ලංකාවෙ අපි නම් ඉතින් කිරිබත් කාලානෙ සුබ වැඩ අරඹන්නේ නැද්ද? ඒ විදිහට ලෝකෙ අනිත් රටවල උදවිය අතරෙත් තියනවා සුබ දවස් වලට සහ සුබ වැඩ වලට කලින් කන ස්පෙෂල් කෑම. මේවා වැඩි හරියක් ඉතින් අලුත් අවුරුද්දක් සමරන්න තමයි ආහාරයට ගන්නෙ. එහෙනම් කෙළ ගිල ගිල කියවන්න පටන් ගමු මේ කෑම වර්ග ගැන.
1. ඇමරිකාවේ හොපිං ජෝන් (Hoppin John)
ඇමරිකාවේ දකුණු පැත්තට වෙන්න ජනප්‍රිය කෑමක් තමයි මේ හොපිං ජෝන් කියන්නේ. මේ කෑමට මේ නම ආවෙ කොහොමද කියලා පැහැදිලි අදහසක් නම් නෑ. කොහොම වුනත් බත්, කවුපි එක්ක දුම් ගස්සපු ඌරු මසුත් එළවලුත් එකතුවෙන් තමයි මේ ආහාරය නිර්මාණය වෙන්නෙ. බොහොමයක් විට අලුත් අවුරුදු දවසේ තමයි මේ හොපිං ජෝන් ආහාර වේල දකුණුදිග අමෙරිකානුවන් ආහාරයට ගන්නෙ. මේ ආහාරයට එකතු කරන කවුපි වලින් කාසිත්, ගෝවා වගේ කොළපාට එළවලු වලින් මුදල් නෝට්ටුත් සංකේතවත් වෙලා සෞභාග්‍යය උදා වෙනව කියලලු මේ ආහාරය ගන්න උදවිය විශ්වාස කරන්නෙ.
2. ජර්මනියේ මාසිපෑන් ඌරෝ (marzipan Pigs)
බටහිර රටවල් බොහොමයක් ඌරුමස් සලකන්නේ ඉතා සුබ කෑමක් හැටියටයි. සෞභාග්‍යය සහ ජීවිතේ සාර්ථක ඉදිරි ගමනකට මේ ඌරු මාංශය තල්ලුවක් දෙනවා කියන එක බොහොමයක් බටහිර රටවල අතීතයේ පටන් එන විශ්වාසයක්. ජර්මනියේ අලුත් අවුරුදු දවසට මේ ඌරු සම්ප්රදාය තව ටිකක් වෙනසක් ඇතිව ආහාර වේලට එකතු වෙනවා. ඒ මාසිපෑන් වලින් හැඩකරපු ඌරන්ව ආහාරයට ගැනීමෙන්. මේ මාසිපෑන් ඌරන් කියන්නේ අයිසින් වලින් හදපු ඌරු හැඩයේ කුඩා ආකෘති වලටයි. මේ පැණිරස අයිසින් ඌරන්ව මේසෙන් තිබ්බට මොකද ඒ අය අවුරුද්දට රතු වයින් තොළගාන ගමන් කටගැස්මට ගන්න වෙනම තෙල් බේරෙන ඌරුමස් සකසගන්නවලු.
3. ස්පාඤ්ඤයේ මිදි ගෙඩි 12
ස්පාඤ්ඤය පෘතුගාලය සහ දකුණු අමෙරිකානු රටවල සුබ කෑමක් හැටියට හරි ඉහළින් සලකන කෑමක් තමයි මිදි කියන්නෙ. ස්පාඤ්ඤයේ උදවිය අලුත් අවුරුද්ද උදා වෙච්ච හැටියේ මිදි කන එක ඉතා සුභ දෙයක් හැටියට සලකලා හරිම ලස්සන චාරිත්‍රයක් පවත්වගෙන යන පිරිසක්. දැන් ඔය අලුත් අවුරුද්දක් උදා වෙද්දි ඔරලෝසු කුලුණු වල රෑ 12 කණිසම 12 වතාවක් නාද දෙනවනෙ. ඉතින් ස්පාඤ්ඤෙ අය කරන්නෙ ඒ නාද වෙන එක එක වතාවට මිදි ගෙඩිය බැගින් මිදි ගෙඩි 12ක් අනුභව කරන එකලු.
4. ජපානයේ කට්සුඩොන් (Katsudon)
මේක අපි සාමාන්‍යයෙන් කන ෆ්‍රයිඩ් රයිස් එකකට තරමක් ළඟින් යන රයිස් එකක්. ජපානයේ උදවිය සුභ ප්‍රතිඵල ළඟා කරගන්න කියලා හදන කෑමක් තමයි මේ කට්සුඩොන් කියන්නේ. විශේෂයෙන්ම තරඟකාරී දේවල් ජයග්‍රහණය කරන්න තමයි මේ අය මේ ආහාරය පිළියෙල කරන්නේ. උදාහරණයකට කිවුවොත් විභාගයක් ලියන්න යන්න කලින් ජපන් ශිෂ්‍යයො මේ කට්සුඩොන් කෑම වේලක් කාලා යන අවස්ථා තියනවා. මේකෙ නමේ තේරුම වෙන්නෙත් ‘ජය ගැනීමට’ වගේ එකක්. ඉතාම රසවත් කට්සුඩොන් රයිස් එකට ඌරු හෝ කුකුළු මස් තමයි යොදා ගන්නෙ. මේවා සිහින් තීරු වලට කපලා, බිස්කට් කුඩු තවරලා ක්‍රිස්පි වෙන්න බැදගන්නවා. ඊට පස්සේ බිත්තර සහ එළවලු එකතු කරලා, තව සෝස් ජාතිත් දාලා ස්ටීම් කරපු බත් එක්ක මුසු කරලා ආහාරයට ගන්න එකයි කරන්නෙ.
5. චීන ඩම්ප්ලින්ග්
ඩම්ප්ලින්ග් කියන්නේ චීන ජනතාව අතර අතිශය ජනප්‍රිය ආහාරයක්. ටිකක් විතර අපි කන පැටිස් එකට ළඟ කෑමක්. චීන උදවිය විවිධ ආකාරයට ඩම්ප්ලිංග් පිළියෙල කරනවා. ඒ එක එක ආකාරය භාවිතා කරන හේතුත් වෙනස්. මේ අය අලුත් අවුරුද්දටත් සුභ ඵල ගෙන එන්න කියලා ඩම්ප්ලින්ග් හදනවා. අලුත් අවුරුද්දට හදන ඩම්ප්ලිංග් එක හදන විශේෂ ක්‍රමයකුත් තියනවා. ඒකට අනිවාර්යෙන් ගෝවා සහ රාබු දාන්න ඕනෙ වෙනවා. ඒවා දාලා හදන ඩම්ප්ලිංග් කෑමෙන් අලුත් අවුරුද්දේ කෙනෙක්ගෙ හම පැහැපත් වෙලා මනස සැහැල්ලු වෙලා සුබ ප්‍රතිඵල අත්වෙනවයි කියලයි ඒ අයගෙ විශ්වාසය.
6. නෙදර්ලන්තයේ ඔලිබොලන් තෙල්බෝල (Oliebollen)
අලුත් අවුරුද්දට නෙදර්ලන්ත වැසියෝ කන ජනප්‍රියම කෑමක් තමයි මේ ඔලිබොලන් රසකැවිල්ල. ඔලිබොලන් කියන්නේ ඔයිල් බෝල්, එහෙමත් නැත්නම් තෙල් බෝලෙ කියන තේරුම එන කෑමක්. පිටත පෙනුමින් අපේ නාරං කැවුමක් වගේ පෙනෙන මේ ඔලිබොලන් එක හදන්නේ පිටි මිශ්‍රණයක මැදට වියලි මුද්දරස්පලම් එකතු කරගෙන ගැඹුරු තෙලේ බැද ගැනීමෙන්. මේ ඔලිබොලන් කන එක සුබ වීම සම්බන්ධ රසවත් කතාවකුත් තියනවා. අතීත කාලෙදි එක දෙවි කෙනෙක් ඉඳලා තියනවලු මිනිස්සු මරාගෙන ගිය. මෙයා අතින් බේරිලා තියෙන්නෙ මේ ඔලිබෝලන් තෙල් බෝල කාපු මිනිස්සු විතරලු. මොකද ඒ අයට මේ දෙවියා කඩු පහර දෙද්දි කඩුව ලිස්සලා යනවලු (බඩේ තියන තෙල් වලට වෙන්නැති).
7. සෝබා සුප් (Soba)
මේ තවත් ජපන් සුබ ආහාරයක්. ටොෂිකොෂි සෝබා නමින් හඳුන්වන මේ නූඩ්ල්ස් සුප් එක අවුරුදු අටසීයක විතර අතීතයක් තියන එකක්. බඩ ඉරිඟු පිටි වලින් සාදන මේ නූඩ්ල්ස් එකෙන් දුෂ්ට බලවේග පළවාහරිනවය කියල ජපන් පැරැන්නො විශ්වාස කරනවා. ඒ වගේම සිහින් දිගු නූඩ්ල්ස් එක මගින් දීර්ඝායුෂ සංකේතවත් වෙනවයි කියලත් මේ අය විශ්වාස කරනවා. අලුත් අවුරුද්දට කලින් දවසේ රාත්‍රී ආහාරය හැටියට තමයි වැඩි දෙනෙක් මේ සුප් එක ආහාරයට ගන්නේ. හැබැයි රෑ 12 කණිසම වදිද්දි මේ සුප් එක අනුභව කිරීම අසුභයි කියලයි ඒ අය සලකන්නෙ.
Leave a Reply