ලෝකේ වටේ ඇඩ්වෙන්චර් සංචාරකයින් විවිධ අත්දැකීම් හොයාගෙන රට රට වල යනවා. ලස්සන මුහුදු තීරයේ කිමිදිලා ලස්සන වෙරළ පරිසර බලන්න සංචාරකයෝ තායිලන්තයේ ඉන්දුනීසියාවේ යනවා. හොඳහැටි ඇඟට දැනෙන්න කඳු නගින්න සංචාරකයෝ නේපාලය, ස්විට්සර්ලන්තය වගේ කඳුකර රටවලට යනවා. කඳුනැගීම සහ මුහුදුබඩ මනහර වෙරළ පරිසරය කියන දෙකම තියෙන සුන්දර දිවයිනක් අපිට ලැබිලා තියෙනවා. ලංකාවේ උසම කන්ද වෙන පිදුරුතලාගලට නම් මුදුනටම වාහනෙන් යන්න පුළුවන්. ඒත් අමාරුවෙන් තරණය කරන්න ඕනි, කට්ට කාල නගින්න ඕනි කඳු සෙට් එකක් ලංකාවේ කඳු නගින පිරිසට තියෙනවා. අපි එයින් කිහිපයක් සොයා බලමු.
1. අලගල්ල
අලගල්ල නගින්නට පටන් ගත හැකි පාරවල් දෙකක් තියෙනවා. පිළිමතලාව පොත්තපිටිය මාර්ගය වඩාත් පහසු එකක්. ඇතැමුන් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිටද අලගල්ල තරණයට මුල පුරනවා. 1948 දී නිදහස ලබාගන්න උත්සවේ තිබුනේ කොළඹ. ඉතින් නුවර පැත්තේ ඔය අලගල්ල අවට ජනතාවට “මොකද්ද බොලේ මේ නිදහස කියන්නේ?” කියලා ලොකු කුතුහලයක් තිබුනා. ඒ නිදහස ගන්න එක බලන්න කියලා ගම්මු ටිකක් කැහැපට ගහගෙන පෙබරවාරි 4 අලගල්ල නැග්ගා. නැගලා උදේ ඉඳන් හවස් වෙනකල් බලන් හිටියා… ම්ම්හු පෙනුන නිදහසක් නැහැ. ඉතින් මේ විදියට බොහොම ඈත පේන අලගල්ල අවසානේ කොටසක් කඹයකින්ද නගින්න තියෙනවා. අමාරුවෙන් නගින්න තිබුනත් නැග්ගට පස්සේ දකින්න තියෙන භූමි දර්ශනය නම් පට්ට.
2. ලකේගල
මීමුරේ ලකේගල කියන්නේ කඳු නගින අය අතර එක් සන්දිස්ථානයක්. තනිකර ගල් තලාවක් දිගේ, තද ආනතියක් තියෙන ගලක් දිගේ බඩගාගෙන තමයි ලකේගල නගින්න තියෙන්නේ. ලකේගල නගින්න ගිහින් අනතුරට පත් වෙලා ජීවිත හානි පවා වාර්තා වුනා. කඳු නගින එකටත් එක් එක් ලෙවල් තියෙනවා. එකපාර ලකේගලම නගින්න යන එක කොහොමවත් සුදුසු නැහැ. කඳු වලට පුරුදු පුහුණු වුණු අත් කකුල් ලකේගල වගේ තැනකට යනවා නම් වැදගත් වෙනවා. කොහොම වුනත් දැන් නම් ගම්මු සහ අවට පිරිස් මේ ලකේගල නැගීමට පිරිස් යනවාට එතරම්ම මනාපයක් නැහැ.
3. කුරුල්ලන්ගල
පුරාණ කාලයේ පැරණි නටබුන් වූ චිත්‍ර සහිත පුරාවිද්‍යා ස්ථානයක් වන කුරුල්ලන්ගලට නගින්න අමාරුයි. මේ පිවිසුමේදී ස්ථාන කිහිපයක්ම අනතුරුදායක විදියට හමු වෙනවා. මේ තැන්වලදි කණ්ඩායම් ලෙස කඹ ආධාරයෙන් තමයි කුරුල්ලන්ගලට යන්න තියෙන්නේ. වැහි කාලයක් මග ඇරලා පැහැදිලි කාලගුණයක් තියෙන දවසක උදෙන්ම ගමන පටන් ගන්න එක තමයි හොඳම දේ. කුරුල්ලන්ගල අපහසුව නිසාම ගයිඩ් කරන අය ටිකක් සැර ගාණක් අය කරනවා.
4. සප්ත කන්‍යා කඳුවැටිය
සප්ත කන්‍යා කියන්නේ එක කන්දක් නෙමෙයි, කඳු හිස් හතක එකතුවක්. ලක්ෂපාන දිය ඇල්ල තිබෙන ඉසව්වෙන් පටන් අරගන්න සප්ත කන්‍යා නැගීම කාරණා කිහිපයක් නිසා අනතුරුදායකයි. වැසි කාලයකට සප්ත කන්‍යා අඩවියේ කූඩැල්ලෝ බුරුතු පිටින් ඉන්නවා. ඒ වගේම ඉහළදි හමුවෙන බට කැලේ එක්ක පාරවල් මග ඇරෙන්නත් ලොකු ඉඩක් තියෙනවා. මේ සප්ත කන්‍යා වල හරිපාර දන්න ගයිඩ්වරු ඉන්නෙත් කිහිප දෙනයි. සප්ත කන්‍යා වල කඳු හිස් හතම ගිහින් බහිනවා කියන්නේ හොඳ ගණන්. සාමාන්‍යයෙන් දවස් දෙකක ගමනක් විදියට තමයි සප්ත කන්‍යා ගමන යන්නේ.
5. බලතුඩුව
හැමෝම වගේ ගිහින් බලලා එන බඹරකන්ද පේන තෙක් මානයේ වංගෙඩිකන්දේ ඉහළම කෙළවරක් තමයි බලතුඩුව කියන්නේ. බලතුඩුව යන්න දවස් දෙකක් වෙන් කරන එක කෝකටත් හොඳයි. උදෙන්ම ගියොත් ගිහින් එන්නත් පුළුවන්. ඒත් ගමන ටිකක් වෙහෙසයි. බලතුඩුවට ආදර කන්ද පැත්තෙනුත් එන්න පාරක් තියෙනවා. ඒ වගේම වංගෙඩිගල වංගෙඩිකන්ද පැත්තෙනුත් බලතුඩුවට යන්න පුළුවන් කම තියෙනවා. මේ මොන පාරෙන් ගියත් බලතුඩුව පීක් එකට නගින්න දණගාගෙන වගේ යන්න තැනක් තියෙනවා. හුලන් අල්ලන කාලෙක නම් දණගාගෙන යන්නත් ටිකක් බය හිතෙනවා. පීක් එක විදියට බොහොම පොඩි ඉඩක් තියෙන බලතුඩුව මුදුනට ගියාම ලෝකාන්තයේ ඉහළ සිට පහල බලන පිරිස් කුරුමිණි අඬු ආකාරයෙන් පේනවා.
6. මුක්කුවත්ත කැලෑ පාරෙන් අවාරේ සිරිපා ගමන
පැරැන්නන්ට සිරිපා කරුණාව කියන්නේ ගෙදර ඉඳන්ම පයින්ම ගිය ගමනක් වුනා. ඒ කාලේ සිරිපා නැග්ග පැරණිතම පාර තියෙන්නේ දැන් ඔය පලාබද්දල රජ මාවත තියෙන එකම නෙමෙයි. ඊටත් වෙනස් පාරක තමයි අපේ ඉපැරණි රජ දවස සිරිපා ගමන ගිහින් තියෙන්නේ. අවාරේ ගමන කොයි පාරෙන් ගියත් අවදානම්. වැස්ස සීතල එක්ක හදිසියේ පහත්වෙන කූඩැල්ලොත් ගමනට හරි හරියට බාධා වෙනවා. කෑම ජාති එහෙමත් අරන් යන්න ඕනා අවාරේ යනකොට. මොකද මග දිගට වාරේට වගේ කඩවල් ආදිය නැහැ. මේ සිරිපා ගමනේ පැරණිතම මාර්ගයක් වන මුක්කුවත්ත පාර වාරේදීවත් සිරිපා කරුණා කරන පාරක් නෙමෙයි. මල්වල, ගල්බොඩ, නුගේපොළ හරහා සපුගස්තැන්න වතුයායට පිවිසී එතැනින් මුක්කුවත්ත හරහා සිරිපා ගමන ආරම්භ කරන මේ ගමන හොඳින් මග දන්නා අය සමග සූදානම් වී යායුතු ගමනකි.
7. දෙතනගල
බලංගොඩ පළාතේ කඳු කිහිපයක්ම තියෙනවා සාමාන්‍යයෙන් නගින්න යන. දෙතනගලත් ඒ වගේ ලස්සන කන්දක්. බලංගොඩ රෝහල ඉදිරිපිට හැටන් පාරේ කිලෝමීටර 18ක් වගේ ගිහින් තමයි දෙතනගල නගින්න පටන් ගන්නේ. රාවනා ජනප්‍රවාදයටත් සම්බන්ධ මේ දෙතනගල මිනිසුන් අතරමන් කරනවා කියලා කියලා මතයක් තියෙනවා. මේ කන්දේ මුදුනේදි වතුර හොයාගන්න ටිකක් අමාරුයි. වතුර අරන් යන්න පුළුවන් නම් වටිනවා.
පාර හොයාගන්න අමාරු වීම, වැස්ස නිසා මාර්ගය අමාරු වීම, කූඩැල්ලන් සර්පයන් සිටීම, තද ආනතිය, ගල් උඩ නගින්නට තිබීම වගේම බොහෝම දුර යන්නට තිබීමත් කඳු නගින්න අමාරු වෙන්න හේතු වෙනවා. කෑම බීම සකසාගෙන, පාර දන්නේ නැතිනම් GPS වලින් පාර හොයාගන්න ආකාරය හෝ දැනගෙන කියාගෙන යන එක කඳු නැගීමකදි ලොකු පහසුවක් වෙනවා. කන්දක් නගින්න කොහොමත් අමාරුයි. අමාරු කන්දක් නගින්න නම් ටිකක් ලෑස්ති වෙන්න ඕනා. ලෑස්තිවෙලා අමාරු කන්දක් නැග්ගට පස්සේ ඇඟට එන ෆිට් එක… ඒක කඳු නැග්ග අයම විතරක් දන්න අමුතුම කික් එකක්.
Leave a Reply