හනිමූන් යන්න ගැලපෙනම සුන්දර කඳුකර හොටෙල්ස් 7ක්!

කසාදයක් කරගන්න එක හොඳට හිතලා බලලා සැලසුම් කරලා කරනවා වගේ තමයි හනිමූන් එකත්. බොහෝම හොඳට හිතලා බලලා තමයි හනිමූන් එකට ගැලපෙන හොටෙල් එකක් තෝරගන්නත් ඕන කරන්නේ. මොකද ගොඩක් වෙලාවට වැඩ රාජකාරි අනං මනං ඔක්කොම අමතක කරලා දාලා දෙන්නත් එක්ක නිදහස් දවස් කීපයක් ගත කරන්න තියෙන පළමුවෙනි අවස්ථාව තමයි හනිමූන් එක. ඉන් පස්සේ ඉතින් ඕන නං අවුරුද්දකට වතාවක් වුනත් හනිමූන් යන්න බැරියෑ. කොහොම නමුත් හනිමූන් එකට ඇත්තටම තැනක් තෝරගන්නකොට මූලික වෙන්නේ සුන්දරත්වය, ඉන් පස්සේ සුවපහසුවත් වැදගත්. ඉතින් මේ කියන්න යන්නේ ලංකාවේ සුන්දර කඳුකර පළාත් වල පිහිටලා තියෙන, හනිමූන් එකට ගැලපෙන තැන් කීපයක් ගැන!

 

1. 98 Acres Resort

Image Source – booking.com

අමුතුවෙන් කියන්න ඕන නැහැනේ අක්කර 98 හොටෙල් එක ගැන. එක පාරක් ලෝකේ සුන්දරම හෝටලයන්ගෙන් එකක් විදියටත් තේරුණු මේ 98 Acres Resort එක වටවෙලා තියෙන්නේ සුන්දර තේ වත්තකින්. ඒ වටේ තියෙන්නේ ඈතින් ඈතට පැතිරුණු නිල්වන් කඳු මුදුන්. එක එක විදියට හදපු ෂැලේ කොටේජ් වලින් එකක නවාතැන් ගන්න හනිමූන් කපල් එකකට තමන්ගේ නිදහසත් උපරිමයෙන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සම්පූර්ණ හොටෙල් එකේ සියලුම පහසුකම් නිර්මාණය කරලා තියෙන්නෙත් හිතේ නිදහස සහ සැහැල්ලුව එක්ක සුඛෝපභෝගීත්වය උපරිමයෙන් ලැබෙන විදියට.

තැන:

දුරකථන අංක: 057 205 0050

 

2. Heritance Kandalama Hotel

Image Source – booking.com

කණ්ඩලම කියන්නේ කඳුකරයද? එහෙම කියන්න අමාරුයි. දඹුල්ල කියන්නේ මධ්‍යම කඳුකරය නෙවෙයිනේ. හැබැයි අපි කණ්ඩලමේ තියෙන හෙරිටාන්ස් හෝටලයත් අපේ ලැයිස්තුවට ගන්නවා. ඒ හෙරිටාන්ස් කණ්ඩලම හොටෙල් එක තියෙන්නේ කඳුකර පරිසරයක වීම නිසාම විතරක් නෙවෙයි. මේ පරිසර හිතකාමී හෝටලයේ ඉන්න කෙනෙක්ට මධ්‍යම කඳුකරයේ සුවදායී පරිසරයේ ඉන්නවා වගේ හැඟීමක් ඇත්තටම දැනෙන නිසා. ඇත්තටම අතිවිශාල වතුයායක් මැද පිහිටලා තියෙන හෙරිටාන්ස් කණ්ඩලම හෝටලය විවෘත වෙන්නේ කණ්ඩලම වැවට. සීගිරියත් පේනවා. ඇත්තටම හනිමූන් එකට යන කපල් එකකට නිදහසේ, හිතේ සතුටින් කාලය ගත කරන්න ගැලපෙනම පසුතලයක් තමයි හෙරිටාන්ස් කණ්ඩලම පසුබිම් කරගෙන තියෙන්නේ.

තැන:

දුරකථන අංක: 066 555 5000

 

3. Hunas Falls by Amaya

Image Source – agoda.com

කඳුකරයට හනිමූන් යන බොහෝමයක් දෙනෙක් ‍තෝරගන්න තැනක් තමයි නුවර හුනාස් ෆෝල්ස් බයි අමායා කියන්නේ. අමායා හෝටල් ජාලයේ සාමාජිකයෙක් වෙන හුනාස් ෆෝල්ස් පිහිටලා තියෙන්නේ උදේට මීදුමෙන් වැහෙන කඳු පංති සහ වළාකුළු මවමින් කඩා හැලෙන දිය ඇලි අතරේ. ඇත්තටම විශාල තණ තිල්ලකට සහ එතනින් එහාට විහිදුණු කඳු ගහන දර්ශන පථයකට නිරාවරණය වෙන බැල්කනියක් හුනාස් ෆෝල්ස් හෝටලයේ එක පැත්තක තියෙන කාමර වලට පේන්න තියෙනවා. කෑමත් සුපිරියි. සුඛෝපභෝගීත්වයෙනුත් අනූනයි. ඕන නම් දෙන්නත් එක්ක ගොල්ෆ් ගහන්නත් පුලුවන්.

තැන:

දුරකථන අංක: 0812 470 043

 

4. Thotalagala

Image Source – johansens.com

ඈතට විහිදී යන කඳු වළල්ලක් මැද්දේ පිහිටලා තියෙන විශාල කුළුණු වලින් නිර්මාණය වුණු හොටෙල් එකක ඉස්සරහා මිටියාවත දිගේ වැ‍ටුණු, උදෑසන හිරු එළියෙන් නැහැවුණු ගල් අතුරපු අඩි පාරක් දිගේ දෙන්නත් එක්ක තුරුළු වෙලා පියමං කරන එක රොමෑන්ටික් නැද්ද? එහෙම හිතනවා නම් යන්න ඕනම තැනක් තමයි හපුතලේ තියෙන හොටෙල් තොටලගල. ඒ යන අතරේ මුණගැහෙන නෙලුම්, ඕලු මල් පිරුණු පොකුණ ලඟත් ඕන නම් වාඩි වෙලා ඉන්න පුලුවන්. එහෙම නැතිනම් සුඛෝපභෝගී, ඒත් පැරණි පන්නෙට නිර්මාණය වුණු හෝටල් කාමරයේ ඇඳේම ඉඳගෙන නියම පදමට නිමවුණු තේ එකක් තොලගාන්නත් පුලුවන්. සමහර විට ලේඛන කලාවට කැමති කෙනෙක්ට නම්, හනිමූන් එක පැත්තක දාලා කාමරේ තියෙන පැරණි පන්නේ මේසෙට වාඩිවෙලා තමන්ගේ අත්දැකීම් ගැන ලියන්න හිතෙන්නත් පුලුවන්!

තැන:

දුරකථන අංක: 076 762 7433

 

5. Jetwing Warwick Gardens

Image Source – johansens.com

අඹේවෙල කඳු පංති අතර පිහිටලා තියෙන ජෙට්වින්ග් වර්වික් ගාර්ඩ්න්ස් කියන්නේ ඇත්තටම බජට් විකල්පයක් නම් නෙවෙයි. සාමාන්‍යයෙන් මිල අධික පැත්තට බර ජෙට්වින්ග් වර්වික් ගාර්ඩ්න්ස් හොටෙල් එකේ හැමදෙයක්ම සලකන කොට ඒ වගේ මිලක් දවසකට ගෙවන එක පාඩුයි කියන්නත් බෑ. සම්පූර්ණයෙන්ම ග්‍රේගෝරියානු ගෘහනිර්මාණ ශිල්පය සහ අභ්‍යන්තර අලංකරණය එක්ක නිමැවුණු ජෙට්වින්ග් වර්වික් ගාර්ඩ්න්ස් හොටෙල් එකේ කාමරයක ඉඳන් රෙස්‍ටුරන්ට් එක දක්වා හැම තැනකම තියෙන්නේ සුඛෝපභෝගී පරණ බ්‍රිතාන්‍ය ගෙයක තිබෙනවා වගේ පසුබිමක්. ඒ විතරක් නෙවෙයි, මෙතන පුස්තකාලයක් පවා තියෙනවා. ඇත්තටම ස්කොට් ජාතික වතු හිමියෙක්ගේ ගෙයක් වෙලා තිබුණු මෙතන ඕනම හනිමූන් කපල් එකකට ජීවිතේ හොඳම දවස් කීපයක් ලබාදෙන තැනක් කියලා කියන එක වැරදි නෑ.ඒකට හෝටලයේ සුඛෝපභෝගීත්වය වගේම කඳුකර පරිසරයේ සුන්දරත්වයත් හේතුවක් වෙයි!

තැන:

දුරකථන අංක: 0523 532 284

 

6. The Forest and Lake by Schofieldshire

Image Source – booking.com

නුවර එළියේ පිහිටලා තියෙන තවත් තරු පංතියේ රිසෝට් එකක් වෙන ‘ද ෆොරස්ට් ඇන්ඩ් ලේක් බයි ස්කෝෆීල්ඩ්ෂයර්’ එකේ නමෙන්ම පොඩි ඉඟියක් ලැබෙනවා බලාපොරොත්තු වෙන්න පුලුවන් මොනවද කියන එක ගැන. කඳු මුදුනක පිහිටි තැන්නක් මැද තියෙන මේ රිසෝට් එකේ අභ්‍යන්තර ගෘහ අලංකරණය නිර්මාණය වෙලා තියෙන්නෙත් හරි අපූරු විදියකට. ප්‍රධාන ශාලාව, විසිත්ත කාමරය ඇතුළු තැන් තනිකරම පාහේ ලී වලින් සහ පැරණි ගෘහභාණ්ඩ සහ විසිතුරු වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. දෙන්නත් එක්ක උණුහුමට විසිත්ත කාමරේ තියෙන සෝපාවක ගුලිවෙලා ඉන්නකොට හිතෙයි පරණ ඉංග්‍රීසි ගෙදරක ඉන්නවා කියලා. හැබැයි කාමර ගත්තොත්, ගෘහභාණ්ඩ වලින් ලැබිලා තියෙන පැරණි පෙනුම තිබියදී වුනත් බොහොම නවීන පෙනුමක් තමයි තියෙන්නේ. ඒකට කාමරයේ ඉදිරි බිත්තිය සම්පූර්ණයෙන්ම වගේ වසාගෙන තියෙන වීදුරු ප්‍රංස ජනේලත් හේතුවක් වෙන්න පුලුවන්. උදේ නැගිටපු ගමන් තමන්ගේ ඉදිරියෙන් විහිදිලා තියෙන්නේ දර්ශනීය තණ නිල්ලෙන් වැහුණු උද්‍යානයක් සහ එතැනින් එහාට ක්ෂිතිජය මුවා කරමින් විහිදුණු සුන්දර මධ්‍යම කඳුකරය කියලා පේන එක තරම් හනිමූන් එක සුන්දර කරන්න පුලුවන් හේතුවක් තවත් තියෙනවද?

තැන:

දුරකථන අංක: 077 992 0533

 

7. Jetwing St.Andrew’s

Image Source – tripadvisor.co.nz

සුන්දර නුවර එළියේ සාපේක්ෂව අඩු මුදලකට ලබාගන්න පුලුවන් තරු පංතියේ රිසෝට් එකක අත්දැකීමක් තිලිණ කරන ජෙට්වින්ග් සෙන්ට් ඇන්ඩෘස් කියන්නේ ටියුඩර් පන්නෙට නිර්මාණය වුණු සුඛෝපභෝගී නවාතැනක්. ඇත්තටම ගෘහ නිර්මාණය නිසා අපිට පරණ තාලේ ගේක ඉන්නවාය කියන හැඟීම මොහොතකට ඇති වුණත්, කාමර වල ඉඳන් හැම තැනකම ඇත්තටම තියෙන්නේ අර සුරංගනා කතාවක තියෙන තාලේ පෙනුමක්. හනිමූන් කපල් එකකට මේ පෙනුම අනිවාර්යයෙන්ම අල්ලලා යයි. බොහොම සුවපහසුවට, සුඛෝපභෝගී පහසුකම් එක්ක නිර්මාණය වුණු ජෙට්වින්ග් සෙන්ට් ඇන්ඩෘස් හොටෙල් එකේ නවාතැන් ගන්න යුවළකට උදේට උද්‍යානයට වෙලා විවේකීව තේ එකක් බොන්න පුලුවන්. හරියට පරණ ඉංග්‍රීසි ‍ෆිල්ම් එකක වගේ. එහෙම නැතිනම් ගොල්ෆ් ගහන්න යන්නත් පුලුවන්. හවස් අතේ වුනත් වයින් වීදුරුවක් තොල ගාන ගමන් ගිනි උදුන ලඟ සැප පු‍ටු දෙකකට වෙලා අත් අල්ලාගෙන විවේක සුවයෙන් ඉන්න පුලුවන්.

තැන:

දුරකථන අංක: 011 470 9400

Leave a Reply

Your email address will not be published. Required fields are marked *