රටවල් යට කළ මහා ගංවතුර ව්‍යසන 7ක්‍

ලෝකයේ ශිෂ්ටාචාර සහ ගංගා අතර පහනට තෙල් වගේ අපූරු සම්බන්ධකමක් තියෙනවා. ගංවතුර සම්බන්ධයෙනුත් එහෙමයි. පොහොර භාවිතයක් නැති ඒ කාලෙ ගංවතුර පිටාර ගැලීමෙන් එන සරු පස ගොවිතැනට වැදගත් වුණා. ගංවතුර කියන්නේ යම්කිසි හානියක් වුණත් ගංවතුර ගලන කළාප ලෝකයේ මිනිස් වාස අතර මුල් තැනට ආවා. නයිල් නිම්නය, ගංගා බ්‍රහ්ම පුත්‍ර නිම්නය, සින්දු නිම්නය, චීනයේ කහ ගඟ දෙපස වසර දහස් ගාණක් තිස්සේ මිනිස්සු අදටත් වාසය කරනවා. ගංවතුර ඉඳහිට ඇතිවුණත්, ඒ ගංවතුර දිගුකාලීනව මිනිසුන්ට වාසිදායක වුණා. අපි අද ලෝකය බියපත් කළ ගංවතුර ව්‍යසන ගැන ටිකක් සොයා බලමු.

 

1. 1889 මිසිසිපි නදිය පිටාර ගැලීම

1889 මැයි 31 වැනිදා සවස තුනට පමණ පෙන්සිල්වේනියාවෙ කොනමා (Conemaugh) නැමැති විලේ බැම්ම පුපුරා ගිහින් ටොන් මිලියන 16ක මහ ජල කඳක් මුදාහැරුණා. ඒ ජල කඳේ උස මීටර 13ක් තරම් වැඩි වුණා. සැතපුමක් දුරට මඩ සහ අපද්‍රව්‍ය ගොඩ ගැහුණා. මිනිස්සු 2200ක් මිය ගිය අතර ගොඩනැගිලි 1600ක් පමණ මොහොතකින් නැති වුණා. බොහෝ පිරිස් අවතැන් වුණා සහ ගෙවල් නැති වුණා. මේ විල හදා තිබුණේ දඩයම් කරන සහ මාළු අල්ලන කණ්ඩායම් එකතු වෙලා. ඒත් මේකේ වගකීම නම් ඔවුන් බාරගත්තේ නැහැ.

 

 

2. 1931 මධ්‍යම චීන ගංවතුර

1931 ගිම්හානයේදී හිම දියවීමත් දැඩි වර්ෂාවත් මධ්‍යම චීනයට දැඩිව බලපෑවා. සුළි කුණාටු තත්ත්වය මේ වර්ෂා හානිය තවත් වැඩි කළා. මේ නිසා ඇතිවුණ ගංවතුර චීන ඉතිහාසයේ මහා ගංවතුරක්. මේ නිසා යැන්ග්ටෙස් නදිය, කහ නදිය සහ හුආයි නදිය පිටාර ගැලුවා. මේ පිටාර ගොස් ගංවතුර ගැලූ වපසරිය එංගලන්තයටත් වඩා විශාල වපසරියක්. මේ ගංවතුර නිසා සෘජුවම මිනිස්සු දහස් ගණනක් මිය ගියා. ඒත් ගංවතුරින් පසු ඇතිවුන සාගතය නිසාත් කොළරාව, පාචනය, උණ සන්නිපාත රෝග තත්ත්වයන් නිසාත් මිනිසුන් මිලියන 3.7කට වඩා මිය ගියා.

 

 

3. 1362 එංගලන්ත ගංවතුර

උතුරු මුහුදේ සහ යුරෝපා කළාපයේ ඇතිවුණු සුළු කුණාටු තත්ත්වය නිසා මුලින්ම ගොඩනැගිලි, පල්ලි සහ මහාමාර්ග ආදියට දැඩි හානි ඇතිවුණා. මේ තත්ත්වය එංගලන්තයට පමණක් නෙමෙයි, බටහිර යුරෝපයේ ඩෙන්මාර්කය, ජර්මනිය, නෙදර්ලන්තය වගේ රටවලටත් දැඩිව බලපෑවා. මේ නිසා ඇතිවූ කුණාටු තත්ත්වය නිසා ඩෙන්මාර්කය මුහුදු වතුරින් යට වුණා. ඒ වගේම යුරෝපයේ නෙදර්ලන්තය වගේ පහළ රටවලටත් මුහුදු ජලය ඇවිත් ගංවතුර තත්ත්වයන් ඇති වුණා. මේ මුහුදු ගොඩ ගැලීම් නිසා වගාවන් වලටත් දැඩි හානි ඇතිවුණා. මේ හේතුවෙන් ලක්ෂයකට ආසන්න ජනකායක් මිය යන්නට ඇති බව සඳහන් වෙනවා.

 

 

4. 1841 ඉන්දු නදියේ ගංවතුර

ඉන්දු නදිය ලෝකයේ තිබෙන දිගම ගංගා අතරින් එකක්. දැනට මේ නදිය පාකිස්ථානයට ජලය සපයනවා. මේ ගංවතුර සිදුවන අවදියේදී මේ නදිය අයිති වුණේ බ්‍රිතාන්‍ය ඉන්දියාවට. මේ නදියේ මුල හරියේ තිබුණ ස්වාභාවික විලක බැම්ම පුපුරා යාමෙන් තත්පරයකට ඝන මීටර 540,000ක මහා ජල කඳක් නිකුත් වුණා. මෙයින් මීටර 32ක් තරම් උසට මහ ජල කඳක් ගංවතුර ලෙස නිකුත් වුණා. මේ නිසා ඇතැම් ගම්මාන තිබුණ තැනක්වත් සොයාගන්න බැරිව අතුරුදන් වුණා. මෙයින් සිදුවූ හානිය කොපමණද කියනවනම් සෙබළු 500කින් සමන්විත සික් ජාතිකයන්ගේ සම්පූර්ණ බලකායක්ම ගංවතුරේ ගසාගෙන ගියා.

 

 

5. 1966 ෆ්ලොරන්ස් ගංවතුර

ඉතාලියට මේ ව්‍යසනය ඇතිවුණේ අර්නෝ නදිය පිටාර ගැලීමෙන්. ආර්නෝ නදිය පිටාර ගැලීමෙන් ගැලුම් බිලියන 18ක ගංවතුරක් ඉතාලියේ නගර සහ ගම්මාන වෙත කඩා වැදුණා. දහස් ගණන් ගොඩනැගිලි විනාශ වුණා. ඉතාලියේ පෞරාණික නගරයක් වුණ ෆ්ලොරන්ස් වල පරණ පොත් පත් පමණක් 1500ක් පමණ විනාශ වුණා. තවත් මේ ගංවතුර සැඩ පහරට අහු වෙලා නගරයේ තිබුණු ඉපැරණි ස්මාරක ගැලවුණා. පැරණි ගොඩනැගිලි බිමට සමතලා වුණා. මේ නිසා ඇතිවුණ මඩ තට්ටු ඇතැම් තැනක බොහොම ඝනට ඇතිවෙලා තිබුණා.

 

6. 1938 චීන – ජපාන යුධ ගංවතුර

1938 ගංවතුර තත්ත්වය යුධමය තත්ත්වය මත ඇති වූවක්. ජපාන හමුදා ඉදිරියට ඒම වැළැක්වීමේ අදහසින් චීන ජාතික හමුදාව කහ නදියේ ගංවතුර වැළැක්වීමේ වේලි බිඳ දමා දුම්රිය මාර්ගය යටවන්නට ඉඩ හැරියා. ඒත් එයින් පසු කහ නදිය පිටාර ගලලා වර්ග කිලෝමීටර 54,000ක චීනයේ හෙනන් සහ අහුයි කියන ජියාන්ග්සු පළාත සම්පූර්ණයෙන් යට වුණා. මෙයින් මිලියන 4ක ජනකාය අවතැන් වුණා. අවම වශයෙන් ලක්ෂ අටක ජනකායක් මේ නිසා මියයන්නට ඇති බව සඳහන්. ඉන් පසු ඇතිවූ රෝග සහ සාගත තත්ත්වයන් නිසාත් තවත් වැඩි පිරිසක් මිය ගියා. මේ පිටාර වේලි කඩා දැමීම චීනය අතින් සිදුවුවත් එය ජපාන බෝම්බ නිසා සිදුවූවක් බවට චීනය චෝදනා කළා. කෙසේ වෙතත් කහ නදියේ මේ ගංවතුර තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් කරලා ගඟ පෙර පරිදි ගමන් කරවන්න එවක චීනයට අවුරුදු 9ක් පමණ ගත වුණා.

 

 

7. 1971 උතුරු වියට්නාම ගංවතුර

අග්නිදිග ආසියාවේ මෑත ඉතිහාසයේ සිදුවූ මහා ගංවතුරක් ලෙස මේ 1971 ගංවතුර තත්ත්වය දැක්වෙනවා. එවකට යුධමය තත්ත්වය තිබුණ වියට්නාමයේ හනොයි පළාතේ තමයි මේ ගංවතුර තත්ත්වය ඇති වුණේ. මේ නිසා රතු නදිය පිටාර ගොස් ලක්ෂයක් පමණ ජීවිත හානි සිදුවුණා. දැඩි කුණාටු තත්ත්වය එක්ක ඇති වූ මේ මහා ගංවතුර තත්ත්වය එවකට පැවති යුධ තත්‍ත්වය නිසා වැසී ගියත් මෙය මිනිසුන් මිලියන 2.7ක් පමණ අවතැන් කළ මහා ගංවතුරක් ව සඳහන්.

 

ජීවය ඇතිවන්නට ජලය මූලික හේතුවක් වුණත්, එම ජලයම විටෙක ගහකොළ සතා සීපාවා විතරක් නෙමෙයි, අපේ මානව ශිෂ්ටාචාරයම සුනු විසුණු කරන්නට සමත් වෙනවා. නවීන ලෝකය තාක්ෂණය අතින් කොපමණ දියුණු වුණත් වසරකට එකක් දෙකක් වත් මහා ගංවතුර තත්ත්වයන් නිසා ජනතාව පීඩාවට පත් වෙනවා. පරිසර හානි නිසා පෘථිවියේ වර්ෂා රටාවන් වෙනස් වෙලා. ඒ නිසා පෙර කාලේට වඩා දැන් දැන් අධික වර්ෂාව නිසා සිදුවන ගංවතුර අනතුරු වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ගැන දැන් ලෝක වශයෙනුත් වැඩි අවධානයක්‍ යොමු වෙලා තියෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *