ලෝක ඉතිහාසයේ කියවෙන ප්‍රකට ශාපයන් 7ක්

curses around the world

තමන්ට වැරැද්දක් වුණාම, කරගන්න දෙයක් නැතුව අසරණ වුණාම අපේ මිනිස්සු කියන්නෙ හෙණ ගහපං කියලයි. ඒක ශාපයක්. ශාපයන් කියන්නෙ මිථ්‍යාවන් කියලා බොහෝ දෙනා කිවුවට ඒ මතය බොරු කරන ශාපයන් කිහිපයකුත් ලෝක ඉතිහාසයේ දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නෙ අන්න එහෙම ප්‍රකට වුණු ශාපයන් හතක් ගැනයි.

 

1. ටිපෙකැනෝ ශාපය

curses around the world

Source – theodysseyonline.com

ඇමරිකාවේ ස්වදේශික ජනතාවගේ නායකයෙක් වෙච්ච ටකුම්සේ, සුප්‍රකට ටිපෙකැනෝ සටන පරාජය වීමෙන් අනතුරුව කරන ලද ශාපයක් නිසා, විස්සෙන් බෙදෙන වසරවල් වලදී පත්වුණ (1840,1860, 1880) ඇමරිකානු ජනාධිපතිවරුන් ධූර කාලය තුළදීම මියගිය බව කියවෙනවා. එහි පළමුවැනියා විදිහට මේ ටිපෙකැනෝ සටන අවධියේ ආණ්ඩුකාරවරයෙක් වෙලා හිටපු, පසු කාලෙක ඇමරිකානු ජනාධිපති බවට පත්වූ හෙන්රි හැරිසන් මිය යනවා. ඊට වසර විස්සකට පසුව ජනපති වන ලින්කන් ජනාධිපතිතුමාද ඝාතනයට ලක්වනවා. 1960 පමණ වන තෙක් මේ ශාපය ක්‍රියාත්මක වූ බව කියවෙනවා.

 

2. කෙනඩි පවුලේ ශාපය

curses around the world

Source – imboston.com

ඇමරිකාවේ සුප්‍රකට කෙනඩි පවුලට එරෙහිව ශාපයක් ක්‍රියාත්මක වූ බව කියවෙනවා. ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිතුමා 1963 දී වෙඩි තැබීමකින් මිය යනවා. ඊට වසර කිහිපයකට පසු ඔහුගේ සහෝදරයා වූ රොබර්ට් කෙනඩිත් වෙඩි තැබීමකින් මිය යනවා. ඒ සහෝදරයාගේ එක් පුතෙක් මිය ගියේ ඖෂධ අධි මාත්‍රාවක් ශරීර ගත වීම නිසයි. රොබර්ට්ගේ තවත් පුතෙක් මිය ගියේ හිම ක්‍රීඩා කිරීමේදී වූ අනතුරකින්. කණිෂ්ඨ ජෝන් කෙනඩි මිය ගියේ ගුවන් අනතුරකින්.

 

3. අයිස් මිනිහාගේ ශාපය

curses around the world

Source – theghosthuntuk.com

1991 දී ඉතාලියානු ඇල්ප්ස් ප්‍රදේශ වලදී, හිමෙන් මිදීගිය මිනිසෙක්ගේ මළසිරුරක් හොයාගත්තා. එය ශතවර්ෂ පනස් තුනක් පමණ පැරණි එකක්. ඉන් පසුව ඒ සොයාගැනීමට සම්බන්ධ මහාචාර්යවරු සහ ඉතිහාසඥයන් කිහිප දෙනෙක්ම විටින් විට මිය යන්න පටන් ගත්තා. ගණනින් කිවුවොත් හත් දෙනෙක් මිය ගියා. එයින් සිවු දෙනෙක් මිය ගියේ හදිසි අනතුරු වලින් වීමත් විශේෂයි. මේ මිය යෑම් වලට හේතුව අර අයිස් මිනිහා පසුපස තිබුණ භයානක ශාපයක් බව විශ්වාස කරනවා.

 

4. සුපර් මෑන් ශාපය

curses around the world

Source – youtube.com

සුපර් මෑන් ශාපය..? ඒ මොන විහිලුවක්ද..? ඔව්. සුපර් මෑන්ගේ චරිතය රඟපෑ නලුවන්ට සහ එම නිර්මාණ වලට සහභාගි වූ අයට ඉන් පසුව මුහුණ දෙන්නට වුණු තත්ත්වයන් එක්ක මේ වගේ කතාවක් ගොඩ නැගිල නැත්නම් තමයි පුදුමෙ. මේ චරිතයට පණ පෙවූ ජෝජ් රීවුස් කියන නලුවා සියදිවි නසාගත්තා. ක්‍රිස්ටෝපර් රීවු කියන නලුවා සදාකාලික ආබාධිත පුද්ගලයෙක් බවට පත් වුණා. දුම් පානය නොකරන ක්‍රිස්ටෝපර්ගේ බිරිඳ මිය ගියේ පෙනහලු පිළිකාවකින්. තවත් සුපර්මෑන්හි රඟපෑ ළමා නලුවෙක් වුණු ලී ක්විග්ලි 1991 දී මිය ගියේ වයස අවුරුදු 14 දියි. තව විශාල ලැයිස්තුවක් තියෙනවා. මේ ශාපයට හේතු වුණේ සුපර් මෑන් කොමික් පොතේ නිර්මාපකයන්ට චරිතය වෙනුවෙන් හිමි විය යුතු මුදල් නිසි පරිදි ලබා නොදීම කියලයි කියවෙන්නේ.

 

5. කොහිනූර් දියමන්තිය

curses around the world

Source – youtube.com

ඉන්දියාවේදී සොයාගැනුණ කොහිනූර් දියමන්තිය ලෝකයේ ඉතාමත්ම ප්‍රසිද්ධ දියමන්තියක්. මේ කොහිනූර් දියමන්තිය හා බැඳුණ, බරපතල විදිහට පිලිගන්නා ශාපයක් තිබෙනවා. ඒ තමයි කොහිනූර් දියමන්තිය ගැහැණියෙක් සතු වුණොත් එය ඒ ගැහැණියට සෞභාග්‍යය උදා කරන බව සහ පිරිමියෙකුට ඒ දියමන්තිය හිමි වුණොත් ඔහුට මරණය හෝ මහත් අවාසනාවක් උදා වන බවට.

 

6. අඬන ළමයාගේ සිතුවම

curses around the world

Source – youtube.com

හඬන පිරිමි ළමයෙකුගේ සිතුවම නැමැති, ශාපයක් නිසාම පසුව ප්‍රකට වූ සිතුවම ජනප්‍රිය වුණේ 1950 වගේ කාලයේදී. එය නිර්මාණය වී තිබුණේ බෲනෝ අමාඩියෝ නම් ඉතාලියානු චිත්‍ර ශිල්පියා අතිනුයි. ඔහු එය නිර්මාණය කළේ ළමා නිවාසයක සිටි දරුවෙකු දෙස බලමින් බව කියවෙනවා. කොහොම වුණත් මේ චිත්‍රය නිර්මාණය කළ ඔහුගේ චිත්‍රාගාරය පුලුස්සමින් මේ සිතුවමේ ශාපය පටන් ගන්නවා. නමුත් සිතුවමට හානියක් වුණේ නැති බවයි කියවෙන්නේ. ඉන් පසුව මෙය මිලදී ගත් යුවළකගේ නිවස ගිනි ගෙන තිබෙනවා. නමුත් එහිදීත් චිත්‍රයට හානියක් වී නැතිලු. ගින්නට හසුවූ නිවාස වලින් මේ චිත්‍රයේ පිටපත් දිගින් දිගටම හමුව තිබුණා යැයි කියවෙනවා. මේ විදිහට මේ ශාපය දිගටම ගලා ගෙන ගිහින් තියනවා. 1985 අවුරුද්දෙදී සන් පුවත්පතේ පළ වුණු ලිපියකින් මෙය ගැන මුල් වරට අනාවරණය කර තිබුණා.

 

7. ටිමූර් සොහොනේ ශාපය

curses around the world

Source – smarthistoryblog.com

ටිමූර් කියන්නෙ තුර්කි සහ මොංගෝල් සම්භවයක් තිබූ ආක්‍රමණිකයෙක්. ඔහු තමයි උස්බෙකිස්තානයේ ටිමුරිඩ් රාජධානියේ ආරම්භක රජතුමා. ක්‍රි.ව 1405 දී මියයන මේ රජුගේ සොහොනින් සිරුර ගොඩ ගෙන, ඒ සිරුර සෝවියට් දේශයට අරගෙන යන්න ජෝශප් ස්ටාලින් පියවර ගන්නවා. ‘මාගේ සොහොන යම් අයෙක් විවෘත කරන ලදහොත් මටත් වඩා දරුණු ආක්‍රමණිකයෙක්ට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවනු ඇති’ බවට මේ සොහොනේ සටහන්ව තිබුණු බව කියනවා. සොහොනින් ගොඩ ගෙන, මේ සිරුර අරගෙන යද්දී ඒ රටේ ස්වදේශික ජනතාව ස්ටාලින්ට අනතුරු අඟවනවා යම් කරදර වලට මුහුණ දීමට සිදුවණු ඇති බවට. මේ සිරුර රැගෙන ගිහින් දවස් තුනකට පස්සේ නාසි හමුදා සෝවියට් දේශය ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණය මිලියන ගණනක ජනතාව ඝාතනයට හේතුවක් බවට පත් වෙනවා. මේ සොහොන සහ සිරුර ශාපලත් ඒවා වීම ඒ විනාශයට හේතු වූ බවයි කියවෙන්නේ.

 
Cover Image Source – nationalgeographic.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *