කාන්තාරය මැද පිහිටි ලෝකයේ සුප්‍රක​ට ක්ෂේම භූමි

අපි පොඩි කාලෙ තනි පද ඉගෙන ගනිද්දි කටපාඩම් කරන එක වචනයක් තිබ්බා. ඒ තමයි ක්ෂේම භූමි. කාන්තාරයක් මැද පිහිටි කොළ පැහැයෙන් වැහුණු බිම්කඩක් විදිහට තමයි අපේ ක්ෂේම භූමිය හඳුනා ගත්තේ. හැබැයි ඉතිං අපේ රටේ කාන්තාර නැති නිසා ක්ෂේම භූමි පිළිබඳව අත්දැකීමක් ලබා ගන්නත් අපිට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි හිතුවා ලෝකයේ සුප්‍රකට ක්ෂේම භූමි කිහිපයක් කිහිපයක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න.

 

1. වාඩි බානි කාලිඩ් (Wadi Bani Khalid)

කාන්තාර දේශගුණයක් සහිත ඕමානයේ පිහිටා ඇති  ක්ෂේම භූමි අතරින් සුන්දරතම සහ ප්‍රධානතම ක්ෂේම භූමිය ලෙස සැලකෙන්නේ වාඩි බානි කාලිඩ්ය. මේ නිසාම මෙම ක්ෂේම භූමිය සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබෙනවා. වසර පුරාම ජලය ගලා එන දිය ධාරාවක්  මෙම භූමියට ජීවය ගෙන එනවා. එසේම ජලය පිරුණු කුඩා කුඩා ජලාශ සහ දිය උල්පත් මෙම භූමිය පුරා විසිරී පවතිනවා. 

 

2. වකචීනා (Huacachina)

දකුණු දිග පීරු රටේ පිහිටා ඇති මෙම ක්ෂේම භූමියත් දකුණු ඇමරිකාවේ ඇමරිකාවේ සංචාරකයන් එක්රැස් කරන මධ්‍යස්ථානයක්. නමුත් මේ බිම් කඩ තුළ ජීවත් වන්නේ ස්ථිර පදිංචිකරුවන් සීයක පමණ ප්‍රමාණයක් පමණයි. කාන්තාරයේ මධ්‍යයේ පිහිටා ඇති ස්වභාවික විලක් ආශ්‍රිතව මෙම ක්ෂේම භූමිය පිහිටා තිබෙනවා. සුරූපී  කුමාරිකාවක් දඩයක්කරුවෙකුගෙන් පලා යාමේදී මෙම  විල නිර්මාණය වුණු බව ජනප්‍රවාදවල කියවෙනවා.

 

3. ලෙන්කොයිස් මැරන්හෙන්සස් ජාතික උද්‍යානය (Lencois Maranhenses National Park)

බ්‍රසීලයේ උතුරු දිග ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ක්ෂේම භූමිය හෙක්ටයාර එක් ලක්ෂ පනස් පන්දහසක වපසරියක් පුරා විහිදී පවතිනවා. එසේම මෙම ජාතික උද්‍යානයෙන් කොටසක් මහ මුහුදටද සීමා වනවා. වර්ෂා සමයට මෙහි පිහිටා ඇති වගුරු බිම් ජලයෙන් පිරී යනවා. එසේම විවිධ වර්ගයේ තර්ජනයට ලක් වූ සතුන් රැසකට වාසස්ථානයක් බවට මෙම භූමිය පත්ව තිබෙනවා.

 

4. ටෆිල්’ලට් (Tafilalt)

මෙම ක්ෂේම භූමිය සඳහා භාවිතා වන ටෆිල්’ලට් වචනයේ අර්ථය වතුර පිරවුණු භාජනය ලෙස සඳහන් වෙනවා. මෙය මොරොක්කෝවේ පිහිටා ඇති විශාලම ක්ෂේම භූමියයි. නයිජර් නදියේ සිට ටැන්ජියර් දක්වා තවලම් මාර්ගයේ වැදගත් ස්ථානයක් මෙම ක්ෂේම භූමිය ලබාගත් අතර මේ නිසාම මෙහි වැසියන් සමෘද්ධියට පත් වුණා. මෙහි ඇති වැදගත්කම නිසා වරින් වර විවිධ පාලකයන් එහි බලය අත්පත් කර ගැනීමට උත්සාහ කරනු ලැබුවා. ලෝකයේ අනිකුත් ක්ෂේම භූමි සේම මෙම ක්ෂේම භූමිය මොරොක්කෝවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් බවට පත්ව තිබෙනවා.

 

5. අඬසඳ විල (Crescent Moon Lake)

ගොඩබිම් සේද මාර්ගයේ ගෝබි කාන්තාරය හරහා වැටුණු කොටසේ සංචාරකයන්ට සහ වෙළඳුන්ට යම්තාක් දුරකට හෝ සහනයක් බවට පත්වූයේ මෙම ක්ෂේම භූමියයි. නමින්ම හැඟී යන පරිදි අඩ සඳක හැඩය ගත් විලක් ආශ්‍රිතව මේ ක්ෂේම භූමිය පිහිටා තිබෙනවා. වසර කීපයකට පෙර මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම විල සිඳී යාමේ අවදානමක් මතු වූ අතර පසුව චීන රජය මැදිහත් වී එම විල යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

 

6. ඉයින් ගෙඩි (Ein Gedi)

මළ මුහුදට නැගෙනහිරින් පිහිටා ඇති මෙම ක්ෂේම භූමිය පිරිසිදු දිය උල්පත් හතරකින් පෝෂණය වනවා. ඉන් එක දිය උල්පතක් සඳහා භාවිතා කෙරෙන්නේ ද ක්ෂේම භූමියට භාවිතා කෙරෙන නමමයි. මෙම ක්ෂේම භූමිය ආශ්‍රිතව ලෝකප්‍රකට මැරතන් තරඟයක් පැවැත්වෙන අතර ඒ සඳහා Shalom Marathon සහ Dead Sea Half Marathon යන නම් භාවිතා කරනු ලබනවා.

 

7. උබාරී (Ubari)

 තදින් හිරු රැස් වැටෙන සහ වියළි මහ කාන්තාර ප්‍රදේශයක විලක් ආශ්‍රිතව පිහිටා ඇති මෙම ක්ෂේම භූමිය සියවස් ගණනාවක් පුරා කාන්තාර වැසියන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. අතිශයින්ම අවම වර්ෂාපතනයක් පවතින මෙම ප්‍රදේශයේ ජීවය ආරක්ෂා කර ගැනීමට හේතු වන මෙම විල  ඒ රටවල වැසියන් පූජනීයත්වයෙන් සළකනු ලබනවා. ගඩාෆිව පෙරලා දැමීමෙන් පසුව ඇතිවුණු සිවිල් යුද්ධයේ දී විවිධ පාර්ශව විසින් මෙම ක්ෂේම භූමියේ බලය අත්පත් කර ගැනීමට උත්සාහ කරනු ලැබුවා. ඒ නිසා ඒ අවට වාසය කරන ජනතාවට මෙන්ම පාරිසරික පද්ධතීන් වලටත් සිදු වූයේ දැඩි හානියක්.

 

එහෙම නම් ඉතින් නම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *