අධික රස්නෙ කාලෙ Heat Stroke එකකින් බේරිලා ඉන්නෙ කොහොමද?

අපි කවුරුත් දන්න විදිහට ලංකාව කියන්නෙ නිවර්තන කලාපයේ පිහිටපු දූපතක්. මේ පිහිටීම නිසාම අපේ රටට ලැබුණු වාසි වගේම පොඩි පොඩි අවාසිත් නැතුවම නොවෙයි. විශේෂයෙන්ම සමකයට ආසන්නයෙන් පිහිටල තියෙන නිසා මේ මාර්තු – මැයි අතර සමකයට ඉහළින් හිරු මුදුන්වෙන කාලෙදි මුහුණ දෙන්න වෙන අධික රස්නය වගේ අවාසි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහට මේ හීට් වේව් එක මැයි මාසෙ අන්තිම දක්වාම ලංකාවට බලපානවා. ඉතින් තව මාසෙකට වඩා කාලයක් මේ අධික රස්නෙ දරාගෙන ඉන්න වෙනවා. පහුගිය දවස්වල වවුනියාව, අනුරාධපුර වගේ ස්වභාවයෙන්ම වියළි දේශගුණයක් පවතින නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ත් 37ත් අතර අගයන් වලින් වාර්තා වෙලා තියෙනවා. ඉතින් අපි හිතුවා මේ අධික උෂ්ණත්වය ගැන අපි දන්න කාරණා ටිකක් කතාකරන්න.

 

1. Heat Stroke එකක් කියන්නෙ මොකක්ද?

Image Source – childrenscolarado.org

Heat Stroke එකක් කියන්නෙ ශරීරය අධික උෂ්ණත්වයට නිරාවරණය වීම නිසා සාමාන්‍ය උෂ්ණත්වය පාලනය කරන්න ශරීරය ඇතුළෙන්ම වැඩ කරන සිස්ටම් එක ෆේල් වීම. ඒ ෆේල් වීම නිසා ශරීරය  අධික ලෙස රත්වීම. සාමාන්‍යයෙන් අපේ ශරීරය හැම වෙලාවේම උත්සාහ කරනව ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.6 කියන මට්ටමේ ස්ථාවරව තියාගන්න. එත් මේ වගේ අධික උෂ්ණත්වයක් තියෙන පරිසර මට්ටමකදි ඔය කියන සිස්ටම් එක බිඳවැටිල සාමාන්‍ය මට්ටමට වඩා ශරීරය උණුසුම් උනහම තමයි හීට් ස්ට්‍රෝක් එකක් ඇතිවෙන්නෙ.

 

2. වැඩිපුරම පරිස්සම් විය යුතු අය

Image Source – chistlukeshealth.org

මේ හීට් ස්ට්‍රෝක් එක පොදුවේ අපි හැම දෙනාටම බලපාන දෙයක් උනත් මේකෙ අවදානමට විශේෂයෙන්ම ලක්වෙන පිරිසක් ඉන්නව.

  • අවුරුදු 65ට වැඩි වයස අය

වයසින් වැඩි අයගේ ශරීරයේ විවිධ රෝගී තත්ත්වයන්, ඒවාට ලබාගන්න ප්‍රතිකාර සහ විශේෂයෙන්ම ඔවුන්ට ශරීරයේ සිදුවෙන වෙනස්කම් දැනෙන්න වෙන ප්‍රමාදයන් නිසා මේ හීට් ස්ට්‍රෝක් එකක බලපෑමට ලක්වීමේ අවදානම වැඩියි.

  • අතදරුවන් සහ කුඩා ළමයි

පොඩි ළමයින්ට දාඩිය දාන ප්‍රමාණය වැඩුණු මිනිසෙකුට වඩා අඩු අගයක තියෙන බවයි කියන්නේ. අනිත් එක ඔවුන්ට තිබහ දැනෙන බව ඉක්මනින් තේරුම් යනවත් අඩුයි. ඉතින් හරිම ඉක්මනින් විජලනය වෙන්න පුළුවන්.

  • නිදන්ගත රෝගයන්ගෙන් පෙලෙන අය

අධික ස්ථුලතාවය, හෘද රෝග, දියවැඩියාව සහ ශ්වසන අබාධ වලින් පෙලෙන අයටත් මේ උෂ්ණත්වයේ අවදානම ඉහළයි. මේ රෝගාබාධ හේතුවෙන් පරිසරයේ සිදුවෙන වෙනස්කම් වලට ශරීරය අනුගත කරගන්න සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා කල්ගත වීම තමයි ඒකට හේතුව.

ඒ වගේම මානසික අබාධ වලින් පෙලෙන අයටත් තමන්ගේ ශරීරයේ සිදුවන වෙනස්කම් හඳුනාගන්න අපහසුවීම නිසා ලොකු අවදානමක් තියෙනව.

  • ක්‍රීඩකයින් සහ එළිමහනේ වැඩ කරන අය

අධික හිරු රශ්මියට නිරන්තරයෙන් නිරාවරණය වෙන නිසා මේ අයටත් මේ අවදානම හුඟක්ම තියෙනව.

 

3. Heat Stroke එකක ලක්ෂණ

Image Source – drovers.com

අධික රස්නය නිසා ශරීරය හීට් ස්ට්‍රෝක් එකක් තරම් දරුණු මට්ටමකට මුහුණ දෙන්න කලින් මේ කියන ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්.

  • ක්ලාන්තය

ශරීරය විසින්ම අධික උෂ්ණත්වය පාලනය කරල සිසිල් වෙන්න දරණ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට සිහි මුර්ජා වීම, හිස කරකැවීම වගේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

  • මාංශ පේශී වේදනාව

Heat Cramps නැත්තම් මේ මස්පිඬු වල වේදනා අධික උණුසුම නිසා ඇතිවෙන මූලිකම ලක්ෂණයක්.

  • අධික වෙහෙස

අධික ලෙස දහදිය දැමීම, ඇඟ දුර්වල වීම, හිසරදය, හෘද ස්පන්දන වේගය වෙනස්වීම, වමනය වගේ ලක්ෂණත් නොසලකා හැරියොත් භයානක වෙන්න පුළුවන්.

  • Heat Stroke

Heat Stroke නැත්තම් අධික උණුසුම හේතුකොටගෙන ඇතිවෙන ආඝාතය, තමයි මේකෙ දරුණුම අවධිය. ක්ෂණිකව ප්‍රතිකාර සඳහා යොමු නොකළොත් මොළයට හානි වීම, ඉන්ද්‍රියන් අඩපණ වීම සහ මරණය දක්වා පවා දුරදිග යන්න පුළුවන්. හීට් ස්ට්‍රෝක් එකක ලක්ෂණ වෙන්නෙ මෙන්න මේ දේවල්:

  • ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 103 ට වඩා ඉහළ අගයක් ගැනීම
  • වේගවත් හෘද ස්පන්දනය
  • කෙටි වේගවත් ආශ්වාසය
  • වියලි හෝ රතු පැහැ සම
  • අධික හිසරදය
  • තෙහෙට්ටුව
  • ඔක්කාරය සහ වමනය
  • මාංශ පේශී වේදනා
  • තද පැහැයට මුත්‍රා පිටවීම
  • සිහිමද ගතිය

 

4. Heat Stroke එකකින් වැළකෙන්නේ කොහොමද?

Image Source – express.co.uk

  • වැඩිපුර වතුර බොන්න

සාමාන්‍ය දින වලට වඩා විශාල වශයෙන් ජලය පරිභෝජනය කිරීම හරිම වැදගත්. තිබහ නොදැනෙන ප්‍රමාණයටයි වතුර බොන්න ඕනෙ. තිබහ දැනෙනව කියල කියන්නේ විජලනය වෙන්න පටන් අරන් කියන එකයි. පොල්වතුර හෝ තැඹිලි වතුරත් නිතර පානය කරන්න පුළුවන්.

වතුර බීමට අමතරව වැඩිපුර වතුර අඩංගු පලතුරු හෝ එළවලු වර්ග ආහාරයට ගැනීමත් වැදගත්. පැණි කොමඩු, දොඩම්, මිදි වගේ පළතුරු උදාහරණ විදිහට කියන්න පුළුවන්.

  • අඳින ඇඳුම් වලින් පරිස්සම් වෙන්න

හැම වෙලාවෙම සැහැල්ලු ඇඳුම් අඳින්න. ඒ වගේම ලා පැහැති ඇඳුම් අඳින්න. තද පැහැයට හැකියාවක් තියෙනව පරිසරයේ තියෙන තාපය උරාගන්න. ඒ නිසා ලා පැහැති සැහැල්ලු ඇඳුම් ගෙදර හිටියත් පාරට ගියත් අඳින්න කියලයි උපදෙස් දෙන්නෙ.

  • ගමන් බිමන්

ගමන් බිමන් යෑම හැකිතරම් සීමා කරන තරමට තමයි හොඳ. දැඩි හිරු රශ්මියට නිරාවරණය නොවී හැකිතාක් නිවෙස් ඇතුළටම වෙලා ඉන්න කියල තමයි වෛද්‍යවරු උපදෙස් දෙන්නෙ. මොකද කලින් කියපු රෝග වලට අමතරව මේ අධික හිරු රශ්මිය නිසා සම ආශ්‍රිත රෝග පවා හැදෙන්න පුළුවන්.

එත් මේ උත්සව කාලේ පාරට නොබැහැ කොහොමද නේ? අන්න එහෙම යන්නම ඕනෙ අවස්ථාවල අව්වට යන්න කලින් හොඳ වර්ගයක sunscreen එකක්, එහෙම නැත්තම් Sun Protection Lotion එකක් පාවිච්චි කරන්න.

  • පැණි බීම, ඇල්කොහොල් සහ බෙහෙත් වර්ග

මේ බීම වර්ග නිසා මුත්‍රා පිටවීමේ වාර ගණන වැඩිවෙලා ශරීරය විජලනය වීමේ අවදානමක් ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම විවිධ ලෙඩරෝග වලට ලබාගන්න ඇන්ටිබයෝටික්ස් වගේ බෙහෙත් වර්ග නිසා ශරීරයේ උණුසුම ඉහළ යන්න පුළුවන්. මේ බෙහෙත් වර්ග ලබාගන්න පුද්ගලයින් තමන්ගේ වෛද්‍යවරයා සමඟ කතාබහ කරල විශේෂ අවධානයක් දෙන්න ඕනේ විජලනය නොවී ඉන්න.