විශ්වයේ ආකර්ෂණ නීතිය ප්‍රයෝජනයට ගන්න ක්‍රම

ආකර්ෂණ නීතිය එහෙමත් නැත්තම් Law of Attraction කියල කියන්නෙ අද වෙද්දී ලෝකයේ බොහෝ දෙනා පිළිගන්න විශ්වීය සංකල්පයක්. මේ සංකල්පයේ සරල අදහස වෙන්නේ අපි එදිනෙදා හිතන පතන, ක්‍රියාකරන දේ අනුව අපෙන් විශ්වයට මුදාහැරෙන පණිවිඩ මත  අපේ ජීවිත වලට පෙරලා ලැබෙන දේවල් තීරණය වෙනවා කියන එකයි. ඒ කියන්නෙ අපි දිනපතා සුභවාදී අදහස්, ආකල්ප දරමින් ජීවත් වෙනවනම් අපේ ජීවිතයට සුභාවාදී දේත්, අසුභවාදී ආකල්ප දරමින් ජීවත් වෙනවනම් අසුභ දේත්  ආකර්ෂණය වෙනවා කියන අදහස. මේ නීතිය අනුව අපි හැසිරෙන විදිහ වගේම අපේ හිතට දැනෙන සිතුවිලි පවා අපිට පෙරලා ලැබෙන දේ තීරණය වෙන්න බලපානවා. අපි මේ ගැන සවිස්තරාත්මක ලිපියක් මීට කලින් අරගෙන ආවා. මෙන්න මෙතනින් ඒ ගැන කියවන්න පුළුවන්.

හිතන දේ හැබෑ කරන විශ්වයේ නීතිය – Law of Attraction ගැන ඉගෙනගමු

 

අද මේ කතාකරන්න යන්නෙ මේ නීතිය ප්‍රයෝගිකව භාවිතා කරන්න, ඒ කියන්නෙ විශ්වයෙන් හොඳ දේවල් ආකර්ෂණය කරගන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි. 

 

1. පැහැදිළි අරමුණු තබාගන්න

තමන්ට ජීවිතයේ අවශ්‍ය හැම දෙයක් ගැනම පැහැදිළි අරමුණු තබාගැනීම ගොඩාක් වැදගත්. මොකද කිව්වොත් සමහර දෙනෙක් ඉන්නවා තමන්ට අවශ්‍ය මොකක්ද කියන එක ගැන තමන්ටම හරි හැටි අවබෝධයක් නැති. උපාධියක්, ගෙයක්, රැකියාවක් වගේ හැම දෙයක් ගැනම පැහැදිළි අරමුණක් තියාගන්න. ඒ කියන්නෙ රැකියාවක්නම් මේ අංශයේ මෙන්න මේ තරමේ වැටුපක් ලැබෙන රැකියාවක්, ගෙයක්නම් මෙන්න මේ විදිහේ ගෙයක් කියලා ඉතාම සවිස්තරාත්මක, පැහැදිළි අරමුණු තියාගන්න. අරමුණ පැහැදිළි වෙන තරමට ඒ දේවල් ලැබෙන්න තියෙන හැකියාව වැඩියි. 

 

 

2. නිරන්තරයෙන් සිහින දකින්න

මේ කියන්නෙ නින්දේදී දකින සිහින නෙමෙයි. අවදියෙන් ඉන්නකොට ඔබට ලබාගන්න ඕන දේවල් ගැන නිරන්තරයෙන්ම සිහින දකින්න. සරලවම කිව්වොත් ඒ දේවල් හැබෑවුණා කියලා හිතාගෙන fantasy එකක ජීවත් වෙන්න. ඒ කිව්වේ උදේට අවදිවුනාම, රෑට නින්දට යද්දී වගේම විවේකයක් ලැබෙන හැම වෙලාවකම තමන් ආසම විදිහේ ගෙදරක ජීවත් වෙනවා, ආසම රැකියාව කරනවා කියන දේවල් සම්බන්ධයෙන් චිත්තරූප දකින්න. එහෙම දකිමින් ඒ දකින දේවල සතුට හැබෑවටම හිතින් විඳින්න. මේකට කියන්නෙ Visualization කියලා. 

 

 

3. සෑම සිදුවීමකම හොඳ දකින්න

නරක අත්දැකීම් අපි හැමෝගෙම ජීවිත වල අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. හැබැයි අපි ඒ දේවල් දිහා බලන විදිහ කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස්. අන්න එතන තමයි ප්‍රධානවම මිනිසුන්ගේ සාර්ථකත්වයේ වෙනස තියෙන්නෙ කියල කිව්වොත් ඔබ විශ්වාස කරනවද? 

සිදුවෙන හැමදෙයක් ගැනම පැමිණිලි කරමින්, නිරන්තරයෙන් නරකම දකින අයට වඩා නරක සිදුවීමක වුණත් පුංචිම හරි හොඳ දෙයක් දකින්න කැමති අයගේ ජීවිත ඉතාම සාර්ථකයි. ඉතින් මෙන්න මේ වාසිය ලබන්නනම් ඔබ අනිවාර්යයෙන්ම ඕනම සිදුවීමක හොඳ ටිකක් හෝ දකින්න මනස හුරුකරගන්න අවශ්‍යයි.

 

 

4. විශ්වාසය තබාගන්න

කලින් විස්තර කළා වගේ නරක අත්දැකීම් ලැබුණත් තමන්ගේ අරමුණ සහ විශ්වය ඔබට ලබාදෙන දේ ගැන දැඩි විශ්වාසයෙන් ජීවත් වෙන්න. “ඇයි මටම මෙහෙම වෙන්නේ” වගේ අසුභවාදී දේ හිතනවාට වඩා සිදුවුණ දේ හොඳම දේ බව, විශ්වයට ඔබ වෙනුවෙන් සැලසුම් ඇති බව සහ ඔබට හොඳම දේ අවශ්‍යම අවස්ථාවේ නොවැරදීම ලැබෙන බව දැඩිව විශ්වාස කරන්න. ඒ වගේම තමයි නිරන්තරයෙන් ධනාත්මක වචන භාවිතා කරන්න. උදාහරණයක් විදිහට “මට මේ රස්සාව ඕනේ”, “මට මෙහෙම රස්සාවක් ලැබෙන්නේ නැහැනේ” වගේ දේවල් නිතරම හිතනවාට වඩා ඔබට දැනට ලැබී ඇති දේ හෝ ලැබෙන්න ඇති දේ ගැන ධනාත්මක දේ කියන්න. “මේ රැකියාව මට ලැබෙන බව විශ්වාසයි”, “මේ අරමුණට මාව ගෙනියන විශ්වයට  ස්තූතියි” වගේ දේවල්.

 

 

5. ආතතිය මඟහරින්න

මානසික ආතතිය කොයි විදිහකින් ගත්තත් අපිට යහපතක් සිදුකරන්නේ නැහැ. ඒ වගේම තමයි ආතතිය නිසා අනිවාර්යයෙන්ම සෘණාත්මක සිතුවිලි සහ ක්‍රියාවන් උපදින්න පුළුවන්. ඒ නිසා හැකිතරම් මානසික ආතතිය මඟහරින්න. අරමුණු ගැන පවා ලොකු ආතතියක් හිතේ තියාගෙන ඉන්න එපා. කලින් විස්තර කළ විශ්වාසය හිත තුල ගොඩනැගෙද්දී පහසුවෙන්ම මේ ආතතිය මඟහැරෙනවා. ඊට අමතරව එදිනෙදා ගැටළු නිසා ඇතිවෙන ආතතිය මඟහරවාගන්න භාවනා, යෝගා ව්‍යායාම වගේ උපක්‍රම භාවිතා කරන්න පුළුවන්.

 

 

6. ස්තූතිවන්ත වෙන්න

අපිට ලැබෙන හැමදේම වෙනුවෙන් දිනපතා ඔබ අදහන දෙවියන්ට (දෙවියන් ඇදහුවේ නැහැ කියලා ගැටළුවක් නැහැ. දෙවියන්ට ස්තූති කිරීම අනිවාර්ය නැහැ. අදහනවානම් පමණක් ස්තූති  කරන්න පුළුවන්) විශ්වයට සහ ඔබ අවට සිටින සියලුම දෙනාට ස්තූති කරන්න. හිතවත් අයට ලඟට ගිහිල්ලා කටින් කියන්න අවශ්‍ය නැහැ. හැමදාම උදේට හවසට හිතින් හිතීම වුණත් ප්‍රමාණවත්. මේ පුරුද්ද වැඩිදියුණු කරගන්න gratitude journal එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නෙ අද දවසේ ඔබට සතුටු වෙන්න තිබුණ කාරණා, ඔබ ඉගෙනගත්ත දේවල් සහ ඔබ අන් අයට ස්තූතිවන්ත වන බව  දිනපතා පොතක සටහන් කරන ක්‍රමය. 

 

 

7. ප්‍රකාශන ශිල්පීය ක්‍රම භාවිතා කරන්න

ප්‍රකාශන ශිල්පීය ක්‍රම කියන්නෙ ආකර්ෂණ නීතිය යටතේ එන වෙනමම මාතෘකාවක්. හුඟ දෙනෙක්ට අහල පුරුදු ඉංග්‍රීසි වචනයෙන් කිව්වොත් මේ කියන්නෙ “Manifestation Techniques” ගැනයි. මේකෙන් අදහස් වෙන්නේ පුංචි පුංචි ක්‍රම මඟින් අපිට අවශ්‍ය දේ වේගයෙන් ලඟා කරගන්න විශ්වයට පණිවිඩ යවන එක. සටහන් තැබීම, චිත්තරූප වගේම තවත් ක්‍රම මේකට ඇතුළත්. මේ ගැන වෙනමම ලිපියකින් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *