වැස්සත් පෑව්වත් තිතට අස්වැන්න දෙන හරිතාගාර වගාව

එළවලු මිල වැඩිවීම ගැටළුවක්. ඒත් මිල වැඩි කාලේට එළෝලු ටිකක් වවාගන්න පුළුවන් නම්? ගොඩ නේද? ඒ වගේම අපිට පොඩි ඉඩකින් ලොකු අස්වැන්නක් ගන්නත් පුළුවන් නම් ඒකත් මැක්සා නේද? ඒ වගේ වාසි ගොඩක් තියෙන වගා ක්‍රමයක් තමයි හරිතාගාර වගාව. හරිතාගාර වගාව ගැන අපි ටිකක් තොරතුරු හොයා බලමු.

 

1. මොකද්ද මේ හරිතාගාර වගාව?

විනිවිද පේන්න කුටියක් හදලා ඒකේ බෝග ජාති හිටවනවා. ඒ කුටිය හදාගන්න පොලිතින් යොදාගන්නවා. මහාපරිමාණ මිල අධික ක්‍රම වලදී මේ කුටිය ඉර එළිය වැටෙන විදියට වීදුරු වලින් හදාගන්නවා. මේ හදාගත් කුටිය ඇතුළේ වාතාශ්‍රය, උෂ්ණත්වය, කෘමි උවදුරු, ආදිය පාලනය කරන්න පුළුවන්. මේ කුටිය ඇතුළේ බෝග හිටවන්නේ වෙනමම මාධ්‍යයක. ඒ මාධ්‍යයට බින්දු ජල සම්පාදනයෙන් ජලය සපයනවා. ඉන් පස්සේ ඒ මාධ්‍යයටම ජල මාර්ගයෙන් ගස් හැදෙන්න අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හෙවත් පොහොර සප්ලයි කරනවා.

 

2. හරිතාගාර වල වාසි

හරිතාගාර වගාවක තියෙන මූලිකම වාසිය තමයි ගහක් හැදෙන්න අවශ්‍ය සෑම සියලු දෙයක්ම හරිතාගාරයකදි පාලනය කරන්න පුළුවන් වීම. එතකොට අපිට ඕනි කාලෙදි ඉක්මනින් ඵලදාව ගන්න ලැබෙනවා. එකම කාලේට තොග ගණන් අස්වනු වෙළඳපොලට නිකුත් වුනාම ගොවියාට එළවලු විකුණාගන්න බැරි වෙනවා. ඉතින් හරිතාගාර ඇතුළේ වවන මාළුමිරිස්, තක්කලි, වම්බටු වලට නම් ඒ ගැටළුව නැහැ. ඕනිම කාලෙක තත්ත්වයන් වෙනස් කරලා අපිට ඕනි විදියට අස්වනු ලබාගන්න පුළුවන්කම ලැබෙනවා.

 

3. අඩු පලිබෝධ හානි

පලිබෝධ හානි කිව්වොත් අපිට මතක් වෙන්නේ පියාඹලා ඇවිත් වින කරන මැස්සන් සහ කෘමින්. හරිතාගාරය හතර වටින්ම වහලා තියෙන නිසා කෘමින්ට, මැසි මදුරුවන්ට ඇතුළට එන්න ලැබෙන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, හරියට සැලසුම් කළොත් අහිතකර ජීවින් නැතිම කරන්නත් පුළුවන්කම හරිතාගාර වල තියෙනවා. එතකොට ඇතුළේ බෝග පරාගනය කරන්න අවශ්‍ය මීමැස්සන් වගේ සතුන් අපිට යොදාගන්නට හැකියාවත් තියෙනවා. අඩු පලිබෝධ හානි නිසා කෘමිනාශක වලට වියදම් වෙන මුදලත් ඉබේම අඩු වෙනවා.

 

4. අඩු ජලය සහ ඉඩකඩ

පර්චස් විස්සක විතර හරිතාගාර අවකාශයක් තුළ අක්කර දෙකක විතර සාමාන්‍ය භූමියකදි නිපදවන තක්කලි අමු මිරිස් ආදිය හදාගන්න හැකියි. ඒ කියන්නේ භූමිය අඩු වුනා කියලා කරදර වෙන්න දෙයක් නැහැ හරිතාගාර වලදි. ජලය සහ පෝර ජාති වුනත් සාමාන්‍ය වගාවෙදි වගේ පසට ගොඩාක් එකතු කරලා නාස්ති කරන්න වෙන්නෙ නැහැ. අවශ්‍ය පරිමාණෙට, අවශ්‍ය තරමට විතරක් ඒවා යොදන්න හරිතාගාර වලදි අපිට පුළුවන්.

 

5. වාර්තාගත අස්වනු

හරියට නඩත්තු කරන හරිතාගාරයකදි අස්වැන්න සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවෙනවා. ඒ කියන්නේ එක මනුස්සයෙකුට අක්කරයක දෙකක මාලුමිරිස්, බටු, තක්කලි වගාවකින් ලබන අස්වැන්න පර්චස් විස්සක විතර හරිතාගාරයකින් ලබාගන්න පුළුවන් හරියට වැඩ කළොත්. ඒ වගේම හරිතාගාරයක් ඇතුළේ බර වැඩ අඩුයි. වැඩ තියෙනවා. ඒත් සාමාන්‍ය භූමියේ වගේ කැති උදලු වැඩ, බිම් පෙරලීම් වගේ බර වැඩත් සෑහෙන අඩුයි.

 

6. පුහුණුව හා රැක බලාගැනීම

හරිතාගාරයක් හරියට පවත්වාගෙන යන්න හැමෝටම බැහැ. ගහකොළ උනත් ගෙවල් ඇතුල්වල හදද්දි හොඳට පරිස්සම් කරන්නට ඕනා. ඒවාට ඕනි කරන දේවල් දෙන්නට ඕනා. පලිබෝධ හානි ආවොත් ඒවාට විසඳුම් දෙන්නට ඕනා. හරිතාගාරය ඉදිකරලා, පැළ නිසි පරිදි වෙනත් මාධ්‍යයක හිටවලා ජලය ආදී සැපයුම් ලබාදෙන්නත් ඕනි. අපේ වගේ ඝර්ම කලාපීය රටක නම් උෂ්ණත්වය වැඩි නිසා උණුසුම පාලනය කරන්නත් ඕනා. ඒ වගේ දේවල් අපිට එකපාර කරන්න අමාරුයි. න්‍යායික පුහුණුව වගේම හරිතාගාර වගාවක් ගැන අතින් අල්ලලා ලබාගන්න ප්‍රායෝගික පුහුණුවකුත් තියෙන එක ගොඩක් හොඳයි.

 

7. මූලික වියදම

වගාව කියන්නේ හැමෝම ආස දෙයක්. හොඳ සල්ලි ටිකක් ලැබෙන කාලෙක වියලි පළාතක වතුර තියෙන තැනකින් ඉඩමක් අරන් හිටවගන්න එක සමහරුන්ගෙ හීනයක්. ඒත් ඊට වඩා හරිතාගාර වෙනස්. යම් අයෙක්ට උනන්දුව තියේ නම් යන මූලික වියදම කොහොම හරි හොයාගෙන හරිතාගාර අවකාශයක් නාගරික පොඩි භූමියක වුනත් පටන්ගන්න පුළුවන්. මූලික වියදම නම් ටිකක් වැඩියි. ඒත් හොඳ හරිතාගාරයක් හදාගන්තොත් ඒක අවුරුදු පහක් විතර පාවිච්චි කරන්නට පුළුවන්.

ලෝකේ දියුණුව අපිට යාන වාහන වලින් කොම්පියුටර් ෆෝන් වලින් ඇහැට පේන්නම තියෙනවා. ඒ වගේම ලෝකේ දැන් කෘෂි කර්මාන්තයත් අපිට වැඩිය පෙනුන් නැති වුනාට දියුණු රටවල හරි හරියට දියුණු වෙලා තියෙනවා. ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටවල ගොවියෝ ගොඩක් නැහැ. ඒත් ඒ රටවල වගාවලින් ලබන ආදායම නම් හරි විසාල ගාණක්. ඉතින් හරිතාගාර එක්ක තාක්ෂණයට අනුකූලව වගා කරන එක ගැන ඔයාලට පොඩි අදහසක් මෙයින් එන්නට ඇති. යූ ටියුබ් එකේ Greenhouse Farming කියල සර්ච් කළොත් මේ වැඩේ ඇත්තටම සිද්ද වෙන විදිය වීඩියෝ වලින් බලාගන්නට පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *