හැමදාම කඩෙන් කන එකම විදියෙ පරාටා වෙනුවට ගෙදරම හදන්න රසම රස පරාටා රෙසිපි 5ක්

අපි කාගෙත් කෑම කතාබහ වල මුල් තැනක් ගන්න, හැමෝම කන්න ආසම කෑමක් තමයි පරාටා. ඔන්න අද අපි එක එක රසින් පරාටා හදන්න කියලා දෙන්නයි ආවේ. මේ කොරෝනා කාලේ කඩවල් වලින් කන්නත් බයයිනේ. ඔන්න ඔහේ ගෙදරදිම රසට පිරිසුදුවට පරාටා හදන්න එන්න ලයිෆි ෆුඩ්ස් එක්ක එකතුවෙන්න.

 

1. එග් ඇන්ඩ් ආලු පරාටා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි 500g
  2. එළවළු හෝ පොල්තෙල් මේස හැඳි 8
  3. ලුණු අවශ්‍ය පමණ

 

පිරවුම සඳහා

 

  1. තම්බාගත් අල ගෙඩි 2
  2. තම්බාගත් බිත්තර 2
  3. අබ ඇට ස්වල්පයක්
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
  6. තලාගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
  7. චොප්කරගත් ළූණු ගෙඩි 2
  8. කහකුඩු තේ හැඳි 1/2
  9. කෑලිමිරිස් තේ හැඳි 1
  10. සූදුරු තේ හැඳි 1/2
  11. ගී ඔයිල් ස්වල්පයක්
  12. චොප් කරගත් කොත්තමල්ලි කොළ ටිකක්

 

  • මුලින්ම පාන්පිටි, ලුණු හා තෙල් මේස හැඳි 2ක් කළවම් කරලා වතුර ටික ටික දාලා අතේ නොඇලෙන සොෆ්ට් ඩෝ එකක් අනාගන්න. පොඩි බෝල හදාගෙන ඒ උඩින් ඉතිරි තෙල් මේස හැඳි 6 දාල බෝල වල හොඳට තවරගෙන පැය දෙකක් වහල තියන්න. 
  • ෆිලින්ග් එක හදාගන්න තෙල් ස්වල්පයක් ලිපේ තියලා රත්වෙනකොට චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු ටික දාගන්න. අබ ටික දාලා පුපුරනකොට සූදුරු, ළූණු, අමුමිරිස්, කරපිංචා එකතු කරන්න. කළවම් කරන ගමන් කහකුඩු, කෑලිමිරිස් සහ රස අනුව ලුණු එකතු කරගන්න. 
  • මේ ටික හොඳට තෙම්පරාදු උනාම පොඩි කෑලි හිටින්න පොඩි කරගත්ත අල ටික එකතු කරන්න. කොත්තමල්ලි කොළ ටිකත් එකතු කරල හොඳට කළවම් කරලා පොඩියට කපාගත් බිත්තර එකතු කරලා ලිප නිවාගන්න. දැන් මේ මිශ්‍රණයෙන් තරමක බෝල සාදාගන්න. 
  • හදාගත්ත පිටි බෝලයක් මැදින් අල බෝලයක් තියලා වටේ කවර් කරන්න. මේ බෝලෙ අනිත් පැත්ත හරවල ගෑරැප්පුවෙන් හිල් කිහිපයක් විදලා රෝලින් පින් එකෙන් පරිස්සමින් තුනී කරගන්න. රෝලින් පින් එකෙන් නැත්නම් තෙල් ගාපු පිඟානක තියල අතින් උනත් තුනී කරන්න පුළුවන්. මේක හෙමින් කරන්න ඕනෙ වැඩක්. නැත්නම් ෆිලින් එක එළියට එන්න බලනව.
  • ගී ගාගත් තැටියකට දාලා එක පැත්තක් පිච්චුනාම අනික් පැත්ත හරවලා පිළිස්සුණු පැත්තෙ ගී ඔයිල් ගාගන්න. තැන තැන රන්වන් පාට වෙනකම් හොඳට බැදගෙන ලිපෙන් ඉවත් කරගන්න.

 

 

2. ලච්ඡා පරාටා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි කෝප්ප 4
  2. ගී ඔයිල් මේස හැඳි 4
  3. පොල් තෙල් මේස හැඳි 8
  4. රස අනුව ලුණු
  5. අනාගැනීමට අවශ්‍ය තරම් ෆ්‍රෙශ් මිල්ක්

 

  • පාන්පිටි වලට ලුණු, ගී හා පොල්තෙල් මේස හැඳි 4ක් දාලා අනාගන්න. ෆ්‍රෙශ් මිල්ක් ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් අනාගන්න. 
  • මේ ඩෝ එක කොටස් 8කට කඩලා ඉතුරු තෙල් ටික උඩින් දාලා තවරගෙන ලන්ච් ශීට් එකකින් වහලා පැය 1/2ක් තියන්න. 
  • එක බෝලයක් අරගෙන ක්ලේ වලින් නයෙක් හදනවා වගේ දිග අතට හදාගන්න. දැන් නයා දරණ ගහනවා වගේ දඟරයක් හදලා රෝලින් පින් එකෙන් තුනී කරගන්න. පෑන් එකකට ගී ටිකක් ගාලා දෙපැත්ත පුළුස්සගන්න. 

 

3. ලේයර් පරාටා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 4
  2. ලුණු රස අනුව
  3. ගී හෝ පොල්තෙල් මේස හැඳි 3
  4. තවරගන්න පොල්තෙල් හෝ එළවළු තෙල් මේස හැඳි 6ක්

 

  • පාන්පිටි, ලුණු හා ගී කළවම් කරලා වතුර ටික ටික දාලා අතේ ඇලෙන ඩෝ එකක් හදාගන්න. වතුර ටිකක් වැඩි උනාට කමක් නෑ මොකද ඇදෙන ගතියටයි තියෙන්න ඕනේ. විනාඩි 3-4ක් හොඳට අනාගෙන මේක සමාන කොටස් 8කට බෙදාගන්න. 
  • දැන් මේ බෝල වලට හොඳට තෙල් මේස හැඳි 6 තවරලා පැය 4ක් වහලා තියන්න. එක බෝලයක් අරගෙන හොඳට තුනී කරලා ගී ටිකක් ගාගන්න. 
  • මේ රොටිය අඟල් තුන්කාලක් වගේ පළල තීරු වලට කපාගන්න. මේ තීරු වලින් තුනෙන් දෙකක් එක පැත්තකින් එකතු කරලා අරන් අතින් තද නොකර වම් අතේ ඇඟිලි වටේ ඔතාගන්න. රෝසමලක් වගේ වෙන්න ඔතාගන්න. 
  • ඊළඟට ඉතුරු තීරු ටික ඒ රවුමටම එකතු කරගන්න. දැන් අතින් තලලා පරාටා එක හදාගන්න. ගී ගාපු පෑන් එකකට දාලා දෙපැත්ත පුළුස්සගන්න.
  • සේරම හදලා ඉවර උනාම පරාට ටික එක උඩ එක තියාගෙන පරාට ටික මැදිවෙන්න අත්පුඩි ගහනවා වගේ හතර පැත්තෙන්ම හයියෙන් තලන්න. එතකොට ලේයර්ස් ගැලවිලා ලස්සනට පරාටා එක එනවා. 

 

4. චිකන් ස්ටෆ්ඩ් පරාටා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ආටාපිටි හෝ පාන්පිටි කෝප්ප 4
  2. ගී ඔයිල් මේස හැඳි 4
  3. තවරගන්න වෙනම ගී ටිකක්
  4. රස අනුව ලුණු

 

චිකන් මිශ්‍රණයට

 

  1. තම්බා තීරු ගලවාගත් චිකන් කප් 2ක්
  2. චොප්කරගත් ළූණු ගෙඩියක්
  3. චොප්කරගත් අමුමිරිස් කරල් දෙකක් 
  4. කෑලිමිරිස් සැර අනුව
  5. කහ කුඩු ස්වල්පයක්
  6. තම්බා පොඩි කරගත් තක්කාලි ගෙඩියක්
  7. තලාගත් ඉඟුරු සුදුළූණු තේ හැන්දක්
  8. සීනි තේ හැන්දක්
  9. ලුණු

 

  • පිටි වලට ලුණු හා ගී ඔයිල් දාලා කළවම් කරගන්න. වතුර ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් අනාගන්න. මේක උඩින් ගී ඔයිල් තවරලා පැයක් වහලා තියන්න.
  • චිකන් මිශ්‍රණය හදාගන්න ගී ටිකක් භාජනයක රත්වෙන්න තියල ඒකට චිකන් ටික දාල පොඩ්ඩක් බැදගන්න. ඒකටම ඉඟුරු සුදුළූණු, ළූණු, අමුමිරිස්, කෑලි මිරිස් සහ කහ එකතු කරල තෙම්පරාදු කරගන්න. ටිකකින් තක්කලි සහ සීනි එක් කර රස අනුව ලුණු දාල තෙත ගතිය හිඳෙනකම් ලිපේ තියල ලිපෙන් බාගන්න.
  • පිටි මිශ්‍රණයෙන් පොඩි බෝල හදලා පොඩ්ඩක් අතින් තුනී කරල චිකන් මිශ්‍රණය මැදට දාගන්න. තව පිටි බෝලයක් තුනී කරන් චිකන් ටික වැහෙන්න උඩින් දාගෙන වටේම අතින් තද කරගන්න. 
  • ගී තවරගත්ත තැටියක දාල අඩු ගින්දරේ දැපැත්තම පුච්චගන්න.

 

5. චීස් පරාටා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප  2
  2. ලුණු රස අනුව
  3. තෙල් මේස හැඳි 2
  4. ග්‍රේට් කරගත් මොසරැල්ලා හෝ චෙඩාර් චීස්

 

  • පාන්පිටි, ලුණු හා තෙල් දාලා වතුර ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් අනාගන්න. මේකට තෙල් ටිකක් ගාලා  විනාඩි 40ක් වහලා තියන්න. ඊළඟට ආයෙ ටිකක් අනාගෙ​න පිටි ඉසගත් මතුපිටක දාලා පොඩි බෝල හදාගන්න. මේ බෝල වල ඔයිල් ටිකක් ගාලා තව විනාඩි 10ක් වහලා තියන්න. 
  • විනාඩි 10ක් තියාගත්ත බෝල එකින් එක අරන් හොඳට තුනී කරන්න. දැන් මේක මතුපිට ගී ඔයිල් ගාලා දෙපැත්තකින් මැදට නවාගන්න. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් ටිකක් මැදට දාලා අනික් දෙපැත්තෙනුත් වහගන්න. කොන් අතින් තද කරල සීල් කරගන්න. 
  • ගී ගාගත් පෑන් එකකට දාලා දෙපැත්ත අඩු ගින්දරේ පුළුස්සගන්න. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *