අප්‍රකාශිත ප්‍රේමය ඔය හැම ප්‍රේමයකටම වඩා හොඳ වෙන්නේ ඇයි?

ආදරේ ගැන සෑහෙන කතන්දර තියෙනවනේ. කට්ටියක් කියනවා ආගමක් කියලා. සුන්දර වරදක්, සඳ එළිය වගේ අචින්ත දෙයක්. ලෝකේ හැම තැනම තියෙන කාටත් හම්බෙලා තියෙන ඒත්  ඒ මොකක්ද කියන්න තාම දන්නැති දෙයක් විදියට දකින්නේ ඔය එකම එක  සංකල්පය තමයි. ආදරය ගොඩක් නිර්මාණවලට වස්තු විෂය වෙන්න සාධාරණ හේතුවක් තියෙනවා. ආදරෙත් වතුර වගේ. දාන භාජනේ අනුව තමයි ස්වරූපේ බලාගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් ඕකේ එක එක වර්ග තියෙනවා. ඔතනින් ජනප්‍රිය දෙයක් තමයි අප්‍රකාශිතව කරන ඒකපාර්ශ්වීය ආදරේ. සාර්ථක ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන යන වාසනාවන්ත පිරිස මේකට එකඟ වුණේ නැති වුණාට සමහරුන්ට අප්‍රකාශිතව හිත ඇතුළේ තියෙන මේ කතන්දරේ තරම් දෙයක් තවත් නැත්තේ මෙන්න මේ නිසයි. අනික ඒක ගොඩක් ආදරේ ස්වරූපවලට වඩා මෙව්වා එකක් වෙන්නෙත් මෙන්න මේ දේවල් නිසයි.

 

1. මනෝ ලෝකයක ඔබට කැමති ඕනෑම දෙයක් කිරීමට හැකි වීම

Image Source – visitpensacola.com

ඒ හෙඩිම දැක්කාම කෙනෙකුට හිතෙන්න පුළුවනි මේ මොන කොන්ද පණ නැති වැඩක් ද කියලා. මනෝ පාරවල් ගගහා ඉන්න ටිකට හඳ පානේ උස්සන් යන්නැතුව බයිලා ගහනවාය කියලා. ඒත් අප්‍රකාශිත කතාවක දී ඔය මනෝ පාර ගහලා ලබන සතුට උපරිමයි. ප්‍රේම සම්බන්ධයක දී දෙන්නා දෙමහල්ලෝ දැනගන්නවා එකිනෙකා ගැන. දෙන්නගේ සීමාවල් ගැන දන්නවා. ඒවාට අනුකූලවයි ඉන්න වෙන්නේ. මොකද පුංචි ම හිත රිදවීමක් ඇති හැමදේම නැති වෙලා යන්න. ඉතින් අන්න ඒ වගේ සීමාවල් මේ මනෝ ලෝකයේ නැහැ. ඔයාට පුළුවනි මේ මොහොතේත් එයත් එක්ක කොහෙහරි අත් පටලවාගෙන යන්න, එක තැඹිලි ගෙඩියට ස්ට්‍රෝ දෙකක් දාගෙන බොන්න, මහා හෝටලේ වෙඩිම ගන්න, ළමයි ළපටි පේළියක් හදන්න. මොන තරම් ආදරෙන් බැඳුන දෙන්නෙක් අතරත් පුංචි පුංචි විරසක තියෙන්න පුළුවන්. ඒත් මේ මනෝ ලෝකේ ඔයයි එයයි බෝ පැළ දෙකක් වගේ. එයා ඔයාගේ විතරයි. හිතේ හැටියට ආදරේ කරන්න පුළුවන්.

 

2. අනවශ්‍ය බලාපොරොත්තුවලින් හිත දුකට පත් නොවීම

Image Source – freepik.com

ප්‍රකාශිත ප්‍රේමයක දී අපි සෑහෙන දේවල් අනෙකාගෙන් බලාපොරොත්තු වෙනවා. ආදරේ කරන්න පටන් ගන්න කලින් සහ මුල් කාලයේ මට ඔයාගෙන් මුකුත් එපා ආදරේ කරන්න තිබ්බොත් විතරක් ඇති වගේ කතා කිව්වට කාලයත් එක්ක ඒ ආදරෙත් තදින්ම ඕනි වෙනවා. එහෙම සෑහෙන බලාපොරොත්තු වුණාම ඒවා ඉටු නොවෙන එකත් එක්ක මිනිස්සුන්ට පිස්සු නොහැදී පිස්සු හැදෙනවා. අප්‍රකාශිත ප්‍රේමයක මෙහෙම බලාපොරොත්තුවත් ඒවා ඉටු කරන්න වෙන බැඳීමක්වත් නැහැ. අප්‍රකාශිත ප්‍රේමයක දී සතුටු වෙන්න තියෙන්නේ බැරි වෙලාවත් එයා හිනා වුණොත්, වෙනදා වගේ බස් හෝල්ට් එකට ආවොත්, වැරදිලා හරි කෙටි පණිවිඩයක් එවුනොත් වගේ දේවලින්.

 

3. දැකීමෙන් ඉතා විශාල සතුටක් ලැබීම

Image Source – samsonlinejournal.com

ඔපිස් එකේ දී, ක්ලාස් එකේ දී නැත්නම් මග තොටේ දී හැමදාම නැත්නම් කලාතුරකින් දකින ක්‍රෂ් එක නිසා තමන්ට දැනෙන පුල් හොල්මන් ද පොල්කොළ එක්ස්පීරියන්ස් එක තමයි මේ. දැන් පවුල් පන්සල් වෙච්චි අයට නම් මුල් කාලේ තරම් මේකේ බලපෑම බලපැවැත්වෙන්නේ නැහැ. ඒත් ඒකපාර්ශ්වීය ප්‍රේමයට අදත් හෙටත් එක වගෙයි. කවදාවත් ම හිමි නොවෙන නිසා වෙන මගක ගියත්, ජීවිතයේ කවදාක හෝ හමුවුණා නම් වල පයයි ගොඩ පයයි තියාගෙන ඉද්දි වුණත් කලින් දැනුණා වගේම ඒ හැඟීම දැනෙනවා. හිරිගඩු පිපෙනවා, පියාඹන්න තරම් නිදහසක් දැනෙනවා. අන්න ඒ නිදහස බඩ ඇතුළේ ඉන්න සමනල් යක්කු ටික උපරිමේටම විඳිනවා. හැමදාම ඉර පායනවා දකිනකොට පිනි බින්දු වේලිලා යනවා වගේ එයා ව දැක්කා ම කලින් දවසේ තිබුණ හැම දුකක් ම නැති වෙලා යනවා.

 

4. සංයමයෙන් යුත් කලාකරුවෙකු වීම

Image Source – pinterest.com

මේ කලාකරුවා කියන එක පත්තරවලට කවි කෑලි ලිය ලියා ඉඳලා එක පාරට ජාත්‍යන්තරය ජය ගන්න යන මට්ටමකට දක්වා ඇදෙන්න පුළුවන්. ඒකට පොළඹවන්නේ මේ ආදරය තමයි. පිට පොත්ත ලස්සන කලාකරු ලේබල් එක අලවගත්ත මිනිස්සු අද ඕනි තරම් ඉන්නවා. හැබැයි ඒ අය ඇත්තටම තමන් පෙන්වන තරමට සංවේදී මිනිස්සු ද කියන ප්‍රශ්නය තියෙනවා. ඒකපාර්ශ්වීය ආදරය පසුපස ඉන්න මානවයා ඉවසීමේ කෙළ පැමිණියෙක්. හදිසියක් නැහැ, කාගේවත් බලපෑමකට යටත් නැහැ  සංයමයක් තමයි තියෙන්නේ. එයා වෙනුවෙන් හැමදාම ලියන කවි කතන්දර බල බලා සතුටු වන්නෙක් මේ ප්‍රේමය නිර්මාණය කරනවා. මේකෙන් කිසිම විදියකින් කියවෙන්නේ නැහැ අනික් අයට පද හතරක් බැහැ කියන එක. ඒත් ප්‍රේමය සම්බන්ධයෙන් එහෙම අයෙකුගේ සහ මෙහෙම අයෙකුගේ නිර්මාණ දෙකක් සංසන්දනය කරලා බැලුවොත් භාවනාවක් වගේ ලිව්ව කවිය හිමි අප්‍රකාශිත ප්‍රේමයේ අයිතිකාරයට තමයි.

 

5. ආදරය පිළිබඳ තමන් විසින්ම අවබෝධ කරගැනීම

Image Source – medium.com

ඉස්කෝලේ සෞඛ්‍ය පාඩම වගේ තමයි. සමහරවිට ඊටත් අන්තයි. කවුරුත් මේ ආදරය ගැන හරියට කියලා දෙන්නේ නැහැ එහෙම කිව්වත් ඒ දේවල් ඒ අයට සාපේක්ෂ ඒවා. කවදාවත් ආදරය කියන්නේ මෙන්න මේකයි කියලා නිර්වචනයක් දෙන්න බැහැ. ගෙදර අයට සහ අනික් සමීපතමයන්ට ආදරේ කර කර ඉඳලා මෙහෙම දෙයක් වුණා ම ඒ අවබෝධය කොහොමහරි ලබාගන්න වෙන්නේ තනියෙන්මයි. ඇයි ඉතින් ඕක අප්‍රකාශිතයි නේ. හැමවෙලේ ම චිත්‍රපටවල පෙන්නනවා වගේ ඉක්මන් ගමනක් ආදරයට නැහැ. ආදරේ ගඟේ මූදේ පනිනවා වගේ තදියමට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයාගේ හිනාව හිතේ තියාගෙන රෑ නිදි ඇඳේ දී කල්පනා කරලා අවබෝධ කරගන්නේ මෙන්න මේ සත්‍යය තමයි.

 

6. තමන්ගේ වර්ධනයට උපකාරී වීම

Image Source – tetris.com

ප්‍රෝටීන් ෂේක් ගහලා වර්ධනය ගැන එහෙම නෙවෙයි මේ කියන්නේ. උපන් දා තිබුණ ඇල්මැරුණු ගතිය නැති කරලා අළු ගසා දාපු අහවල් පක්ෂියා වගේ ඉගිලෙන්න තරම් ගටක් අප්‍රකාශිත ප්‍රේමය ලබා දෙනවා. කවුරුත් කැමති නැහැ කොනට වෙලා නෝන්ජලේ ඉන්න කෙනෙක්ට. විශේෂයෙන් ම හිත් සම්බන්ධ සෙල්ලමක දී කොහොමවත් එහෙම අය අවධානයට ලක් වෙන්නේ නැහැ. එයා කැමති විදියට වෙනස් වීම නෙවෙයි මේ කියන්නේ. නමුත් තමන් හිටපු තත්ත්වයට වඩා පොඩ්ඩක් ඇහැට පේන්න කනට ඇහෙන්න ප්‍රයත්නයක් ගන්නවා. අන්න එතන දී එයාට ඔයාව මග හැරුණත් නැතත් කලින් හිටියට වඩා හොඳ කෙනෙක් බවට මේ ආදරය තමන්ව පත් කරලා තියෙන බව තේරෙයි. එතකොට අප්‍රකාශිත ව තිබුණ ආදරේ ප්‍රකාශ කරන්න වුණත් ඉඩ තියනවා.

 

7. ආත්ම ශක්තිය ඇති කරලීම

Image Source – imdb.com

ඕක අප්‍රකාශිත විදියට තියෙන්නේ ප්‍රකාශ කරගන්න බැරි තරමට තමන් ගැන අවිශ්වාසයක් බයක් තියෙන නිසයි. ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලා කපනවා වගේ අවිශ්වාසය සහ බය නැති කරවලා ආත්මශක්තියක් ඇති කරවන්නෙත් මේ ප්‍රේමයයි. වචනෙකවත් දෙයක් නාහා පැල් බැඳගෙන ආදරේ කරපු තරමට හිනාවක තරම් දෙයක්වත් ලැබුණේ නැති වෙන්න පුළුවන්. ඒත් ඒක මහා ලොකු දෙයක් නොකර හෙට දවසට මුහුණ දෙන්න ජීවිතයේ එක සන්ධිස්ථානයක හිත හදාගන්නවා. අන්න ඒ තීරණය ගන්න පුරුදු කරන්නේ මේ ප්‍රේමයෙන් ලබපු අත්දැකීමයි.

ඇත්තට ම අප්‍රකාශිත ප්‍රේමය සමහරුන්ට නම් දරාගන්න බැරි දෙයක්. ආදරේ හැබෑවක් වෙන්නේ ඒක බෙදාගත්තම. ඒ ඔක්කොමත් හරි. ඒත් වෙලාවකට මේ තමයි තමන්ට වෙන්න තිබුණ හොඳම දේ කියලා වුණත් හිතෙන්න පුළුවන්. Ae Dil Hai Mushkil චිත්‍රපටයේ ෂාරුක් ඛාන්ගේ ගරු රඟපෑමක කොටසක් තියෙනවා. එතන දී ඔහු කතා කරන්නේ මේ අප්‍රකාශිත ප්‍රේමය ගැනයි. අවසානයේ ඔහුගේ මුවගට නැගෙන්නේ “IT’S THE MOST BEAUTIFUL FEELING IN THE WORLD” කියායි.

 

Cover Image Source – scribblegraph.com/ imdb.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *