මෑත ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට ලක් වෙච්ච පුරාවිද්‍යාත්මක ස්ථානය විදිහට සීගිරිය හඳුන්වන්න පුළුවන්. ඒ සීගිරිය ගැන විවිධ පුද්ගලයන් පළකරපු සහ සාකච්ඡා කරපු විවිධ මත නිසා. ඒ මතිමතාන්තර කොයි හැටි වුණත් සීගිරිය කියන්නෙ අති විශිෂ්ට කලා නිර්මාණයක්. ඉතින් මේ දවස්වල සීගිරිය පැත්තෙ සංචාරය කරන්න බැරි වුණත් සීගිරිය ගැන විස්තර ටිකක් දැනගන්න එක වටිනවා.
1. රාවණා රජු සහ සීගිරිය
පහුගිය කාලෙ සීගිරිය සම්බන්ධයෙන් ඇති වුණු ලොකුම කතාබහ තමයි සීගිරිය රාවණා රජ සමයේ නිර්මාණය වුණාය, සීගිරිය යනු රාවණා රජුගේ බලකොටුවක් ය කියන මතය. ඒ මතය ඇතිවෙන්න බලපාපු ප්‍රධාන කාරණාවක් විදිහට ඔවුන් ප්‍රකාශ කරන්නේ කාශ්‍යප රජු විසින් සීගිරිය නිර්මාණය කළාය යන්න විශ්වාස කළ නොහැකි බව. ඒ කියන්නේ කාශ්‍යප රජු තමන්ගේ පියාව ඝාතනය කරලා පලා ගිහින් මුළු මහත් මධ්‍යම පළාතටම ප්‍රදර්ශනය වෙන ස්ථානයක මාළිගාවක් ඉදිකරගැනීම කියන කාරණාව ඉතා අසාමාන්‍ය දෙයක් බව තමයි ඒ අය ප්‍රකාශ කරන්නෙ. ඒ වගේම සීගිරියේ මූලික නිර්මාණය කළු ගලින් කරවා ඇති බවත් පසු කාලීනව ඒ කළුගල් නිර්මාණය මතුපිටින් ගඩොලින් නැවත ප්‍රති නිර්මාණය කර ඇති බවක් පෙනෙන්නට තිබෙනවාය, ඒ කළුගලින් කරල තියෙන නිර්මාණය රාවණා රජ්ජුරුවන් කළාය කියන කාරණාවත් ඒ අය ප්‍රකාශ කරනවා. කොහොමවුණත් ඒ මතය නිල වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිඅරන් නැති නිසා අපිට ඒ මතය මතයක් පමණක් විදිහට තමයි අරගන්න වෙන්නේ.
2. සීගිරියේ ගෘහ නිර්මාණාත්මක වටිනාකම
සීගිරිය කියන්නේ ශේෂ කන්දක්. ඒ වගේ තැනක මේ ආකාරයේ විශිෂ්ට නිර්මාණයක් කිරීම ඉතාම අපහසු කටයුත්තක්. ඒ වගේම සීගිරිය කියන්නේ කලින් කලට සංවර්ධනය වුණු ස්ථානයක් නෙමෙයි. ලංකාවේ අනෙකුත් රාජධානි කලින් කලට විවිධ රජවරුන් යටතේ වෙනස්කම් වලට සහ සංවර්ධන කටයුතුවලට ලක් වෙච්ච රාජධානි. ඒත් සීගිරියේ අදටත් තියෙන්නේ ඒ පළවෙනි වරට නිර්මාණය කරපු දේවල්. ඒ වගේම ලංකාවේ අනෙකුත් බොහෝමයක් පුරාවිද්‍යා ස්ථාන ආගමික ගෘහ නිර්මාණාත්මක නටබුන් වන නමුත් සීගිරියේ තිබෙන්නේ ලෞකික ගෘහ නිර්මාණාත්මක පසුබිමක් තියෙන නටබුන්. ඉතින් ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන සොයා බලද්දී සීගිරිය කියන්නේ ඉතාම වැදගත්කමක් තියෙන ස්ථානයක්.
3. සිංහ පාදය
සීගිරියේ ගල මුදුනට යෑමට තනා ඇති ද්වාරය දෙපස සිංහ පාද දෙකක් තනා තියෙනවා. නමුත් අතීතයේ එහි සම්පුර්ණ සිංහ රුවක් තනා තිබූ බවට ඉතිහාසඥයින් මත පළ කරලා තියෙනවා. ඒත් යම් යම් කොටස් ඒ සිංහයෙකුගේ පාද නොවන බවටද මතයක් ප්‍රකාශ කරනවා. ඊට හේතුව තමයි ඒ සිංහ පාදවල ඇඟිලි තුනක් පමණක් තනා තිබීම. සිංහයෙකුගේ පාද වල ඇඟිලි හතරක් ඇති නමුත් මේ නිර්මාණයේ ඇඟිලි තුනක් පමණක් තිබෙන නිසා එය සිංහයකුගේ නොවන බවට ඔවුන් මත පළ කරනවා. එය කලින් අපි සඳහන් කරපු රාවණා රජු සම්බන්ධව පළ කෙරෙන මතයට සමගාමී වෙනවා. නමුත්, ඉතිහාසඥයින් පවසන විදිහට සීගිරියේ කුරුටු ගී වල පවා මේ සිංහ පාදයක් වන බවට සාධක තියෙනවලු.
4. කැටපත් පවුර
කාශ්‍යප රජුගෙන් පසුව මේ බලකොටුව වෙනත් රජකු තම වාසස්ථානය කරගෙන නැහැ කියල තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නෙ. ඒ හේතුව නිසා මේ බලකොටුව අතහැර දැමීමක් සිදුවෙලා තියෙනවා. ඉන් පස්සේ සාමාන්‍ය ජනතාව නැරඹීම සඳහා ආ ගිය ස්ථානයක් බවට මේ බලකොටුව පත් වෙලා තියෙනවා. අන්න ඒ විදිහට සීගිරිය නරඹන්න ආ ගිය උදවිය තමන්ගේ නැරඹුම් අත්දැකීම් මේ සියුම් බදාමයක් සහිත පවුර මත එහෙම නැත්නම් වෝල් ඒක මත සටහන් කරන්න පුරුදු වුණා. 1928 පරණවිතාන මහත්මයා මේ පවුර පරීක්ෂා කරලා එහි ලියා තිබුණු කවි සංකල්පනා 685ක් විතර කියවන්න සමත් වුණා. ඉතින් ඒ කියවීම් ගැනත් එක එක මත තියෙනවා.
5. සීගිරි බිතු සිතුවම්
බිතු සිතුවම් කියන්නෙ බිත්තියක් මත කරපු චිත්‍ර කියන එකනේ. ඒ වගේ සීගිරියේත් ස්ථාන කිහිපයකම මේ වගේ සිතුවම් දකින්න තිබුණත් හැමෝගෙම අවධානය යොමු වෙන්නෙ ගල් ගෙය තුල තිබෙන සිතුවම් වලටයි. ඒ ස්ථානයේ සම්පූර්ණයෙන්ම වගේ කාන්තා රූප තමයි සිතුවම් කරලා තියෙන්නෙ. ඒ වගේම එතන කාන්තා රූප 500ක් විතර තිබිල තියෙනවාය කියල “පන්සිය අඟනන් රිසියෙන් බලා ගිරිකලේ” කියන කුරුටු ගීයෙන් කියවෙනවා. නමුත් අද වෙද්දී දකින්න තියෙන්නෙ කාන්තා රූප 21ක් වගේ පොඩි ප්‍රමාණයක්.
6. ජල උද්‍යානය
සීගිරිය කියන්නෙ ඉතාම පුදුමසහගත නිර්මාණයක්. ඒ පුදුම සහගත බවට ප්‍රධාන හේතුවක් වෙන්නෙ මේ ස්ථානයේ තියෙන තාක්ෂණයයි. ඒ අතරිනුත් මෙහි තියෙන වාරි තාක්ෂණය විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. මේ සම්පුර්ණ සැලැස්ම පදනම් වෙන්නෙ සීගිරි වැව මූලික කරගෙනයි. ඒ වැවෙන් ලබාගන්නා ජලය පර්වතය මුදුනට ගෙනයාමට ඉතා සරල නමුත් විශිෂ්ට තාක්ෂණයක් යොදාගෙන තියෙන බව පේනවා. විශේෂයෙන් ජල උද්‍යානයේ විශේෂම අංගය වන වතුර මල් වලට පීඩනයක් සහිතව ජලය ගෙනියන්න පුළුවන් වෙලා තියෙන්නෙ සීගිරි වැවේ ජල මට්ටම වතුර මල් වලට වඩා උසින් පිහිටීම නිසයි. ඒ වගේම එතනින් එහාට වතුර ගෙනියපු තාක්ෂණය අදටත් රහසක්.
7. නගර සැලසුම්කරණය
සීගිරියේ නගර සැලසුම්කරණයත් ඉතාම වැදගත් දෙයක්. විශේෂයෙන් ජ්‍යාමිතික හැඩතල අනුව මේ සැලසුම් නිර්මාණය කරලා තියෙන බවක් පේන්න තියෙනවා. සීගිරි නගරයට එන්න පුළුවන් පිවිසුම් හතරක් දැනට හොයාගෙන තියෙනවා. ඒකෙනුත් බටහිර පිවිසුම පා ගමනින් යාම සඳහාත් උතුරු පිවිසුම කරත්ත වලින් යාම සඳහාත් නිර්මාණය කර තිබෙන බව කියනවා. ඉතින් ඒ සියල්ල මැද්දේ තමයි සීගිරි පර්වතය නැත්නම් සීගිරි බලකොටුව නිර්මාණය කරලා තියෙන්නෙ.
Leave a Reply