කෙල්ලක් කියන්නේ කවි කතන්දරවල තියෙනවා වගේ චුට්ට ඇත්තන් ඇස් රතු කරගන්න මල් පෙති වගේ ජීවියෝ නම් නෙවේ. ඒත් ඒක එහෙමමයි කියලා උපන් දා ඉඳන් අහලා දැකල ද මන්දා පොඩ්ඩ ඇත්තන් ඩයිනමයිට් කෑවා වගේ සැලැන්ඩර් වෙලා යන නහර තමයි ගොඩක් කෙල්ලන්ට තියෙන්නේ. හැබැයි ඒ අතර ඉන්නවා යකෙක් ඉස්සරහට ආවත් ඌටත් ගඩොලකින් දමලා ගහන මට්ටමේ කෙල්ලෝ. ඒ ගොල්ලොත් කෙල්ලෝ මේ ගොල්ලොත් කෙල්ලෝ. ඉතින් මෙහෙම වෙනසක් තියෙන්න විදියක් නෑනේ. නෑ තමයි. ඒත් කෙල්ලෙක්ට ශක්තිමත් විදියට ඉන්න හිත හදාගන්න සමාජෙන් ඉඩ දෙනවා අඩුයි. සමස්තයක් කෙල්ලෝ සීනිබෝල වගේ හැදෙන්නේ ඒකයි. එහෙම නොවී හිතින් ශක්තිමත් කෙල්ලෙක් වෙන්න නම් මේ දේවල් හිතට ගන්න
1. අන් අයගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න එපා
ගෑණු ළමයෙක් තමන්ගේ කොල්ලගෙන්, බිරිඳක් ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේවාය කියලා ලස්සන කතන්දරවල නම් තියෙනවා. සිහින ලෝකවලට විතරක් ගැලපෙන ඒ වගේ කතන්දර කොහොමටවත් හැබෑ ලෝකෙට ගැලපෙන්නේ නෑ. දැන් හිතන්නකෝ කෙල්ලෙක් කොල්ලාගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා ය කියලා. මොකෝ ඔය කොල්ලා හැම තිස්සෙම නිල මැස්සා වගේ වටේ කැරකි කැරකි ඉන්නවා ද? එවුන්දෑ නැති වෙලාවක ගරා යකා දැක්කා වගේ සුදුමැලිව ඉඳලා හරියන්නේ නැහැ. අනික ආදරය වගේ දේවල් ඕනිවට වඩා බලාපොරොත්තු වෙලා තමන්ට ඕනි විදියට ඒ ආදරේ නොලැබුණාම කෙල්ලෝ හේබාලා යනවා බලන් ඉන්දැද්දි. ඉතින් ඒ නිසා ශක්තිමත් වෙන්න නම් කෙල්ලෙක් ඉස්සෙල්ලම අනුන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන එක නතර කරන්න ඕනි. දෙයක් කළොත් දෙයක් අනිවා ලැබෙයි.
2. ඉවසන්න
ඉවසීමේ ගුණය වැඩි කෙල්ලන්ට ය කොල්ලන්ට ය කියලා නිකන් ඉන්න බැරිකමට හැම දේම බෙදන හාල්පාරුවන්ගේ කතා වගේ නෙවේ ඉවසීම කියන්නේ පුල් සීරියස් දෙයක්. ඒකට වැදගත් වෙන්නේ ගෑණු ද පිරිමි ද කියන එක නෙවේ. ඒක මනුස්සයෙක්ගේ ශක්තිමත් බව මනින එක මිනුමක්. හිතන්න රැකියා ස්ථානයේදී තේ හදන ඇන්ටිට තේ එක දෙන්න පරක්කු වුණා කියලා. ඒකට ආච්චි වැහුණා වගේ කෑ ගහන්න ගත්තොත් පර්සනැලිටිය අවුල් යනවා. මෙහෙම දෙයක්වත් ඉවසන්න බැරි දුර්වලයෙක් විදියට හංවඩු ගැහෙනවා. අන්න ඒ නිසා පුළුවන් තරම් ඉවසන්න බලන්න.
3. බය නැතුව අදහස් ප්‍රකාශ කරන්න
දෙයක් කියන්න තියෙනවා නම් කියලා දාන්න තරම් හැකියාවක් ගෑණු ළමයෙකුට තියෙන්න ඕනි. හිතේ දේවල් හිරකරගෙන ඉඳලා පස්සේ හූල්ලන්න තියාගන්නේ තියෙන සබකෝලෙකට හරි මොකක් හරි විකාරෙකටනේ. ඒක සෑහෙන ලොකු දුර්වලකමක්. එහෙම වුණාම මෝඩ දේවල්වලට යටත් වෙලා ජීවත් වෙන්න වෙනවා. අනික් අතට ඇයි මම මේ දේ නොකිව්වේ කියලා හිත හිතා ජීවිත කාලෙම දුක් වෙන්න සිද්ධ වෙනවා. පසුතැවීම් කියන්නේ හිතේ ශක්තියට කහඹිලියා ගෑවුණා වගේ ඕනිම නැති ඉලව්වක්. ඒ නිසා පසුතැවීම්වලට ඉඩ නොදී කටට දාලා තියෙන ඉබ්බාව වතුරට දාන්න.
4. ඉලක්කයකට වැඩ කරන්න
අනික් අයට තියෙන ඉලක්ක අපිට ඕනිම නෑ. විශේෂයෙන්ම ගෑණු ළමයෙක්ට එහා ගෙදර ඇන්ටිගේ දුව 25න් බැන්දා කියලා ඒ වයසින්ම බඳින්න ඕනි නෑ. ඉලක්කයක් කියන්නේ බලාපොරොත්තුවක්. ඒක වෙන කාගෙන්වත් බලාපොරොත්තු වෙන කෙහෙල්මලක් නෙවේ තමා ගැනම තමාට තියෙන විශ්වාසයක්. ඒ ඉලක්කය ගැන, එතෙන්ට යන්න ඕනි විදිය ගැන, ඒකට කොච්චර කාලයක් යනවද කියන එක මේ හැමදේම තීරණය කරන්න ඕනි ඔයා විතරමයි. එහෙම දෙයක් තිබ්බම ලෝකයා කියන දාහක් කතන්දර වැලි කැටේකට සීමා කරන්න ඕනි නෑ. මොකද යන්න ඕනි ගමන ගැන හෙජමොනියේ පටන් දන්න නිසා. අනික් ඈයොන්ගේ කෙළවරක් නැති ප්‍රශ්නවලට කනෙන් දුම් දාන්න පුළුවන් උත්තර දෙන්න ඉලක්කයක් හදාගන්න.
5. ශක්තිමත් මානව සම්බන්ධතා ගොඩනගා ගන්න
ඒ කිව්වේ මෙහෙමයි. ජීවත් වෙනවා නම් තනියෙන් ඉන්න පුලුවන් එකෙන්ම. ඒත් මනුස්ස වාසයක් තියෙනකොට ඒක පොඩ්ඩක් ප්රියමනාපයිනේ. එහෙමයි කියලා අමනුස්ස වේසයෙන් ඉන්න පුතාලා නෙවේ හොඳ යාළුවෝ ටිකක් ඇතිකරගන්න. හිනා වෙන්න, කතා කරන්න, එකතු වෙලා දුර ගමනක් යන්න යාළුවෝ සෙට් එකක් හිටියම හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා. මම තනිවෙලා නෑ වගේ හැඟීමක් එනවා ය කියන්නේ ඉතින් ශක්තිමත් වෙන්න බවුන්ඩේසම වැටිලා ඉවරයි. මානව සම්බන්ධතා ශක්තිමත් වෙන්නේ ඒ සම්බන්ධතාවේ දෙපැත්තේ ඉන්න දෙන්නාටම හොඳ අවබෝධයක් ඇත්නම් විතරයි. එහෙම අය අඩුයි. ඒත් හම්බුණොත් ගොඩ.
6. තමන් තමන් ම වෙන්න
මේ ලෝකේ කවුරුත් සම්පූර්ණ නෑ. හැමෝම අසම්පූර්ණයි. අන්න ඒ නිසා තමන්ට පහසු විදියට මොකක් හරි පූර්ණත්වයක් දිහෑට යන්න තමයි හැමෝම බලන්නේ. ඉතින් ඒ යන විදිය එකිනෙකාට වෙනස්. සමාජය අපිට රාමුවක් ගහලා දීලා තියෙනවා. විශේෂයෙන් ම ගෑණු දරුවන්ට. මේ විදියට ඉන්න ඕනි නැත්නම් පලයල්ලා කියලා. හැබැයි තමන් නොවන වෙනත් කෙනෙක් විදියට ජීවත් වෙන එකෙන් මොන නිවනක් ලබා ගන්නද? පරම්පරාවේ හැත්ත බුරුත්තම ඔසරි අඳිනවා නම් ඔයා සාරියක් අඳින්න. මොකද ඒ ඔයාගේ ආශාව. ඒ තමයි ඔයා. වෙන මිනිස්සු දෙන නිර්වචනවලට පෑහෙන්න යන්න එපා. බලන් ඉද්දි හිත කඩන් වැටෙයි.
7. සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන්න
හිතේ ශක්තියක් හදාගන්න කොච්චර ට්‍රයි එකක් දුන්නත් වැඩක් නෑ හොඳ කායික සුවතාවයක් නැත්නම්. ශක්තිමත් වෙන්න කියලා හදාගත්තු මාළිගාව සම්පූර්ණයෙන් ම චකබ්ලාස්ට් වෙලා යන්න පුළුවන් ලෙඩක් දුකක් හැදුන දාක. ඒ නිසා හැමදාම ව්‍යායාම කරලා, එළවළු පළතුරු කාලා ලෙඩවලට පළාතකටවත් එන්න දෙන්න ඉඩ නොදී හිත ශක්තිමත්ව තියාගන්න.
කෙල්ලෝ උපතෙන් ම කොල්ලෝ වගේම ශක්තිමත්. ඒත් අහක යන කයිකතන්දර වගයක් නිසා ඒක එහෙම නෙවේ කියලා හිතනවා. හිතේ ශක්තියෙන් ජීවත් වෙයන් කෙල්ලේ. වරදින්නේ නෑ.
Cover Image Source – genesmart.com
Leave a Reply