මාස් ශුද්ධියේදී ඇති වෙන වේදනාව අඩු කර ගමු

ඔසප්, මාස් ශුද්ධිය, පීරියඩ්ස්, අසනීප, අරවා වගේ නම්වලින් හඳුන්වන්නේ එකම ක්‍රියාදාමයයි. ගැහැනියක් වීමේ ප්‍රාතිහාර්යයෙන් මාසෙකට සැරයක් මුහුණ දෙන්න වෙන මේ දේ සමහරුන්ට අපා දුකක් දෙනවා. මේ වේදනාව සම්පූර්ණයෙන්ම නැතිකරන්න අමාරුයි. මොකද මෙතන දී වෙන්නේ ගර්භාෂ බිත්ති ගැලවිලා පිටවෙන එක. එහෙම දෙයක් වෙද්දී කිසිම අපහසුවක් නොදැනේය කියලා කියන්නේ කොහොමද? ඉතින් ඒ වේදනාව ඩිංගක් හරි අඩු කරගන්න මේ දේවල් කරලා බලන්න.

 

1. යටිබඩට උණුසුම ලබා දීම

Furniture

Image Source – drweil.com

ආදී කාලේ ඉඳන්ම එක එක කැක්කුම්වලට අපේ රටේ වෙද මහත්තුරු කරපු දෙයක් තියනවා. ඒ තමයි උණුවතුරේ පොඟවා ගත්තු රෙදි කෑලිවලින් ඇඟ තවන එක. මේ දෙයින් මාංශපේශි ලිහිල් වෙනවා. මාස් ශුද්ධියේ දී තරු පේන්න වෙන බඩ රිදිල්ලේ දී යටිබඩ ආශ්‍රිත ප්‍රදේශයට උණුසුම ලබා දෙන්න කියන්නේ ඒකයි. මේකට “Heating pad” එකක්, උණුවතුර බෝතලයක් නැත්නම් උණුවතුරින් පොඟවා ගත්තු තුවායක් භාවිත කරන්න පුළුවන්. යටිබඩ වගේම සමහරුන්ගේ කොන්දටත් සෙම්බුව වදිනවා. ඉතින් කොන්දටත් මේ සත්කාරයම දෙන්න පුළුවන්.

 

2. ජලය පානය කිරීම

Furniture

Image Source – yogajournal.com

ඔසප් වුණා හෝ නැතා ජලය ජීවයට අත්‍යවශ්‍යමයි. වේලුණු ඇඟක් එක්ක මේ වේදනාව දරාගන්න එක හරි අමාරු වැඩක්. උණු ජලය බොන්න තියනවා නම් වඩාත් හොඳයි. මොකද උණුවතුර රුධිර වහනය වේගවත් කරලා මාංශපේශි ලිහිල් කරන නිසා. ඔසප් වීම අතර සමහරු අසාමාන්‍ය විදියට ඉදිමෙනවා. ජලය ඒකටත් පිළියම් කරනවා.

 

3. පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම

Furniture

Image Source – herworld.com

විශේෂයෙන් ම කැල්සියම්, ප්‍රෝටීන් අඩංගු ආහාර සහ කෙඳි සහිත ආහාර ගැනීමෙන් වේදනාව අඩු කරගන්න පුළුවන්. කොහොමත් මේ දවස් කීපයේ දී කෑමට ප්‍රියතාවයක් එනවා අඩුයි. ඒත් එහෙමයි කියලා නොකා ඉඳීමෙන් වේදනාව වැඩි වීම මිස කිසිම යහපතක් වෙන්නේ නැහැ. මේ කාල සීමාවේ රුධිර වහනයක් සිද්ධ වෙන නිසා යකඩ ඇඟට ඕනිමයි. ඒ සඳහා රතු මස් සහ නිවිති වගේ කොළ වර්ග ආහාරයට ගන්න ඕනි. ඊට අමතරව පළතුරු සහ ධාන්‍ය වර්ගවල තියෙන කෙඳි ගතිය ආහාර ජීර්ණයට උදව් කරනවා. ඔසප් චක්‍රයත් එක්ක මේ ආහාර ජීර්ණය සම්බන්ධයි. අක්‍රමවත් විදියට මළපහ යන්න පටන් ගන්නවා සමහර අවස්ථාවල. මේ ආහාරවලින් ඒ තත්ත්වය නැති වෙනවා.

 

4. ආහාර සැකසීමේදී මේ දේවල් එකතු කරගන්න

Furniture

Image Source – woolworths.com

ආහාර වේලට කුරුඳු එක් කරගැනීමෙන් අධික විදියට රුධිරය වහනය වෙනවා නම් ඒක නැති වෙනවා. සමහරු මාස් ශුද්ධිය කල් දැමීමටත් කලින් ඉඳන්ම කුරුඳු මිශ්‍ර ආහාර කනවා. මේ කාලයේ දී දැනෙන වමනය ගතියට ඉඟුරු මිශ්‍ර ආහාර සහ පානයන් උපකාරී වෙනවා. වමනය විතරක්ම නෙවෙයි, යටිබඩේ කැක්කුමටත් නියම වෙදා. මීට අමතරව සුදුළූණු ආහාරයට ගැනීමත් වැදගත්.

 

5. ව්‍යායාම කිරීම

Furniture

Image Source – youtube.com

ටිකක් මේ දවස්වල කරන්න අමාරු වුණත් ප්‍රතිඵල ගැන හිතලා හරි ව්‍යායාම කරන්න ඕනි. හොඳට දාඩිය දාන්න ව්‍යායාම කරාම ශරීරය පිට කරන එන්ඩෝර්ෆින් ප්‍රතික්‍රියා කරනවා ඔසප් චක්‍රයේ වේදනාවන් ඇති කරවන රසායනික ද්‍රව්‍ය එක්ක. ව්‍යායාම වගේම යෝගා අභ්‍යාසත් මේ වේදනාව අඩු කරවනවා.

 

6. යටිබඩ සම්බාහනය කිරීම

Furniture

Image Source – psychologies.co.uk

නොයෙක් අරුමෝසම් ආලේපන අස්සේ තියනවා දැන් සුවඳ කවපු තෙල් ඩප්පි. ලැවන්ඩර්, ජස්මින්, රෝස් වගේ එක එක සුවඳවලින් හදන මේ තෙල් ඩප්පියකින් චුට්ටන් ඇඟිලි තුඩු දෙකක තවරාගෙන යටිබඩ හෙමින් සම්බාහනය කරාම සහනයක් ඇති වෙනවා කියලා මේ වෙනකොට පර්යේෂකයෝ හොයාගෙන තියනවා.

 

7. වෛද්‍යවරයෙකු හමුවීම

Furniture

Image Source – huffingtonpost.com

මොන දහංගැට දැම්මත් වේදනාවේ අඩුවක් නැත්නම් වෛද්‍යවරයෙකු හමු වෙන්නම ඕනි. අධික වේදනාව ඒ තරම් හොඳ නැහැ. සමහරවිට ගර්භාෂය ආශ්‍රිත වෙන මොකක් හරි රෝගයක ලක්ෂණත් වෙන්න පුළුවන්. සමහරු ලැජ්ජාව නිසා යන්නේ නැහැ. අනේ ඒ ගොන්කම නම් කරගන්න එපා. ඒ වගේම වෛද්‍ය අනුමැතිය නැතිව සමහරු එක එක වේදනා නාශක පෙති අරවා මේවා බොනවා. ඒවාට සිරුර අනුගත වුණොත් එහෙම ඒවා ඔසප් වීම නොවීම පාලනය කරන්නත් බැරිකමක් නැහැ.

Cover Image Source – glamourmagazine.co.uk/ stylecaster.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *