි ධර්ම සංඝායනාවේ ප්‍රතිඵලයක් විදිහට.

 

එහෙම නම් ඉතින් මේ ආටිකල් එකට එකතු වෙන්න ඕන තවත් සිදුවීම් තියෙනවා නම් ඒ ගැන කියන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඔබට පුළුවන්. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *