ඔබටත් නොදැනීම ඔබ ලිංගික හිංසනයට පාත්‍ර වෙනවාද?

ලිංගික හිංසනය කියන එක අද සමාජයේ තියෙන බොහොම සීරියස් ප්‍රශ්නයක්. ඇත්තටම ලිංගික හිංසනය කියන එක ගැන ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කථා කළ යුතු වුනත්, සමාජයේ දරුණුවටම පැතිරිලා තියෙන්නේ කාන්තා ලිංගික හිංසනය නිසා අපි මේ මොහොතේ ඒ ගැන විතරයි කතා කරන්නේ. හරි. ඇත්තටම ලිංගික හිංසනය ගැන සමාජය දැනුවත්ද? ඒකට උත්තරේ නැහැ කියන එක තමයි. මොකද ගොඩක් දෙනෙක් ලිංගික හිංසනය විදියට දකින්නේ අර පරණ හින්දි ෆිල්ම් වල වගේ කෙල්ල කෑ ගහ ගහ දඟලනකොට කැලේට ඇදගෙන යන එක නැතිනම් ලිංගික අපරාධයක් කිරීම. හැබැයි ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ගෑණු ළමයෙක්ව අපහසුතාවයට පත් වෙන විදියේ දෙපැත්ත කැපෙන ජෝක් එකක් කිරීමත් ලිංගික හිංසනයක් කියලා. මෙතන නරකම තත්ත්වය තමයි, ගොඩක් ගැහැණු ළමයින් දන්නෙත් නෑ සමහර වෙලාවට තමන් ලිංගික හිංසනයකට ලක් වෙලා කියලා. අන්න ඒ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. ලිංගික හිංසනය විවිධාකාර වේශයන්ගෙන් පැමිණෙන්න පුළුවන් කියන එක අපි තේරුම් ගත යුතුයි. ආන්න ඒ නිසා තමයි අපි මේ ආටිකල් එක ලියන්නේ.

 

1. අවසර නැතිව ස්පර්ශ කිරීම්

 මේක සමහර වෙලාවට බහුලවම දකින්න ලැබෙන ලිංගික හිංසන ආකාරය වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ගේ කැමැත්ත ලබාගැනීමෙන්, අවසරය ලබාගැනීමෙන් තොරව කරන අනවශ්‍ය විදියේ ස්පර්ශ කිරීම්. මෙතනදී බස් වල සිද්ධ වෙන අතපත ගෑම්, ජැක් ගැහීම් වල ඉඳලා රාජකාරි ස්ථානයේදී කෙරෙන අනවශ්‍ය විදියේ අතපත ගෑම් දක්වා පුළුල් පරාසයක් තියෙනවා. හැබැයි කෙනෙක්ට අතට අත දීම, ප්‍රවේසම් සහගතව කෙරෙන උරහිසට තට්ටු කිරීමක් වගේ මිත්‍රශීලී හැසිරීමක් ලිංගික හිංසනයක් විදියට ගැනෙන්නෙ නෑ. ඒත් අවසර ලබාගැනීමකින්, කැමැත්ත ඉල්ලීමකින් තොරව අනෙක් කෙනා අපහසුවට පත් වෙන විදියේ ඕනම ස්පර්ශ කිරීමක් ලිංගික හිංසනයක් තමයි.

 

2. කුණුහරුප ජෝක්ස්

කුණුහරුප ජෝක්ස් කතා කරන්න ගෑණු පිරිමි භේදයක් ඕන නෑ. ඕන තරම් බොක්කේ ෆිට් යාළුවෝ වුණු කෙල්ලන්ට සහ කොල්ලන්ට ඕන කුණුහරුපයක් කතා කරන්න පුළුවන්. ඒකේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි එහෙම දේවල් කතා කෙරෙන්න ඕන දෙන්නාගේම කැමැත්තෙන්. ඒ කැමැත්ත කියන එක අපිට එක්කෝ කෙළින්ම අහලා දැනගන්න පුළුවන්. එහෙම නැතිනම් අනෙක් පාර්ශවයත් අපිත් එක්ක සක්‍රියව ඒ වගේ දේවල් කතාබහ කරන්න එක් වෙනවා නම් ඒත් දැනගන්න පුළුවන්. එහෙම නැතුව වෙනත් කෙනෙක්, විශේෂයෙන්ම කාන්තාවක් එක්ක කුණුහරුප ජෝක්ස්, ඩබල් මීනින් කතන්දර කතා කරන එක වැරදි කරුණක්. ඒ වගේ වෙලාවක ඒ කෙනා හිනාවෙවී අහගෙන ඉන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ කෙනා ඒ කතා වලින් අපහසුතාවයට පත් වෙලා නැහැයි  කියලා. හිනාවෙන්නේ අපහසුතාවය වහගන්න, වෙන කරන්න දෙයක් නැති නිසා වෙන්න පුළුවන්. ආන්න ඒක ලිංගික හිරිහැරයක්.

 

3. නොනවතින ලිංගික ආරාධනා

මේක ගොඩක් වෙලාවට වෙන්නේ දන්න හඳුනන අය අතර. යාලුවෝ වෙන්න පුළුවන්, ඔෆිස් එකේ එකට වැඩ කරන අය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් ෆිට් එකේ ඉන්නකොට ඔය ඩබල් මීනින් කථා එහෙමත් ගණන් ගන්නෙ නැතුව ඉන්නකොට ලිංගික ඇසුරකට ෂේප් එකේ කෙනෙක් ආරාධනා කරන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ, හිරිහැරයක් විදියට නෙවෙයි නම් මේ ආරාධනාව වෙන්නේ. එතකොට ගෑණු ළමයත් ඒ ආරාධනාව පිළිගත්තොත් ඒක ප්‍රශ්නයක් නොවී එතනින් ඉවර වෙනවා. හැබැයි ඔන්න ගෑණු ළමයා අකමැති වෙනවා ඒකට. ලිංගික ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ ආරාධනාව කරපු කෙනා මහාත්මයෙක් විදියට ඒ ප්‍රතික්ෂේපය පිළිඅරගෙන පැත්තකට වෙනවා නම් ඒකත් ගැටළුවක් නෙවෙයි. හැබැයි එහෙම නැතුව දිගින් දිගටම ලිංගික ආරාධනා කරනවා නම්, ඒක ප්‍රතික්ෂේප කිරීම පිළිගන්නේත් නැතිනම් අන්න ඒක ලිංගික හිරිහැරයක් බවට පත් වෙනවා. ඒක වරදක්.

 

4. බලහත්කාරයෙන් කෙරෙන ලිංගික එක්වීම්

මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ගෙදරදී, තමන්ගේ විවාහක ස්වාමි පුරුෂයා අතින් වෙන්න පුළුවන්. ඒ වගේම පෙම්වතා අතින් වුනත් මේක වෙන්න පුළුවන්. දැන් හිතන්න ගෑණු ළමයෙක් විවාහ වෙලා හරි ප්‍රේම සම්බන්ධයක හරි ඉන්නවා කියලා. ඒ කියන්නේ එයාගේ ස්වාමි පුරුෂයාට හෝ පෙම්වතාට අවශ්‍ය ඕනම වෙලාවක ලිංගික පහස ලබාදෙන්න ගෑණු ළමයා සැදී පැහැදී ඉන්න ඕන කියන එක නෙවෙයි. ලිංගික සම්බන්ධතාවයක් තමන්ගේ සැමියා හෝ පෙම්වතා එක්ක වුනත් සිද්ධ වෙන්න ඕන දෙපාර්ශවයේම කැමැත්තෙන්. හැබැයි මෙන්න මේ කැමැත්ත නැති තැනකදී බලහත්කාරයෙන් ලිංගිකව එක් වෙන්න හරි, වෙනත් ලිංගික ක්‍රියාකාරකම් වලට හරි ගැහැණු ළමයාව ලක් කරන්න සැමියා හෝ පෙම්වතා පෙළඹෙනවා නම් අන්න ඒක ලිංගික හිංසනයක්.

 

5. Quid pro quo

මේ කියන්නේ සේවාස්ථානයේ සිද්ධ වෙන ලිංගික හිරිහැර ආකාරයක් ගැන. මේක එල්ල වෙන්නේ තමන්ට වඩා සේවාස්‍ථානයේ තත්ත්වයෙන් ඉහළින් ඉන්න කෙනෙක්ගෙන්. ඔව්, ඒ කියන්නෙ බොස්ගෙන්. එතකොට මෙතනදී වෙන්නේ තමන්ට සේවාස්ථානයේ යම් යම් ප්‍රතිලාභ -ඒ කියන්නේ වැටුප් වැඩිවීම්, තනතුර ඉහළ දැමීම් වගේ ඕනම ප්‍රතිලාභයක්- ලබාදෙන්න ලැහැස්තියි, ඒකට අනික් පැත්තට දෙයක් ලබාදෙනවා නම් කියලා සෘජුවම හෝ වක්‍රව ඉල්ලා සිටින එක. එතකොට මේ අනික් පැත්තට ඉල්ලන දේ වෙන්නේ ලිංගික පහස. ආන්න ඒක තමයි quid pro quo කියලා හඳුන්වන ලිංගික හිරිහැර. මේකත් නඩු යන්න පුළුවන් විදියේ වරදක්. හැබැයි ඉතින් ඕක ස්ව කැමැත්තෙන් ලබාදෙන අය ගැන නෙවෙයි මේ කියන්නේ. තමන්ගේ කැමැත්ත දැක්වීමකින් තොරව සේවාස්ථානයේ යම් යම් ප්‍රතිලාභ වෙනුවෙන් ලිංගික ආරාධනා කරන බොස්ලා ගැන තමයි මේ කියන්නේ.

 

6. වක්‍ර වාචික ලිංගික හිරිහැර

මේක ගොඩක් වෙලාවට පාරේ තොටේ සිද්ධ වෙන දෙයක්. දැන් ඔන්න ගෑණු ළමයෙක් පාරේ යනවා. එතකොට පාරේ ඉන්නවා කොල්ලෝ සෙට් එකක්. ඔය කොල්ලෝ සෙට් එක ගෑණු ළමයා පාස් වෙනකොටම මොකක් හරි ලිංගිකත්වය හෝ ගැහැණු ශරීර අවයව හෝ ගැන කියවෙන කතාවක් කියනවා. ඒක අර පාරේ යන ගෑණු ළමයට සෘජුව කියනවා නෙවෙයි. එක්කෝ නිකම්ම පොදුවේ කෙනෙක්ට එල්ල නොකර කියලා දානවා. එහෙම නැතිනම් ඒක තමන් කිහිප දෙනා අතරේ සිද්ධ වෙන කතාවක් විදියට කියලා දානවා. හැබැයි කොයි විදියට කිව්වත් අර පාරේ යන ගෑණු ළමයට ඇහෙන්න උස් හඬින් කියවෙන මේ කතන්දරේ ඒ ගෑණු ළමයට එල්ල කරපු කට කැඩිච්ච කථාවක්, ලිංගික විහිළුවක් කියන එක අර ගෑණු ළමයට වුනත්, එතන ඉන්න වෙන ඕනම කෙනෙකුට වුනත් පටස් ගාලා තේරෙනවා. ආන්න ඒකට කියන්නෙත් වක්‍රාකාරීව සිදු කෙරෙන ලිංගික හිංසනයක් කියලා තමයි!

 

7. ඕවර් ද ෆෝන්!

සමහරු ඉන්නවා, ඔය ෆේස්බුක් එකේ එහෙම ගෑණු ළමයෙක් රික්වෙස්ට් එකක් ඇක්සෙප්ට් කරපු ගමන් පටන් ගන්නවා ඩික් පික්ස් යවන්න. ඒ කියන්නේ තමන්ගේ ලිංගික අවයවයේ ඡායාරූප. එහෙම නැතිනම් ලිංගිකත්වය හෝ ලිංගික ආරාධනා ඉඟි කරන ෆොටෝස් හරි පණිවිඩ හරි යවන්න පටන් ගන්නවා. ඕක වට්ස්ඇප් සහ වෙනත් විවිධ සන්නිවේදන යෙදුම් හරහා වෙන්න පුළුවන්. එව්වා ඩිරෙක්ට් ලිංගික හිරිහැර. කිසිමාකාරයකින් අනෙක් පාර්ශවය තමන් එක්ක තියෙන සම්බන්ධතාවය උඩ ඉල්ලා සිටීමකින් තොරව, අනෙක් පාර්ශවයේ කැමැත්ත විමසීමකින් තොරව කෙනෙක් අපහසුතාවයට පත් වෙන විදියේ ලිංගිකත්වය හුවා දක්වන හරි ඉඟි කරන හරි කිසිම දෙයක් සන්නිවේදනය කිරීම ලිංගික හිරිහැරයක්.

ඒ වගේම මේක දුරකථන ඇමතුම් විදියට වුනත් වෙන්න පුළුවන්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *