පැකේජ් එකට හරියන විදියේ අන්ඩර්වෙයාර්ස් තෝරගන්නේ මෙහෙමයි! අතිශයින්ම පිරිමින්ට පමණයි!!

අද කියන්න යන්නේ අතිශයින්ම පිරිමින්ට පමණයි දෙයක් කිව්වට, එහෙමම නෑ. දැන් සාමාන්‍යයෙන් පිරිමියෙක් ගිහින් තමන්ට යටඇඳුම් තෝරගන්නවා තමයි. යටඇඳුම් කියලා කිව්වට මෙතනදී අපි කියන්නේ බැනියම් ගැන නෙවෙයි. යට කලිසම්, අන්ඩර්වෙයාර්, ලංකට්, ට්‍රන්ක්, ජොක්කු වගේ නානාප්‍රකාර නම් වලින් හැඳින්වෙන, පිරිමි යටිකයට අඳින යට ඇඳුම් ගැන තමයි මේ කියන්නේ. ලේසියට මෙතන ඉඳලා අන්ඩර්වෙයාර්ස් කියලා කියමු. එතනදී සමහර වෙලාවට අපේ අම්මා, ගර්ල්ෆ්‍රෙන්ඩ්, වයිෆ් එහෙමත් අපිට යටඇඳුම් තෝරනවනේ. ඒ නිසා කාන්තා පාර්ශවයත් මේක කියෙව්වට කමක් නෑ.

දැන් පැකේජ් එකට හරියන්න අන්ඩර්වෙයාර්ස් තෝරමු කියලා කියපු ගමන් කොල්ලෝ හිතන දෙයක් තියෙනවා. ඔව්, ඒ තුනේ පැකේජ් එකත් සැහැල්ලුවෙන්, ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව තියාගන්න අපි අඳින අන්ඩර්වෙයාර්ස් වලට පුළුවන් වෙන්න ඕන තමයි. හැබැයි ඒ ඇරෙන්න පොදුවේ අපේ සමස්ත යටිකය ගැනම හිතලා තමයි අන්ඩර්වෙයාර්ස් තෝරගන්න ඕන. එහෙම නැතුව ගිහින් සයිස් හරි නම් ඕන ජොකෙක් උස්සගෙන එන එක නෙවෙයි අන්ඩර්වෙයාර්ස් තෝරනවා කියන්නේ.

 

එහෙමනම් බලමු සරලවම අන්ඩර්වෙයාර්ස් තෝරනකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් කීපයක් ගැන.

 

1. අන්ඩර්වෙයාර් වර්ග

ඇත්තටම ෆැෂන් පැත්තෙන් බැලුවොත් එහෙම පිරිමින්ට අඳින්න අන්ඩර්වෙයාර්ස් ජාති ගණනාවක්ම තිබුණත්, අපිට එදිනෙදා ජීවිතේට වැදගත් වෙන්නේ වර්ග කීපයක් විතරයි.

 

බොක්සර් බ්‍රීෆ්ස්: මේවාට තමයි සමහරු ට්‍රන්ක්ස් කියලත් කියන්නේ. සාමාන්‍යයෙන් ඉණෙන් ටිකක් ඉහළට වෙන්න අඳින මේවා කලවා වලින් භාගයක් විතර වැහෙන්න තියෙනවා.

බ්‍රීෆ්ස්: සාමාන්‍යයෙන් මේ බ්‍රීෆ් කියලා හඳුන්වන ජොක්කු නම් ඇඳපු නැති කෙනෙක් හොයාගන්න නැතුව ඇති. මෙව්වා සාමාන්‍යයෙන් පැකේජ් එක සහ කලවා වල උඩ හරිය වැහෙන්න තරමට තියෙනවා. හැබැයි බ්‍රීෆ්ස් වලත් වර්ග කීපයක් තියෙනවා. ඒ කියන්නේ low rise, mid rise සහ full rise කියලා. මේ තුනේ වෙනස්කම් වෙන්නේ කලවා වල කොයි තරම් ප්‍රමාණයක් වැහෙනවද කියන කාරණාව තමයි. ඒ කියන්නේ low rise බ්‍රීෆ් වල යන්තම් කලවා වල උඩ හරිය වැහෙනකොට, full rise වල පැකේජ් එකට පොඩ්ඩක් උඩ හරියට එනකල්ම කලවා වැහෙනවා.

බොක්සර් ෂෝට්ස්: මේවා ලූස් කොට කලිසම් වගේ. සාමාන්‍යයෙන් දණහිස් වලින් අඟලක් දෙකක් උඩට යනකල් දිගට තියෙනවා.

ජොක්ස්ට්‍රැප්ස්: මෙව්වා පටි ජොක්කු කියලත් හඳුන්වනවා ලංකාවේ කොල්ලෝ. මේකෙන් ඉස්සරහා පැකේජ් එකට උපරිම සපෝට් එක ලැබෙනවා.

ටයිට්ස්: මේවත් එදිනෙදා අඳිනවට වඩා ස්පෝර්ට්ස් කරන අය අඳින, හොඳ සපෝට් එකක් පැකේජ් එකට වගේම කකුල් වලටත් ලැබෙන යට ඇඳුම් වර්ගයක්.

 

2. තව එව්වා තියෙනවද?

අපොයි ඔව්. එදිනෙදා ජීවිතේ අඳින්න ප්‍රසිද්ධ නැති වුණත්, තව ජාති තියෙනවා. මේ සමහර අන්ඩර්වෙයාර්ස් නම් අඳින්න කොල්ලෙක් ලැජ්ජාවෙන් ඇඹරෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට මෑන්කිනි කියලා හඳුන්වන, පිරිමින්ගේ බිකිනි සූට් කියන්න පුළුවන් අන්ඩර්වෙයාර් එක. ඇත්තටම වෙරළේ අව්ව තපින්න, පීනන්න යන්න විතරක් නෙවෙයි, මොඩ්ලින් කරන්නත් දැන් දැන් මෙව්වා අඳිනවා. එතකොට තොන්ග්ස්, ටන්ගා, ජී-ස්ට්‍රින්ග්ස්, සී-ස්ට්‍රින්ග්ස් එහෙමත් පිරිමි වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා. එව්වා අඳින්න ඕන ගැහැණු උදවිය විතරයි කියලා නියමයක් නැහැනේ. දැන් ඔය පිරිමින්ට තියෙන ජී-ස්ට්‍රින්ග් එකක් එහෙම වෙරළේ නිදහසේ ඉන්න වෙලාවකට එහෙමත් හොඳයි. එතකොට සී-ස්ට්‍රින්ග්ස් එහෙම නම් ඉතින් අනිවාර්යයෙන්ම සෙක්ස් කරනකොට එහෙම අඳින්න තමයි තේරුමක් තියෙන්නේ.

 

3. බොක්සර් ෂෝට්ස්?

මේක ඔය තනියෙන් අන්ඩර්වෙයාර් තෝරන්න පටන් ගන්න කාලේ කොල්ලෝ ගොඩක් වෙලාවට කරන වැරැද්දක්. ඒ තමයි බොක්සර් ෂෝට්ස් තෝරගන්න එක. ඇත්තටම බොක්සර් ෂෝට් එකක් ලූස් එකේ තියෙන නිසා ඇඳලා ඉන්න පහසුයි. හැබැයි ඊට උඩින් කලිසමක් එහෙම ඇන්දහම ඒ තරම් ලස්සනක් නම් එන්නෙ නෑ. විශේෂයෙන්ම ටයිට් ජීන්ස් එකක්, ස්ලිම් ෆිට් එකක් එහෙම ඇන්දහම වස කැතයි. ඇයි? බොක්සර් එක අර ලූස් එකට තියෙන විදියට නිර්මාණය කරලා තියෙන රෙදි සහ අමතර අවකාශයම ස්ලිම් ෆිට් එකක් ඇතුළට එබුවහම ඒක පේන්නෙ නැද්ද පිම්බිලා? ඒ මදිවට හිතන සුව පහසුව ලැබෙන්නෙත් නෑ. අන්න ඒ නිසා ඔය බීච් එකේ ඇවිදින්න යන්න වගේ දේකට බොක්සර් ෂෝට්ස් ඇන්දට, එදිනෙදා පාවිච්චියට හරියන්නෙ නෑ.

 

4. කුට්ටම හිර වෙලා ඕයි!

අනික් ඇඳුම් වගේම තමයි, යටඇඳුම් තෝරගන්නකොටත් නිකම්ම ඇහේ මිම්මට බලලා අරගෙන හරියන්නෙ නෑ. හරියට සයිස් එක බලලා තෝරගන්න ඕන. සාමාන්‍යයෙන් ඔය සයිස් තෝරනකොට ඒක යුනිවර්සල් සයිස් චාට් එකකට අරගෙන හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ සමහර බ්‍රෑන්ඩ්ස් වල ස්මෝල් කියලා තියෙන සයිස් එක ඉණ අඟල් 28-30 ත් අතර නම්, තවත් බ්‍රෑන්ඩ් එකක ස්මෝල් කියලා එන්නේ ඉණ අඟල් 30-32 ත් අතර වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා සැලෙන්න එපා. කන්ෆියුස් වෙන්නත් එපා. ඊලඟ වතාවේ ජොක්කු ගන්න ගියහම පොඩ්ඩක් පෙට්ටිය ඉල්ලගෙන බලන්න. බ්‍රෑන්ඩඩ් වුණත්, එහෙමට කියලා බ්‍රෑන්ඩ් එකක් නැති වුණත්, පෙට්ටියේ තියෙනවා ඉණ ප්‍රමාණයන් එක්ක කොහොමද S, M, L. XL, XXL විදියට වෙනස් වෙන්නේ කියලා. දැන් ටේප් එක අරගෙන ඉණ මැනලා බලන්න. ඊට පස්සේ ඒ ඉණ ප්‍රමාණයට අදාළව ගන්න යන බ්‍රෑන්ඩ් එකේ තියෙන සයිස් වලින් තෝරලා ගන්න.

 

මේ සිස්ටම් එක අවුල් වෙන්නේ අර කෑලි තුනක් සීයයි කියලා ගොඩ ගහලා විකුණන තැනකින් ජොක්කු ගන්න ගියහම තමයි.

 

5. සයිස් මැටර්ස් කියන්නේ මේකයි!

ඇත්තටම ජොකාගේ සයිස් එක, තමන්ගේ කුට්ටමේ සයිස් එක, කළවා ඇතුළු යටි කයේ සයිස් එක එක්ක ගාණට මැච් වෙන්න ඕන. ආන්න ඒක තමයි උඩ කාරණාවෙන් කියන්නේ. ඒකට හේතුව මේකයි. සාමාන්‍යයෙන් පිරිමි යටඇඳුම් වුනත් හොඳින් ඇදෙන සුළුයිනේ. එතකොට නිකමට හිතලා බලන්න ප්‍රමාණයට වඩා කුඩා යටඇඳුමක් ගත්තා කියලා. ඒ කියන්නේ මීඩියම් සයිස් ඩයල් එකක් ස්මෝල් යටඇඳුමක් ගත්තා වෙන්න පුලුවන්. ආන්න එතකොට යට ඇඳුමේ වාටි වලට කකුල් හිරවෙනවා. ඇවිදිනකොට කැපෙන්න පටන් ගන්නවා. කුට්ටමත් අවශ්‍ය තරමට වඩා යටඇඳුමට තද වෙනවා. අපි නැගිටිනකොට, වාඩිවෙනකොට, ඇවිදිනකොට ඒක පුදුමාකාර අපහසුතාවයක් ගේනවා. ආන්න එතකොට තමයි වොෂ් රූම් එකට ගිහිල්ලා ජොකා හරියට කුට්ටමට සෙට් කරලා ආයෙමත් හදාගන්න සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අපේ ප්‍රජනන පද්ධතියේ ඉතා වැදගත් අංගයක් වෙන වෘෂණ කෝෂත් පමණට වඩා හිර වෙලා තියෙනවා කියන්නේ, අනවශ්‍ය ගැටළුවක්. දවසකට පැය අටක් දහයක් විදියට දීර්ඝ කාලීනව එහෙම අනවශ්‍ය විදියට ටයිට් එකට අන්ඩර්වෙයාර් අඳිනවා කියන්නේ සෞඛ්‍ය ගැටළු එහෙමත් මතුවෙන්න පුළුවන් කියන එක තමයි. එතකොට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලූස් තියෙන අන්ඩර්වෙයාර් එකක් ඇන්දහමත් ඊට වඩා වෙනස් අපහසුතාවයන් දැනෙන්න පටන් ගන්නවා. කකුල් දිගේ රූටන ගතිය, කලිසමත් එක්ක පහළට ඇදිලා එන එක එහෙම ඉන් කීපයක්.

 

අන්න ඒ නිසා තමන් ගන්නේ ඉණේ ගාණට බොක්ස් එකේ ගහල තියෙන චාට් එකට අනුව සයිස් එක තෝරලා වුණත්, තමන්ට අපහසු තරමට හිරයි නම් හෝ අපහසු තරමට බුරුලයි නම් ඒවා අඳින්න එපා. 

 

6. මැටීරියල් එක සනීපයිද?

ඔය ෂර්ට් එකක් කලිසමක් එහෙම ලේසියෙන් දාඩිය උරාගන්නේ නැති කෘත්‍රිම රෙද්දකින් මහලා තියෙනකොට, එව්වා රස්නේ දවසකදී ඇඳගෙන ඉන්නකොට දැනෙන ආතල් එක විඳලා තියෙනවද? ආන්න ඊට විසිගුණයකින් හපන් අපහසුවක් තමයි, සමට සුමුදු නැති, දහදිය එහෙම උරාගන්නවා හොර මැටීරියල් එකකින් මහපු ජොකෙක් ඇඳලා ඇවිදිනකොට කරනකොට දැනෙන්නේ. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ ජොකෙක් ගන්නකොට ඒක මහලා තියෙන ෆැබ්‍රික් එක නැතිනම් රෙදි වර්ගයත් වැදගත් කියලා. සාමාන්‍යයෙන් දැන් වෙළඳපොළේ තියෙන හැම අන්ඩර්වෙයාර් වර්ගයක්ම වගේ මහලා තියෙන්නේ, බැලු බැල්මට සුවපහසු රෙදි වලින්. හැබැයි ඒ බැලූබැල්මට කියන කාරණාව ගැන දෙපාරක් හිතන්න ඕන. ඒකෙන් දහදිය උරාගැනීම වගේම හොඳ වායු සංචරණ හැකියාවක් ලබාදෙන එකත් වෙන්න ඕන.

 

විශේෂයෙන්ම ඔය පොඩ්ඩක් ඇඟපත ලොකු, වැඩිපුර දාඩිය දාන, එතකොට දිලීර වගේ චර්ම රෝග එහෙම තියෙන වගේ අයට අනිවාර්යයෙන්ම කියන්නේ කපු රෙද්දෙන් මහපු අන්ඩර්වෙයාර්ස් තෝරගන්න කියලා තමයි. ඒ ඇරෙන්න ජිම් යන කොල්ලෝ එහෙම ගන්න ස්පෝර්ට්ස් අන්ඩර්වෙයාර් ගොඩක් වෙලාවට එන්නේ නයිලෝන් රෙද්දෙන් මහලා. පොලිඑස්ටර් වලින් මහපු අන්ඩර්වෙයාර්ස් හිතාගන්න බැරි තරම් සිහින් සහ සැහැල්ලු වුණත්, ලංකාව වගේ අවුරුද්දේ වැඩිකාලයක් අවුව තියෙන රටකට ඒ තරම් සෙට් වෙයිද කියන එක ප්‍රශ්නයක්.

 

7. බ්‍රීෆ්ස් සහ බොක්සර් බ්‍රීෆ්ස්

දැන් පැහැදිලි වෙන්න ඕන, තමන්ට ගැලපෙන ජොක්කු තෝරගන්නකොට, තමන් ඒක අඳින අවස්ථාව වැදගත් වෙනවා කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, පටි ජොකෙක් ඇඳගෙන ඔෆිස් යන එක අප්සට් වගේම, බ්‍රීෆ් එකක් ඇඳගෙන ජිම් යන එකත් අප්සට්. එතනදී තමන් අඳින ඇඳුම මොකද්ද කියාන එකත් බලපානවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කොහොම වුණත් එදිනෙදා භාවිතය ගැන හිතුවොත්, බ්‍රීෆ්ස් සහ බොක්සර් බ්‍රීෆ්ස් තමයි ඕනම වයසක, ඕනම ශරීරයක් තියෙන කෙනෙක්ට ගැලපෙනම යටඇඳුම් වර්ගය කියලා කිවුවොත් වැරදි නැහැ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *